අපේ රටේ සිනමා ක්ෂේත්රය තුල පෙරළි කළ විශිෂ්ටයන් සේම අන්තර්ජාතික මට්ටමෙන් කීර්තිය රැගෙන ආ නිර්මාණකරුවෝද බොහෝ වෙති. එසේම සිනමා කර්මාන්තය ගත හොත් ශ්‍රී ලංකාවේ ද අන්තර්ජාතික සිනමා උලෙළක අසිරිය පිළිබඳ කතා කළ හැකි බව කවුරුත් දන්නා දෙයක්. ඒ නිසාම සැප්තැම්බර් මාසය එළඹෙත්ම දැන් අපේ රටේ කවුරුත් අන්තර්ජාතික සිනමා උලෙළක් පිළිබඳ අවධානය යොමු කරති. එයට මීට දෙවසරක පමණ කාලයක පටන් වූ එක් හේතුවකි. එනම් යාපනය අන්තර්ජාතික සිනමා උලෙළයි.
යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ අපේ රටේ සිනමාවේ යහපත් අනාගතයක් වෙනුවෙන් වූ මෙහෙවරක යෙදෙන සිනමා උලෙළක් ලෙසින් සුවිශේෂ වේ. තෙවැනි වරට මෙවරත් එය හෙට (සැප්තැම්බර් 15) සිට 20 වැනිදා දක්වා යාපනයේදි පැවැත්වීමට නියමිත අතර යාපනය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා අංශය, සිලෝන් තියටර්ස්, සහ අජෙන්ඩා 14 ආයතනය එක්ව එය සංවිධානය කෙරේ.
මෙවර සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව ඇතුළුව ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, චෙක් ජනරජය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, සිංගප්පූර්ව, අමෙරිකා එක්සත් ජනපදය, ස්ලොවැකියාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, චිලී, පකිස්තානය, නේපාලය, කොලොම්බියාව, වියට්නාමය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව රටවල් නියෝජනය කරමින් කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට එකතුව චිත්‍රපට සියයක් පමණක් තිරගත කිරීමට නියමිතය. යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂිකාව ලෙසින් කටයුතු කරන්නේ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා විසිනි.
මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ ආරම්භ වන්නේ විශේෂත්වයක් සමඟින්?
මීට පෙර සම්මාන උලෙළ දෙකේදී අපි වෘතාන්ත චිත්‍රපට, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කෙටි චිත්‍රපට වගේම තරගකාරී අංශයට කුළුඳුල් නිර්මාණ භාර ගත්තා. මෙවර තරගකාරි අංශයේ වෙනසක් සිදු කරන්න අපි තීරණය කළා. ඒ අනුව එය ජාතික සහ ජාත්‍යන්තර ලෙසින් වර්ග කර අයදුම්පත් කැඳවන්න අප කටයුතු සැලසුම් කළා. ජාතික අංශයේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් සිලොන් තියටර්ස් විසින් රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරි නමන්න සූදානම්වී සිටිනවා.
තෙවැනි වරට පැවැත්වෙන මෙවර සිනමා උලෙළේ සමාරම්භය හෙට පෙරවරු 10.00ට යාපනය කාගිල්ස් චතුරස්රයේ මැජෙස්ටික් සිනමා සංකීර්ණයේදී සිදු කෙරෙනවා. එහිදී සතිශ් බාබුසෙනාන්, සන්තෝෂ් බාබුසෙනන් නම් ඉන්දීය ජාතික සහෝදරයන් දෙදෙනා විසින් අධ්‍යක්ෂණය කළ ''Ottayaal Paatha'('The Narrow Path')චිත්‍රපටය තිරගත කෙරෙනවා. 'Ottayaal Paatha' අන්තර්ජාතික සිනමා උලෙළ රැසකදී සම්මාන රැසකින් පිදුම් ලද සිනමා නිර්මාණයක්.
උලෙළේ සමාප්තිය ලබන 20 වැනිදා සංජීව පුෂ්ප කුමාරගේ 'දැවෙන විහඟුන්' චිත්‍රපටය තිරගත කිරීමත් සමඟින් සිදු කරන්නට නියමිතයි.
මෙවර සිනමා උලෙළේදී කලාකරුවෙකුට ජීවිතයේ වරක් පමණක් පිදෙන යාවජීව සම්මානය, හොඳම කුළුඳුල් චිත්‍රපටය, හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය, හොඳම ජාතික කෙටි චිත්‍රපටය සහ ජනතා මනාපයෙන් පිදෙන ජනප්‍රියම කෙටි චිත්‍රපටය ආදි වශයෙන් සම්මාන පිරිනමන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙවර යාවජීව සම්මානය ප්‍රවීණ සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජ වෙත පිරිනමන්න නියමිතයි.
තෙවැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ තිරගත කෙරෙන අනෙකුත් සුවිශේෂ සිනමා නිර්මාණ පිළිබඳවත් කෙටියෙන් කියමු?
මෙවර ඉන්දියාව නියෝජනය කරමින් සිනමාකාරියන් දෙදෙනෙක් තම කුළුඳුල් සිනමා නිර්මාණ ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රවීණ කණ්ණඩ සිනමාකරු ගිරීෂ් කසරවල්ලිගේ දියණිය අනන්‍යා කසරවල්ලි සහ විධු වින්සන්ට්ගේ කුළුඳුල් නිර්මාණ යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ ඔස්සේ එළි දකිනවා. මෙවර කාන්තා චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරෙන උලෙළක් බවත් කියන්න පුළුවන්. ඒ වගේම කුළුඳුල් සිනමා නිර්මාණ සඳහා ලොකු තරගයකුත් පැවතුණා. දුමින්ද සංජීවගේ 'ඩිසිදිපත්', සුරංග කටුගම්පලගේ 'පුතෙකුට', ප්‍රියන්ත කළුආරච්චිගේ 'රතු සමනල හීනයක්' වැනි සුවිශේෂ ලාංකික නිර්මාණ කිහිපයකුත් ඉදිරිපත් කරන්න අපි කටයුතු යොදලා තියෙනවා. විජිත ගුණරතනගේ 'අමාවක' චිත්‍රපටයත්, සුමති සිවමෝහන්ගේ 'පුත්තු සහ පියවරු' චිත්‍රපටයත්, කේසවරාජ් නවරත්නම්ගේ පනයි මක්කඩු චිත්‍රපටයත්
මංගල දර්ශන මෙවර සිනමා උලෙළේදී සිදු කෙරෙනවා. කලාපයට කෙරෙන සැලකීමක් ලෙසින් යාපනය පුස්තකාලය පිළිබඳ කෙටි චිත්‍රපටයකුත් ඉදිරිපත් කෙරෙනවා. මෙහිදී ඉදිරිපත් කෙරෙන ඇතැම් සිනමා නිර්මාණ ආසියාවේ ප්‍රථම තිරගත කිරීම වීමත් සුවිශේෂයි.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකම කියන චිත්‍රපට කිහිපයකුත් තිරගත කිරීමට මෙවර කටයුතු යොදා තිබෙනවා?
ඇත්තටම එය මෙම සිනමා උලෙළේ විශේෂ අවස්ථාවක්. මෙහි ප්‍රේක්ෂකාගාරයෙන් විශාල කොටසක් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් වෙන් වෙනවා. මගේ අදහස මෙය එවැනි තරුණ පිරිස් විසින් අත්විඳීය යුතු අවස්ථාවක් බවයි. ඒ සඳහා අපට සහයෝගය දෙන්නේ රජයේ චිත්‍රපට අංශය යි. ඔවුන් ඒ වෙනුවෙන් රැල්ෆ් කීන්ගේ 'නෙළුම්ගම' වාර්තා චිත්‍රපටය සහ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ 'කමම්' චිත්‍රපටය තිරගත කරන්න කටයුතු යොදා තිබෙනවා. විශේෂයෙන් මෙහි ප්‍රධාන අරමුණ සිනමාව විෂයක් ලෙසින් හදාරණ තරුණ පිරිස් වෙත දැනුමක් ලබාදීමයි.
තරගකාරී අංශයට ජාත්‍යන්තරයේ සහභාගීත්වය කොහොමද?
ඇත්තටම අපි ජාත්‍යන්තර අංශයට චිත්‍රපට දෙසීයක් තුන්සියයක් වගේ ප්‍රමාණයක් තමයි බලාපොරොත්තු වුණේ. නමුත් අනපේක්ෂිත විදියට ඒ වෙනුවෙන් අපට චිත්‍රපට 2100කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණා. එය තේරීම් කමිටුවට පවා විශාල අභියෝගයක්. අපි වගේ කුඩා රටකට එය ඉතාම විශාල සංඛ්‍යාවක්. මොකද වෙත් රටවල ජාත්‍යන්තර සිනමා උලෙළවලට අපි දායක වන විටදී ශ්‍රී ලංකාව පිහිටා තියෙන්නේ කොහේද කියාවත් ඇතැම් අය නොදන්නා බව අපට වැටහෙනවා. ඒ වගේ තත්ත්වයක් යටතේ අග නගරයවත් නොවී යාපනය අන්තර්ජාතික උලෙළ ලෙසින් නම් වු මෙම සිනමා උලෙළේ තරගකාරි අංශයට සිනමා නිර්මාණ මේ තරම් විශාල සංඛ්‍යාවක් ලැබීම ඉතාම සතුටු දායකයි.
චීනය, චිලී රාජ්‍යය සහ චෙක් ජනරජය වැනි රටවල් කිහිපයක් මෙවර යාපනය අන්තර්ජාතික උලෙළේ තරගකාරි කෙටි චිත්‍රපට අංශයට සහභාගි වන්නේ, ප්‍රථම වරටයි. තරගකාරි අංශයේ කෙටි හා කුළුඳුල් අංශයේදී වැඩි අවධානය යොමු වෙන්නේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්.
ඇතැම් ජාත්‍යන්තර සිනමා උලෙළ පැවැත් වෙන්නේ දශක ගණනාවකට පෙර සිටයි. ඇතැම් ඒවා තම උලෙළවල 75, 70 වැනි සංවත්සර සමරනවා. ඒ සිනමා උලෙළවලද ආරම්භයක් සිදු වූ දිනයක් තියෙනවා. අපේ රටේ මේ සිනමා උලෙළත් ඒ වගේ ආරම්භයක්. අපි දැනට සිටින්නේ ළදරු අවධියේ. නමුත් මේ දක්වා පැමිණ ගමන ගැන ලොකු සතුටක් තියෙනවා. විදෙස් රටවල දායකත්වය වගේම ඔවුන් වෙතින් ලබන ප්‍රතිචාර අප දිරිමත් කරනවා.
මෙවර ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම සුවිශේෂයි ?
ප්‍රවීණ සිනමාකරුවෙක් සහ සිනමාකාරිණියක වෙනුවෙන් මෙවර ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම වෙන් කරලා තියෙනවා. අපේ රටේ සිනමාවේ විශිෂ්ට අධ්යක්ෂවරයකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජ වෙනුවෙන් සහ ලොව වියපත්ම සිනමාකාරිය මෙන්ම ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමි අධ්යක්ෂවරියක වන අනියේස් වර්ධා වෙනුවෙන් එය වෙන් වෙනවා.
ධර්මසේන පතිරාජයන්ගේ 'අහස්ගව්ව', 'පාර දිගේ', 'බඹරු ඇවිත්', 'සොල්දාදු උන්නැහේ' සහ 'මතුයම් දවස' චිත්‍රපට ඒ වෙනුවෙන් තිරගත කරන්න සූදානම්. දැනටත් සිනමාකරණයේ යෙදෙන ප්‍රංශ නව රැල්ලේ එකම සිනමාකාරිය වන්නේ අනියේස් වර්ධා. මේ වනවිට වයස අවුරුදු 89ක් වුවත් ඇය තම නිර්මාණකරණය නවතා නැහැ. ඇයගේ නිර්මාණ අතුරින් තෝරා ගත් Jacquot de Nantes (1991), Vagabond(1985), The Gleaners and I (2000), සහ from 5 to 7 (1962) ~ƒ The Beaches of Agnès (2008) චිත්‍රපට මෙවර තිරගත කෙරෙනවා.
තෙවැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ ජූරිය ගැනත් කියමු ?
මෙවර කලාපීය වශයෙන් සමබර වෙන ආකාරයේ ජූරියක් යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ කටයුතු කරනවා. ක්‍රොඒෂියාව නියෝජනය කරමින් ආචාර්ය එත්මි බෝෂොන්, සිංගප්පූරුව නියෝජනය කරමින් පිලිප් ෂිහ් ඉන්දියාව නියෝජනය කරමින් ප්‍රේමේන්ද්‍ර මසුම්දර් සහභාගි වෙනවා. මෙම ජූරි සමාජිකයන් තිදෙනාම චිත්‍රපට සංසද ජාත්‍යන්තර සම්මේලනය සහ චිත්‍රපට විචාරකයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජිකයන්.
මෙම අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා යාපනයේ සිනමා ශාලා පහසුකම් වෙන්වෙන්නේ කොහොමද ?
පසුගිය දෙවසරේම වගේම මෙවරත් යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ වෙනුවෙන් මැජෙස්ටික් සිනමා සංකීර්ණය, යාපනය විශ්වවිද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරය සහ හැටන් නැෂනල් බැංකු ශ්රවණාගාරයත් වෙන් කෙරෙන අතරම පුහුණු වැඩමුළු, සාකච්ඡා වෙනුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අමෙරිකන් කොනර් හි ඉඩ පහසුකම් වෙන් කෙරෙනවා.
මෙවර සිනමා උලෙළෙට අනුබද්ධ තවත් වැඩසටහන් පෙළක් ඇතුළත් ?
සිනමා උලෙළට අනුබද්ධව මෙවර ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සහ අනියේස් වර්ධාගේ සිනමාකරණයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවකුත් පවත්වන්න නියමිතයි. අනියේස් වර්ධාගේ චිත්‍රපට දැක්ම සමඟින් ඇයගේ නිර්මාණකරණය පිළිබඳ සාකච්ඡාව ෆ්රාන්සිස් කේප් (ප්‍රංශය) විසින් මෙහෙයවන්නට නියමිතයි. අපේ රටේ ඉතිහාසය තිරයට නැංවුණු චිත්‍රපට ද්විත්වය සහ ඩ්ඪඤඤඥද ජ්ඪඨභපඥඵ චිත්‍රපටය ඇසුරෙන් කැමරාව පිටුපස සිටින කාන්තාව සහ ඇයගේ දායකත්වය ගැන සංවාදයක් කරන්නත් සූදානම්. මේ සමඟින් ආචාර්ය එතමි බෝෂන් සහ ෆ්රාන්සිස් කේප් විසින් මෙහෙය වන පුහුණු වැඩමුළු ද්විත්වයකුත් ඇතුළත්.
යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ වෙනුවෙන් මෙවර සහයෝගය දක්වන්නට එක්වන ආයතන ?
යාපනය විශ්වවිද්‍යාලය, සිලෝන් තියටර්ස් සමගාම, අජෙන්ඩා 14 ආයතනයත් සමඟින් තෙවැනි යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ සංවිධානය කෙරෙනවා. යාපනයේ අපේ සත්කාරක හෝටලය වන්නේ ජෙට්වින් ජැෆ්නා. ජාතික චිත්‍රපට සංස්ථාව, රජයේ චිත්‍රපට අංශය, හැටන් නැෂනල් බැංකුව, ඇන්ඩෲ ට්‍රැවල්ස් ආයතනයට අමතරව ස්විට්ස්ර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ස්ලොවැකියාව වැනි රටවල තානාපති කාර්යාල, බ්‍රිතාන්‍ය කවුන්සිලය, ජර්මන් සංස්කෘතික ආයතනය, යාපනයේ අමෙරිකන් කෝනර් වැනි ආයතන ද කැනඩාව, ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස් කාර්යාල, නවදිල්ලි පෝලන්ත සංස්කෘතික ආයතනත් මෙහිදී අත්වැල් බැඳ ගෙන සිටිනවා.
අන්තර්ජාතික සිනමා උලෙළක් වෙනුවෙන් යාපනය තෝරා ගන්න සුවිශේෂි වූ කාරණාවක් තියෙනවාද ?
මුල් වසරේදී අපි මෙය ආරම්භ කළේ අත්හදා බැලීමක් විදියට යි. ඇත්තටම අපට එය යාපනයේදී සාර්ථකව කරන්න හැකියාව ලැබුණා. නමුත් යාපනය සිනමා ප්‍රේක්ෂකාගාරය දකුණු ඉන්දීය වාණිජ සිනමාවේ ග්‍රහණයට ලක් වූවක් බව කවුරුත් දැන සිටි දෙයක්. ඒ රසිකත්වය කලාත්මක සිනමාව කෙරෙහි දක්වන නැඹුරුව කෙතරම්ද කියන එක මෙහිදී විශාල අභියෝගයක් වුණා. අපි එහිදී උත්සාහ කළේ වෙනස් ආකාරයේ සිනමාවක් ලෝකයේ පවතින බව මේ ප්‍රේක්ෂකාගාරයට හඳුන්වා දෙන්නයි. යුරෝපා සිනමා උලෙළේ සංචාරක චිත්‍රපට උලෙළ සමඟින් මීට පෙර අපට ඒ පිළිබඳ අදහසක් දෙන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟින් අපට හැම වසරකම යාපනයට යන්නත් අවස්ථාව ලැබුණා. ලංකාවේ නගර කිහිපයක්ම යොදා ගෙන කළ සමීක්ෂණයකින් පවා මෙවැනි සිනමා උලෙළකට යාපනය හොඳ ස්ථානයක් බව අපට පැහැදිකර ගන්න හැකි වුණා.
මෙය යාපනයේ පැවැත්වීමෙන් අනෙකුත් ප්‍රදේශවල සිනමා ලෝලීන්ට අසාධාරණයක් වෙන්න පුළුවන් නේද ?
අද ලෝකයේ මිනිසුන් විවිධාකාර හේතු වෙනුවෙන් සංචාරයේ යෙදෙනවා. කඳු ශිඛර තරණය කරන්න එහෙමත් නැත්නම්, වෙරළ තීරයන් ආශ්‍රිතව, පෞරාණික නටඹුන් ආශ්‍රිතව, සිද්ධස්ථාන ආදි පාරිසරික සහ ඓතිහාසික කාරණා සහ සෞන්දර්ය මුල්කරගත් සංචාරක කර්මාන්තයන් වගේම ලෝකයේ සිනමාව සමඟින් බැඳුණු සංචාරක කර්මාන්තයකුත් පවතිනවා. නවතම සිනමා නිර්මාණ දැකබලා ගැනීම වෙනුවෙන් ලොව විවිධ රටවලට සංචාරයකයන් ඇදි එනවා. දශක ගණනක් පුරා තිබුණු යුද්ධය නිමා වූ පසු අපේ රටේ ජනතාවට නිදහසේ යාපනයේ සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. එලෙස යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ නරඹන්නත් විශාල පිරිසක් පැමිණ සිටියා. මේ වන විට යාපනයට යන්න එන්න හොඳ ප්‍රවාහන පහසුකම් වගේම නවාතැන් පහසුකම් තිබෙනවා. සංචාරක කර්මාන්තයක් පවතින දෙස් විදෙස් සංචාරකයන් ඇදී එන නගරයක් විදියට යාපනය විශේෂයි.
මෙම සිනමා උලෙළ යාපනයේ පැවැත් වුණත් යාපනයට පමණක් සීමා වෙලා නැහැ. මෙය උතුර දකුණ යා කරන සෙනෙහසේ පාලමක්. වසර තිහක් පමණ කාලයක් පුරා යුද්ධයත් එක්ක බිඳුණු හදවත් සුවපත් කරන්න ලද අවස්ථාවක් විදියටත් මේ සිනමා උලෙළ හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මෙහිදී අපිත් එක්ක විශාල තරුණ පිරිසක් එක් වී සිටිනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා අංශයේ තරුණ තරුණියන් වගේම කොළඹ තරුණ පිරිසකුත් මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනවා. උතුර සහ දකුණ අතර ශක්තිමත් සහෝදර බැඳීමක් ඒ ඔස්සේ ඇති වී තිබෙනවා. මේ සිනමා උලෙළට ජීවයක් ලබා දෙන්නේ එය යි. යාපනයේ පැවැත් වූවත් රතු පලස් නැති යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ සියලු දෙනාටම විවෘතයි.
යතේජා ඥානරත්න