ළාබාල වියේදීම රංගනයට කලාවට ඇළුම් කළ ඇය එතැන් පටන් විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවෙමින් ආ ගමනේ අද අපට ඇයව මුණ ගැහෙන්නේ ආදරණීය මිත්තණියක ලෙසින්. සැමදා මතකයේ රැඳෙන භූමිකා රැසක් කලා ක්ෂේත්රය තුළ නිරූපණය කළ ඇය අපිට ඉන්න සුවිශේෂි රංගන ප්‍රතිභාවක් සහිත රංගන ශිල්පිනියක්. ඇය නමින් අයිරාංගනී සේරසිංහ.
මේ දිනවල වැඩියෙන්ම කාලය ගතකරන්නේ ගෙදරද?
ඔව්. දැන් නම් මුළු දවසෙම ගෙදර ඉන්න තමයි මම කැමති. ඉස්සර කරපු දේවල් දැන් මට කරන්න අමාරුයි. මොකද ඇඟට ඉක්මණට වෙහෙස දැනෙනවා.
රංගනයට ආව මුල්ම කාලය මතක් කළොත්?
වේදිකාව හරහා තමා මම මුලින්ම එන්නේ. මම පාසල් වේදිකාවේ රංගනයක් මුලින්ම ඉදිරිපත් කරද්දී මට යන්තම් අවුරුදු හයක් විතර ඇති. එදා මම ඇඳගෙන හිටපු ඇඳුම පවා මට අදටත් මතකයි. ඒ වගේම තමා ඒ පටන්ගැන්ම දිගටම තිබ්බා වාර්ෂික ප්‍රසංගවලදී නාට්‍යයන් සඳහා අනිවාර්යයෙන්ම මම ඉදිරිපත් වුණා.
අපි පාසැල ගැනත් මතක් කරමු?
මම මුලින්ම ගියේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. ඊට පස්සේ කොළඹ බිෂොප් විද්‍යාලයේත් මම ඉගෙන ගත්තා. අන්තිමට මම ගියේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ මම විශ්ව විද්‍යාලයට තේරුණා. මුලින්ම නම් අප්පච්චි කැමති වුණේ නැහැ මාව විශ්ව විද්‍යාලයට යවන්න. පස්සේ කොහොම හරි මම කැමැත්ත ගත්තා. විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සෙත් රඟපෑමේ හැකියාව පෙන්වන්න විශ්වවිද්‍යාලයේ වේදිකා නාට්‍යයන් හරහා අවස්ථාව ලැබුණා. මට මතකයි මම හිටිය අවුරුදු තුනේම ඉංග්‍රීසි නාට්‍ය හැම එකකම වගේ මමත් රඟපෑවා.
නාට්‍යවල ඉන්නවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?
නැහැ. ඒවාට ගෙදරින් මුකුත්ම කිව්වේ නැහැ.
එතකොට මුලින්ම සිනමාවට ආවේ?
මම මුලින්ම රඟපෑවේ වාර්තා චිත්‍රපටයක. ඒකත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේම අධ්‍යක්ෂණයක්. ඒ චිත්‍රපටයේ නම බී සේෆ් ඕ බී සොරි (පරස්සම් වෙන්න නැත්නම් කනගාටු වෙන්න). මම ඒකෙ රඟපෑවේ කාන්තා රියැදුරු චරිතයක්. ඊට පස්සේ තමා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ රේඛාව චිත්‍රපටයට මට අවස්ථාව ලැබෙන්නේ. මගේ ජීවිතේ ඒ දවස් නම් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ඒ වෙද්දී චිත්‍රාගාරය තුළ තමයි චිත්‍රපට කළේ. නමුත් රේඛාව චිත්‍රපටය රූගත කළේ ඒ පසුතල සියල්ල තාත්වික හා ජීවමාන අයුරින් ස්වාභාවික පරිසරය තුළ රූපගත කරමින්. ඒ නිසා මටත් ඒ චිත්‍රපටය තුළ රඟපාන්න ලැබීම මම ලද වාසනාවක් විදියටයි දකින්නේ.
කොහොමද ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හඳුනාගන්නේ?
මට මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවුණේ එංගලන්තයේදී. ඒ කාලේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ටික කාලයක් එංගලන්තයේ පදිංචි වෙලා නාට්‍ය පිළිබඳ හැදෑරීම් කරපු කාලයක්. එංගලන්තයේ බ්‍රිස්ටල් ඕල්ඩ් වීක් තියටර් ස්කූල් හා සෙන්ට්‍රල් ස්කූල් ඔෆ් ස්පීච් ට්‍රේනිං ඇන්ඩ් ඩ්‍රැමටික් ආට් තුළින් මම රංග කලාව හැදෑරුවා. ඔය අතරතුර තමා මට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හමුවුණේ.
එතැනින් පස්සේ?
ඊට පස්සේ සංදේශය චිත්‍රපටයේ රඟපෑවා. ඒකෙ මට තිබ්බේ බිත්තර වෙළෙන්දියක සේ පෙනී සිටිමින් සංදේශය රැගෙන යන ගැහැනියක ලෙස රඟපාන්න. ගම්පෙරළිය චිත්‍රපටයේ මාතර හාමිනේගේ චරිතය රඟපෑමටත් මාව ගන්න තමා ලෙස්ටර් මහතාගේ හිතේ තිබ්බේ. ඒ වෙනුවෙන් මාව හම්බෙන්න එද්දී මට පුතා ලැබෙන්න ඇවිත්. මට මතකයි එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් මගේ දිහා බලලා අවුට් ඔෆ් ෂේප් නේ කීවා. ඊට පස්සේ තමා ඒ චරිතයට ශාන්ති ලේඛාව තෝරා ගෙන තිබ්බේ.
ඒ ගැන දුකක් තියෙනවාද?
අනේ නැහැ. පොඩ්ඩක්වත් මම දුක් වෙන්නේ නැහැ. මොකද විවාහ වුණාට පස්සේ මට ආසාව තිබුණේ දරුවෝ ලබන්න. හැබැයි විවාහ වුණා කියලවත් දරුවෝ ලැබුණා කියලවත් මගේ ජීවිතෙන් රංගනය ඈත් වුණේ නැහැ. ඒ වගේම තමා මට රඟපාන්න එපා කියලා තහංචි දැම්මෙත් නැහැ. මම දෙළොවක් අතර, රන්සළු, ඔබ දුටුදා, බක්මහ දීගේ, වෙසතුරු සිරිත වගේ තවත් සිනමාපට කීපයකම රඟපෑවා.
‘සම්ප්‍රදායික මව් චරිතයෙන් බැහැරව චරිත ලැබුණු නිර්මාණ මොනවාද?
සාගරයක් මැද, දඩයම, සුදු කළු සහ අළු, මචං වගේ චිත්‍රපටවල මම සාම්ප්‍රදායික මව් චරිතයෙන් බැහැරව තමා මට චරිත ලැබුණේ.
රංගන දායකත්වය ලබාදුන් විදෙස් නිර්මාණ ගැන මතක් කළොත්?
ඔව්. ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්, වෝටර් වැනි චිත්‍රපටවල මම රඟපෑවා.
තවමත් ඔබ කලාව අත්හැර නැහැ නේද?
ඔව්. අදටත් මට කතා කරන දේවල් වලට මම යන්නේ රඟපෑම මගේ ආසාව නිසා. අනික ගෙදරටම වෙලා හිටියොත් මට ලෙඩ වැඩි වෙනවා. ඒ නිසා මට ඔය කතා කරන මට දැන් කරන්න පුළුවන් කියලා හිතෙන පුංචි පුංචි වැඩවලට විතරක් යනවා.
අනුෂා රණසිංහ
දේශය