දේශීය රූපවාහිනී නාට්‍ය කලාවේ නිම් වළලු ප්‍රසාරණය කරමින්, ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ ටෙලි නාට්‍යය වන 'භවත්‍රා' නිෂ්පාදනය කළ ඔහු දේශීය ප්‍රාසාංගික ටෙලි නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද 'දඬුබස්නාමානය' මෙන්ම, 'වෙද හාමිනේ', 'සසල ඉම', 'ඔරු බැඳි සියඹලාව' වැනි සම්මානනීය ටෙලි නාට්‍ය රැසක් රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළේය. මෙයට අමතරව සම්මානනීය වෙළෙඳ දැන්වීම් 1000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ ඔහු නමින් සුනිල් රත්නායකය. ඔහුගේ කලා දිවියේ 30 වස් සැමරුම් උළෙල මේ මස 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
'යශෝරාවය', 'දඬුබස්නාමානය' වැනි ජන ප්‍රසාදය දිනාගත් නිර්මාණ පුංචි තිරයට රැගෙන ආ ඔබ අද පවතින ටෙලි නාට්‍ය කලාව ගැන දක්වන්නේ මොන වගේ අදහසක්ද?
බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවානේ වෙනස් නොවන එකම දේ වෙනස්වීමයි කියලා. ඒ නිසා අපි වෙනස් විය යුතුයි. වෙනස් නොවන ජීවීන්, නැත්නම් අනුගත නොවන ජීවීන් අභාවයට යනවා කියලත් කියනවනේ. අපි හැමදාමත් යශෝරාවය නොබැලිය යුතුයි. යශෝරාවයම නොහැදිය යුතුයි. තව අලුත් දේවල් නිර්මාණය කළ යුතුයි. මේ ආකාරයට අලුතින් නිර්මාණය වුණු අංශයක් විදියට තමයි දැන් පවතින මෙගා නාට්‍ය කලාව මම දකින්නේ. මම කවදාවත් මෙගා රැල්ල නවත්තන්න කියන සටන්වලට ගිහින් නෑ. මෙගා කියන්නේ කාලීන සමාජ වුවමනාවක්. අනෙක් සෑම එකකම වාගේ මේකෙත් හොඳ නරක දෙකම තියෙනවා. මම ඒ ගැන දැන් කතා කරන්න යන්නේ නෑ. නමුත් සමාජය අද මේ නාට්‍ය පිළිගන්නා තත්ත්වයට ගොඩනැගිලා තියෙනවා. මේකයි මගේ අදහස. දැන් කරන්නේ මෙගා නාට්‍යම නම් මගේ අරමුණ සහ උත්සාහය වෙන්නේ ඒ අතරිනුත් හොඳම මෙගා නාට්‍ය නිර්මාණය කිරීමයි.
ඔබ ජයන්ත චන්ද්‍රසිරි වැනි එවකට තරුණ නිර්මාණකරුවන් රැසක් ටෙලි නාට්‍ය නිර්මාණකරණයට ගෙන එනවා. නිෂ්පාදකයෙක් විදියට මේ වගේ අවදානමක් ගැනීමට බයක් ඇතිවුණේ නැද්ද?
මුලින්ම කියන්න ඕනෑ මම ව්‍යවසායකයෙක් බව. ව්‍යවසායකයාගේ ස්වභාවය තමයි අවදානමක් ගැනීම. ඒ වගේ අවදානමක් ගැනීමේ ශක්තියක් නැතිනම් ඔහුට සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්නත් බැහැ. ඒ වගේම අවදානම මනා ලෙස කළමනාකරණය කරගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක්ද ඔහු සතුව තිබිය යුතුමයි. මේ දෙකම මගේ ළඟ තියෙනවා. ඒක සාර්ථකව මෙහෙයවීමේ හැකියාව තියෙනවා කියලා මම තදින්ම විශ්වාස කරනවා. අනෙක් කාරණය තමයි, මට තෝරාගැනීම් සම්බන්ධයෙන් විශේෂ දක්ෂතාවක් වගේම දැනුමකුත් තියෙනවා. මම මුදල් තිබුණට නාට්‍ය නිෂ්පාදනයට යොමුවුණ කෙනෙක් නෙවෙයි. වෘත්තීය නිෂ්පාදකයෙක්. ටෙලි නාට්‍ය, චිත්‍රපට හෝ මොනයම් මාධ්‍යයක වෘත්තීය නිෂ්පාදකයකුට ඒ හා සම්බන්ධ සෑම ක්ෂේත්රයක් ගැනම හොඳ අවබෝධයක් තිබිම අත්‍යවශ්‍ය කාරණයක්.
'ටෙලිවිව්' ඇකඩමිය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ ඔබයි. 'ටෙලිවිව්' ඇකඩමිය ආරම්භ කිරීමට පසුබිම් වූ හේතුව මොකක්ද?
මම රූපවාහිනී නිෂ්පාදන කාර්යයන්වලට පිවිසුණු කාලේ වැඩි හරියක් චිත්‍රපට ක්ෂේත්රයේ නිරත වුණු අය තමයි හිටියේ. ඒ අයත් සමග වැඩ කිරීමේදී මට ඇත්තටම නුහුරු ගතියක් දැනුණා. මේ අයගේ භාෂා රටාව, ඇඳුම් පැළඳුම්, හැසිරීම් වගේ දේවල්වලින් මට අප්‍රසන්න හැඟීමක් ඇතිවුණා. මේ නිසා මාගේ කාර්යයන් කරගෙන යාමට මට ගැළපෙන කිසියම් හික්මීමක් ඇති පිරිසක් යොදාගැනීම අවශ්‍යතාව මට ඇතිවුණා. මෙවැනි පිරිසක් නිර්මාණය කරගැනීමේ අරමුණින් තමයි මම මුලින්ම මේ ඇකඩමිය ආරම්භ කිරීමට යොමුවුණේ.
ඔබගේ තිස් වසරක කලා දිවිය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවය පිළිබඳව කතා කළොත්?
ගොඩක් වෙලාවට මේ වගේ සැමරුම් උත්සව තියන්නේ විශ්‍රාම ගැනීම අරමුණු කරගෙන. නමුත් මේ උත්සවය පවත්වන්නේ මගේ ගමනේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් වගේම මගේ ඉදිරි කාර්යයන් සඳහා නව උත්තේජනයක් ලබාගැනීමේ පරමාර්ථයෙනුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ නළු නිළි, ගායක ගායිකා ඇතුළු විවිධ කලාකරුවන්ගෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ප්‍රධාන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම උළෙල නම්කර ඇත්තේ සුනිල ප්‍රතිභා ප්‍රභා නමින්.
පාලිත අබේලාල්