ලාංකේය සිනමාව නැවත වතාවක් ජාත්‍යන්තරයට ඔසවා තබමින් දේශයට කීර්තියත්, අභිමානයත් ගෙන දීමට ඇය සමත් වන්නීය.
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී ඉකුත්දා නිමාව දුටු ආසියානු ලෝක සිනමා උළෙලේදී (ඒසියන් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්ටිවල්) හොඳම රංගන ශිල්පිනිය ලෙස ඇය සම්භාවනාවට පාත්‍ර වන්නීය.
චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ, තවමත් ශ්‍රී ලංකාවේ තිර ගත නොවූ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේදී අද අප කතා නායිකාව විදහාලූ ඒ විශිෂ්ට රංගන ප්‍රතිභාව මෙම සම්මානය ඇයට පුද දීමට හේතු පාඨ විය.
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් එම සම්මානය පිරිනැමීම වෙනුවෙන් මෙරටදී විශේෂ ඇගයීමේ උත්සවයක් සංවිධානය කරන මොහොතක ඇගේ හඬ අවදි කරන්නට මෙලෙස ඉඩ හසර වෙන් කළෙමු. කවදත් විවාදාත්මක චරිතයක් වන ඇය හඳුන්වා දීමට අටුවා ටීකා හෝ ටිප්පනි අවැසි නැත. ඕ, ප්‍රවීණ රංගන වේදිනී අනෝමා ජනාදරි නම් වන්නීය.
කලකට පසු සිනමාව හරහා ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ගෙන යන්නට ඔබ සමත් වෙනවා. අපි එතැනින් පටන් ගමු....·
සිනමාවට විශේෂිතව ගරු සත්කාර කරන ඇමරිකාවේදී මෙම ආසියානු ලෝක සිනමා උත්සවය පැවැත්වීමත් විශේෂත්වයක්. මේ විශේෂත්වය තීව්ර වන්නේ ආසියානු චිත්‍රපටවලට ඇකඩමි සම්මාන සඳහා ඇතුළත් වීමට ලැබෙන ඉඩප්රස්ථා නිසයි. අනෙක මේ චිත්‍රපටයට තරගකාරී අංශයේ කිසිදු ඇගයීමක් නොලැබී එහි තිබූ තරගකාරී චිත්‍රපටවල සියලු රඟපෑම් ද අභිබවා මගේ චරිතය ප්‍රතිභාපූර්ණ යෑයි මෙම ජූරිය තීන්දු කිරීම. මම මෙතනදී දකින තවත් විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි මේ ජූරියේ විනිසුරුවන් හරි අඩක් කාන්තාවන් වීම.
ඔබ ප්‍රථම වතාවට අන්තර් ජාතික සම්මානයට පාත්‍ර වන්නේ 2003 දී...
ඔව්. ඒ මීට වසර 13 කට ප්‍රථම "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටය වෙනුවෙන් තමයි ඒ සම්මානය ලබන්නේ. මීට අමතරව ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළිය, ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශ්ව කීර්ති සම්මානයත් මම හිමිකරගෙන තිබෙනවා. මම ආවාට ගියාට රඟපාන්න යන්නේ නෑ. රඟපෑමට යමක් කළ හැකි නම් අධ්යක්ෂවරයාගේ දෘෂ්ටිය සමාජයට වැඩදායී නම් මට එතන ඔහු සමග වෘත්තීය ගනුදෙනුවක් තිබෙනවා.
"දැවෙන විහඟුන්" විදේශීය සම්මාන උළෙලවල් කිහිපයකට ඉදිරිපත් වුණත් අප එහිදී ඔබව දුටුවේ නැහැ...
ඔව්. ඒක කතා කළ යුතු ප්‍රශ්නයක් තමයි. අද සිනමාවේ සිටින සමහර අධ්යක්ෂවරු විශේෂයෙන් කලාත්මක ධාරාවේ ඉන්න අය අත්තනෝමතික ලෙස කර වටක් එරී දඟලන පිරිසක් කියලා ඒ අය විසින්ම ඔප්පුකර තිබෙනවා. ඒ නිසාම ඔවුන්ගේ ආකල්ප යහපත් කළා කෘතියකට අවශ්‍ය කරන නිර්මාණ සාමූහිකය නැති කරනවා. සංජීව පුෂ්පකුමාර පමණක් නෙවී මේ සිනමාකරුවෝ බොහොමයක් හිතනවා චරිතයකට තෝරා ගන්නා නිළියන් වෘත්තීමය නොවන වහල්කම්වල යෙදිය යුතුයි කියා.
මේ ලැබූ ජාත්‍යන්තර සම්මානය නිසාවෙන් ඔබ මෙරටදීත් කිසියම් විශේෂිත වූ ඇගයීම් බලාපොරොත්තුවෙන් පසුවන බවක් මාධ්‍යයට පවසා තිබුණා. ඒ ගැන...
මේක තමයි මම හිතන්නේ ඔබෙන් මා බලාපොරොත්තු වූ වැදගත්ම ප්රශ්නය. ඔව්. මම එවැන්නක් බලාපොරොත්තු වෙනවා. මම සිංගප්පූරුවේදී ලබාගත් අන්තර් ජාතික සම්මානයම තමයි එදා නීටා ප්‍රනාන්දු සහ ජෝ අබේවික්රමත් ලබා ගත්තේ. ඊට පසු මාලිනී ෆොන්සේකා, ජගත් චමිල, අනෝජා වීරසිංහ වැනි අපේ ශිල්පීන්ටත් උපහාර පිරිනමා ගෞරව ලබාදී වරදාන සහ ඉඩකඩම් තෑගි වශයෙන් ලබාදුන් බව නැවත සිහිපත් කළයුතු නැහැ. නමුත් කනගාටුවෙන් කිව යුතුයි. මම 2003 දී මේ රටේ සිනමාවට අන්තර් ජාතික කීර්තියක් රැගෙන ආවත් එයට අදට වසර 13 ක් ගතවී තිබුණත් මා වෙනුවෙන් අබමල් රේණුවක තරම්වත් කිසිදු දෙයක් කිසිම තැනකින් ලබාදී නැහැ. මා දන්නා තරමට මේ ක්ෂේත්රයේ මගේම සහෝදර ප්‍රවීණ ශිල්පීන්වත් කිසිදු රජයකට මා වෙනුවෙන් කිසිවක් කරන ලෙසට යෝජනාවක් වත් ඉදිරිපත් කර නැහැ. මට හරි පුදුම මේ දෙබිඩි සංග්‍රහ ගැන.
ඔබේ විශිෂ්ට රංගනයන් අන්තර්ගත ඔබ සම්මානිත වූ "දැවෙන විහඟුන්" චිත්‍රපටය කිසිදු කප්පාදුවකින් තොරව අපේ ප්‍රේක්ෂකයාට නැරඹිය හැකි වේද...?
මා මේ චිත්‍රපටයේ රඟපා ජාත්‍යන්තර සම්මානය දක්වා ගිය ගමන ඉතාමත් දුක්මුසු අත්දැකීම් සමුදායක්. මගේ චරිතයට වෙනත් ශිල්පිනියක ලවා දෙබස් කවා තිබුණා කියලා මා දැන ගත්තේ චිත්‍රපටය නරඹන විට. තිරනාටකයට අනුව මා රඟපෑ චරිතය, විදේශයනට ඉදිරිපත් කිරීමේදී සහමුලින්ම කප්පාදු කර චිත්‍රපටය විකෘති කර තිබුණා.
මම මේ අත්තනෝමතික සිනමා විරෝධී ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් දැනටමත් ජනාධිපතිතුමාට සැළකර තිබෙනවා. එමඟින් මා උත්සාහ කරනවා මේ චිත්‍රපටය නැරඹීමේ පූර්ණ ප්‍රකාශන අයිතිය සහ හිමිකාරීත්වය ඇති ප්රේක්ෂකයාගේත් විද්වත් ශ්‍රී ලාංකිකයාගේත් බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීමටත් ඊට දායක වූ කලාත්මක ධාරාවේ නිළියක් හැටියට මගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කර ගැනීමටත්.
මා මෙරට සිනමා කලාවට ආදරය කරන' මගේ ආදරණීය රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා මගේ මේ වෑයමට සහයෝගය දක්වන හැටියට එසේ නොවෙයි නම් ඔහු දැනට කපා කොටා විවෘත කළ නිර්මාණය දුටුවිට මෙරට ප්‍රේක්ෂකයන් මගෙන් අසාවි මෙවැනි චිත්‍රපටයක රඟපාලද ඇමරිකාවේදී ඔබට හොඳම නිළිය සම්මානය ලැබුණේ කියා.
සුජීව තත්සර