හෙල සිනමාවේ අග රැජින මාලනී ෆොන්සේකා පහුගිය කාලේ රෝගාතුර වූවා කියන පුවත ඇගේ සුවහසක් රසික කැල කම්පනයට පත්කළා. ඇගේ තොරතුරු දැනගන්න රසික පිරිස් දැඩි උනන්දුවක් දැක්වුවත් අපි ඇයව මාධ්‍යය ඉදිරියට කැඳවාගෙන එන්න උත්සාහ නොකළේ මාලනී විවේකී සුවයෙන් පසුවූ හින්දා. දැන් අපි රසික පිරිසට කියන්නට සැරසෙන්නේ මාලනී ගැන සුබ ආරංචියක්. සම්පූර්ණ සුවය ලැබූ මාලනී ආයෙමත් සුපුරුදු කටයුතුවල ක්‍රියාකාරීව යෙදෙනවා. ඒ වගේම ඇය ආයෙම රංගනයටත් එකතු වෙලා ඉන්නවා. මාලනීගේ නැගණිය දමයන්ති ෆොන්සේකාගේ 'රංකිරි අම්මා' ටෙලි නාට්‍ය හරහා මාලනී ෆොන්සේකා ආයේම රංගනයට එකතුවනවා.
ඔබේ අලුත්ම රංගනය ගැන කතා කළොත්?
රංකිරි අම්මා ටෙලි නාට්‍යයේ කිරිහාමි කියන චරිතය තමයි මම රඟපාන්නේ. ඇය ඈත දුෂ්කර ගමක වින්නඹු සේවයේ යෙදුණු වින්නඹු මාතාවක්. කාලයත් සමග ඇගේ ඇස් අන්ධ වෙනවා. ඉන්පසු තරුණ වින්නඹු මවක් ගමට එනවා. ඒ චරිතය රඟපාන්නේ උමයංගනා වික්‍රමසිංහ. කිරිහාමි කියන්නේ දෑස නොපෙනුණත් බොහොම දහිරියවන්ත ශක්තිමත් ගැහැනියක්.
ඔබේ නැගණිය දමයන්ති ෆොන්සේකාගේ අධ්‍යක්ෂණය ගැන කතා කළොත්?
රං කිරි අම්මා කණ්ඩායමට ඇය අධ්යක්ෂවරියක් වුණත් මට නම් හැමදාම ඇය චූටිම තමයි. මම දර්ශන තලයේ රඟපාන අතර චූටි ටෙලි නාට්‍යය මෙහෙයවන දිහා බලාගෙන හිටියා. නළු නිළියන් නිර්මාණ ශිල්පීන් මෙහෙයවන ආකාරය, දර්ශන තලයේ කටයුතු කරන ආකාරය දිහා බලනකොට චූටි අධ්යක්ෂවරියක ලෙස දක්වන දක්ෂතාවය මට පෙනුණා. මීට කලින් මම ආනන්දගේ (ආනන්ද ෆොන්සේකා) අධ්යක්ෂණ යටතේ උමයංගනා චිත්‍රපටයයි කඩවර ටෙලි නාට්‍යයෙයි රඟපෑවා. මගේ පවුලේ තවත් බාල සහෝදරියකගේ නිර්මාණයට එකතු වීමට ලැබිම ලොකු සතුටක්.
පසුගිය දිනවල ඔබ අසනීප තත්ත්වයෙන් පසුවුණා. ඉන්පසු දායක වූ ප්‍රථම රංගනය රංකිරි අම්මා. දැන් ඔබ සම්පූර්ණයෙන් සුව අතට හැරිලාද?
මම රෝගාබාධවලට අභියෝගයන්ට යටත්වන කෙනෙක් නෙවෙයි. මම රෝගාබාධවලට අභියෝග කරන කෙනෙක්. මම දරුණු මාරාන්තික රෝගාබාධවලට ලක්වූ අවස්ථා කීපයක්ම තියෙනවා. ඒ හැම අවස්ථාවකම මම ජයගත්තා. ලෙඩෙක් වුණාට වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය සියලුම දේ කරනවා. හැබැයි ලෙඩෙක් වුණාට මානසිකව කඩා වැටෙන්නේ නැහැ. හදවත් සැත්කමක් කරලා විවේක අරගෙන ඉන්පසුව රිදී රැයක් සඳහා නර්තනය ඉදිරිපත් කළා.
ඔබේ සහෝදර නිළි ගීතා කුමාරසිංහ හදිසි අනතුරකට ලක්වූ අවස්ථාවේ ඇයට බෝධි පූජාවක් තියන්න පවා මුල් වුණෙත් ඔබයි?
ගීතාට ඒ අනතුර වුණා කියලා දැනගත්තාම මට ලොකු කම්පනයක් ඇති වුණා. අද වෙද්දී ගීතා සුව අතට හැරිලා ඉතා හොඳින් ඉන්නවා. ඉදිරියෙදී ඇය සුපුරුදු විදියට අප හමුවට එයි. ගීතා වගේම ස්වර්ණාත් අසනීප වෙලා ඊට සාර්ථකව මුහුණ දීලා අද ඉතා හොඳින් ඉන්නවා. මම, 'ගීතා' ස්වර්ණා තුන්දෙනාම ශක්තිමත් කාන්තාවෝ. මම මෙහෙම කිව්වට අපේ රංගන ශිල්පීන් අමනාප වෙයිද දන්නෙ නැහැ. හැබැයි අපේ රංගන ශිල්පීන්ට වඩා රංගන ශිල්පිනියන් ශක්තිමත් කියලා මට හිතෙනවා.
රංකිරි අම්මා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරද්දී දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා නේද?
තණමල්විල දැඩි අව් රශ්මිය තියෙන පළාතක්. බිම වැටුණ තණකොළත් රත්වෙලා තියෙන්නේ. චූටියි ටෙලි නාට්‍යයේ කාර්මික ශිල්පීන් හැමෝමයි සපත්තු සෙරෙප්පු දාගෙන දර්ශන තලෙත් හිටියා. මට ඉන්න වුණේ සෙරෙප්පු දෙකක්වත් නැතුව. මේ ටෙලි නාට්‍යය ඉවර වුණාට පස්සේ මට ගිනි පාගන්න යන්න පුළුවන් වෙයි කියල මම කිව්වා. හැබැයි ඉතින් රං කිරි අම්මා කණ්ඩායම හරිම හොඳයි. ඒ අයත් එක්ක ගත කරපු කාලය හරිම සුන්දරයි.
ආරියවංශ කුලතිලක