උඩුගං බලා යමින් විශිෂ්ට මෙන්ම සම්භාවනීය ටෙලි නාට්‍යය 15 ක් ගෙයි මැද සාලයේ සිට රූපවාහිනිය නරඹන අසුහාර ලක්ෂයක ප්‍රේක්ෂකයින්ට දායාද කළ හේ අග්‍රගණ්‍ය ටෙලි නාට්‍යය නිර්මාණකරුවෙකි. ක්ෂේත්රයේ අභිවෘද්ධිය සේම නිර්මාණකරුවන්ගේ සුරක්ෂිතතාව උදෙසා ''ටෙලිනිස්' සංවිධානය බිහි කිරීමේ මූලිකත්වය ගනිමින් කෘතහස්ත සේවාවක් ටෙලිනාට්‍ය නිර්මාණකරුවන් උදෙසා ඉටුකළ ඔහු එළඹෙන ඕනෑම අභියෝගයක් අභියස නොසැලී කලාව සහ කලාකරුවන්ගේ අභිමානය උදෙසා පෙනී සිටින නිර්මාණශීලී සටන්කරුවෙකි. කලාකරුවා සේම ඔවුන්ගේ නිර්මාණ ඇගැයීම උදෙසා ''සද්ජන සහෘද සංසදය'' ගොඩනැඟීමේ පුරෝගාමියා වන්නේ ද ඔහු ය. පුංචි තිරයේ මෙන්ම එම ක්ෂේත්රයේ අභිවෘද්ධිය උදෙසා විස්කම් පෑ හෙතෙම නම ඇසූ පමණින් කවුරුත් දන්නා සුදත් රෝහණයන්ය. 1990 වර්ෂයේ 'අමරාවතියෙන් ඇරැඹුණු ඔහුගේ නිර්මාණාවලිය 'මන්දාරම් එළි', 'දත්කැකුළු පාලා', 'අවිදු අඳුර', 'නිරානන්දය', 'විකුම්සිහ කතන්දර', 'වන වදුලේ වසන්තය', 'බැද්දේගෙදර', 'යුගවිලක්කුව' 'අඹුදරුවෝ', 'කටුඉඹුල', 'උතුවන්කන්දේ සරදියෙල්', 'ස්වයංජාත', 'ගිරිකුළ' යන ටෙලි නිර්මාණ මෙන්ම 'සුදු කළුවර' චිත්‍රපටයද නිර්මාණය කළේය. දශකයක කාලයක් කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් එළඹෙන 26 දා සවස 6.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන ''සුදත් රෝහණ නිර්මාණාලංකාර'' උපහාර උළෙල වෙනුවෙන් ඔහු සමගින් කළ සංවාදයක සටහන් මතු දැක්වේ.
ඔබ ටෙලි නාට්‍ය නිර්මාණය සඳහා උපයෝගී කරගන්නා වස්තු බීජය සේම රූගත කිරීමේදී අභියෝගාත්මක අවස්ථාවන්ට දැඩි ලෙස මුහුණදීමේ ශක්‍යතාවෙන් යුත් නිර්මාණකරුවාගේ භුමිකාව නිරූපණය කරන බව මා කීවොත්...
ඔව්. නිර්මාණකරණයේදී ඕනෑම අභියෝගාත්මක අවස්ථා හා ගැටුම් අභියස නොසැලී කටයුතු කරන නිර්මාණකරුවෙක් මම. ඒ කැපවීම, ශක්තිය වගේම ඒ සඳහා ධෛර්යය මට ලැබුණේ ලාංකීය සිනමාව සහ ටෙලි නාට්‍ය භූමිකාවේ දැවැන්තයෙකු වූ තිස්ස අබේසේකරයන්ගේ ගුරු ඇසුර නිසා.
''යුග විලක්කුව'' මගේ නිර්මාණ දිවියේ මා මුහුණ දුන් අභියෝගාත්මක මෙන්ම, මරණය පෙනි පෙනී නිර්මාණකරණයේ යෙදුනු ටෙලි වෘත්තාන්තයක්. 1985 මැයි 14 වැනිදා තමයි අනුරාධපුරයට කොටි බෝම්බ ප්‍රහාරය එල්ල කළේ. මෙම අවස්ථාව ''යුග විලක්කුව'' ටෙලි වෘත්තාන්තය සඳහා මා කැමරාවට හසුකර ගන්නේ 1994 දී. ඒ කියන්නේ දරුණු අන්දමින් යුද්ධය පැවැති වකවානුවේදී. 1985 වර්ෂයේ එම සිදුවීම සිදුවන විට පැවැති අනුරාධපුරය රූ ගත කරන අවස්ථාව වන විට බොහෝ වෙනස්කම් සිදු වී තිබුණා. කඩවල බෝඩ් ලෑලි පවා 1985 වර්ෂයේ පැවැති අයුරින්ම වෙනස්කරමින් රූ ගත කරන්න මට සිදුවුණා. කොටි ප්‍රහාරය එල්ල කළ බස් රථය පවා තීන්ත ගා ඒ අයුරින්ම රූ ගත කරන්නත් සිද්ධ වුණා.
යාපනය, කිලිනොච්චිය, අලිමංකඩ වැනි ප්‍රදේශවල බෝම්බ හඬවලට සවන් දෙමින් අති බිහිසුණු අන්දමින් යුද්ධය පැවැති අවදියේ තමයි කැමරා ආම්පන්න අටවා ගෙන කාර්මික ශිල්පීන් සමඟ ''යුග විලක්කුව'' රූගත කළේ. වෙනත් නිර්මාණකරුවෙක් නම් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ නොදී, තල්ගස් තිබෙන ස්ථාන සොයා ගොස් රූ ගත කිරීමට පෙළඹෙනවා. මට අවශ්‍ය වුණේ, තිස්වසරක යුද්ධයේ අති බිහිසුණු අත්දැකීම් සිදුවූ ආකාරයෙන්ම, පුංචි තිරය නරඹන ප්‍රේක්ෂකයන්ට නිර්ලෝභීව ලබාදෙන්න. වෙඩි හඬ ඇසෙන ශබ්දය, මරණයේ වේදනා විඳින රණවිරුවන්ගේ ගැහෙන සිරුරු දැක දැකයි, අපේ කණ්ඩායම යුද්ධයේ අති බිහිසුණු අත්දැකීම් කැමරාවට හසුකර ගත්තේ. උදේ දකින රණවිරුවා සවස බොහෝවිට දකින්නේ, ඔවුන්ගේ මළ සිරුරු. නැත්නම්, අත්පාද අහිමි වූ සිරුරු. බිහිසුණු යුද්ධයේ නාඩි අල්ලා ඒවායේ ගැහෙන රිද්මය, ප්‍රේක්ෂක හදවත්වලට දැනෙන අයුරින් නිර්මාණ කරණයේ යෙදෙන්න මට අවශ්‍ය වුණා. එම නිර්මාණය යළි යළි දකින මොහොතක් පසා දැනුත් මගේ ඇඟ පුරා එහි රිද්මය දිව යනවා.
අඩි පන්සියකටත් වඩා සෘජු උසක පිහිටි, අව් රශ්මියෙන් රත්ව ගිය මාවනැල්ලේ දෙවනගල පිහිටි ගල්කන්ද මතට ''උතුවන්කන්දේ සරදියෙල්" ටෙලි වෘතාන්තයේ රූ ගත කිරීම සඳහා සහභාගීවීමට බොහෝම අපහසුවෙන් ගලමතට නගින, තිස්ස අබේසේකර ශූරීන් කියනවා මං අහගෙනයි, මගෙන් ඉගෙන ගත්ත පාඩම මටත් වදදෙන අයුරින්, මගේ ගෝලයා ක්‍රියාත්මක කරන බව.
ගුරු උපදෙස් නියමාකාරයෙන් ම, ක්‍රියාවට නැගූ ගෝලයෙක් මම. එම ටෙලි වෘතාන්තයේ රංගනයේ යෙදුන ශිල්පියෙකු ලෙස ඔබත් දකින්න ඇති, රූ ගත කිරීම් සඳහා ඔයි වගේම දුෂ්කර ස්ථානයක් තමයි මම තෝර ගත්ත කෑගල්ලේ උතුවන්කන්ද. දහවල් කාලයේ ගල රත්වෙලා ගිනි සැරේට. මෙම ස්ථාන දෙකේ පිහිටා තිබෙන ගල්කන්ද මුදුනට කිලෝ දහස් ගණනකට වඩා වැඩි බරින් යුත් ක්‍රේන් ආදී කැමරා ආම්පන්න, කාර්මික ශිල්පීන්ගේ කරමතින් තමයි උඩට ගෙන ගියේ' අපි දවස් පහක් හයක් රෑ දහවල් නොබලා, එක දිගට රූ ගත කිරිමේ නිරත වෙනවා. හැම අවස්ථාවකම මම පෙළඹෙන්නේ කොපමණ දුෂ්කරතා තිබුණත්, සුදුසු ම දර්ශනතල තෝරාගෙන නිර්මාණයට සාධාරණයක් වන සේ, අදාළ ස්ථානවල රූ ගත කිරීම් සිදුකරන්න. ඒ නිසා දර්ශන තලවල තිබෙන දුෂ්කරතා ගැන මම, මගේ අවධානය යොමු කරන්නේ නැහැ. මෙම පාඩම මම ඉගෙන ගත්තේ, මගේ ගුරු තිස්ස අබේසේකරයන් ගෙන්.
මගේ අවසන් ටෙලි නිර්මාණය වන ''ගිරිකුළ'' ටෙලි වෘතාන්තයේ රූ ගත කිරිම් සඳහා මම තෝරා ගත්තේ, අනුරාධපුරය, නවගත්තේගම වගේ අලින්ගෙන් ගහන, බීමට වතුර පොදක් පවා නැති දුෂ්කර දර්ශන තල තිබෙන ප්‍රදේශ. දෙවුන්දර, කෑගල්ල වැනි ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකටම ගිහින් අදාළ දර්ශන තලවල රූ ගත කිරීම් සිදු කළා. මෙය 'ගිරිකුළ' නමැති නවකතාව පාදක කරගත් නිර්මාණයක්' එහි මුතුමැණිකා රූපවත් කාන්තාවක් නොවේ. මගේ නිර්මාණය සඳහා මා තෝරා ගත්තේ, කාන්චනා මෙන්ඩිස්, නවකතාවේදී තම ජීවිතය ගිරිකුළ තරණය කිරීම සඳහා මුතුමැණිකා යොදා ගන්නේ කෙටිකාලයක්. එම කාලය මා මගේ නිර්මාණයේදී ඇගේ ජීවිතයේ අවසානය දක්වා ම දීර්ඝ කළා. 1940 සිට 1970 දක්වා වූ කාලපරාසයේ භාජනය වූ විවිධ වෙනස්වීම්, ඒ ආකාරයෙන් ම අදාළ දර්ශන තල පවා යොදා ගනිමින් මහත් දුෂ්කරතා විඳගෙනයි එම නිර්මාණය මා රූ ගත කළේ. නවකතාවක් රූ ගත කිරීමේදී මනසින් පාඨකයා දැක තිබෙන දර්ශන තල ඒ ආකාරයෙන්ම රූ ගත නොකළහොත්, ප්‍රේක්ෂකයින්ගේ රස වින්දනයට බාධා ඇතිවෙනවා. ඒ නිසා එම අභියෝගය ජයගන්න නම්, නව කතාවේ පාඨකයා දුටු පසුතල දර්ශන ඒ ආකාරයෙන්ම රූ ගත කිරීමේ අභියෝගයට නිර්මාණකරුවා මුහුණ දෙනවා.
ඔබ නිර්මාණය කළ ටෙලි වෘතාන්ත අතුරින් ''ගිරිකුළ'' නිෂ්පාදනය සඳහා අධික පිරිවැයක් දරන්න සිදුවුණා වගේම, විකාශය සඳහා වැඩිම මුදලකට මිලදී ගත් ටෙලි නාට්‍ය ලෙස ද වාර්තා තබා තියෙනවා. මම හරිනේ'
ඔබ නිවැරදියි. මෙම ටෙලි වෘතාන්තයට වියදම් කළේ, කලාකාමි රසඥතාවකින් යුත් හිම් මවුජිඩ් නැමැති මගේ හිත මිත්‍රයෙක්. වියදම කොපමණ වැය වුවත් ඔහුට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් කරන්න. රුපියල් ලක්ෂ හාරසිය දොළහක පමණ මුදලක් මෙයට වැයවුණා. වියදම් කළ නිෂ්පාදකයාට ලැබුණේ සුළු ලාභයක්.
ටෙලි නාට්‍ය රූ ගත කිරීමේදී ඩිම් ආම්, ක්‍රේන්, ට්‍රැක් සහ ඩොලි ආදී උපකරණ නැතුවම බැරි නිර්මාණකරුවෙක් ලෙස ඔබව ක්ෂේත්රයේ හැඳින්වෙනවා. ඇතැම්විට ඔබ කැමරාව සෙල්ලම් භාණ්ඩයක් ලෙස භාවිතා කරන ආකාරය පවා අපි දැක තියෙනවා. 'තිබ්බා ගැහුවා' රූ ගත කිරීමේ කාර්යයට එහා ගිය නිර්මාණකරුවෙක් ඔබ...
මෙම උපකරණවල සේවාව මා මගේ නිර්මාණ කාර්යයේ දී උපරිමයෙන්ම භාවිතා කරනවා. රංගන ශිල්පි ශිල්පීනියන්ගේ රංගනය, තාත්වික ආකාරයෙන් රූ ගත කිරීමේදී, බාහිර පසුතල දර්ශනවල චලනය පවා කැමරාවට හසු කර ගැනීමට විශේෂයෙන් මා යොමු වෙනවා. එක තැනක කැමරාව අටව ගෙන කරන රූ ගත කිරීමේදී, පසුතල දර්ශනයේ පවතින රිද්මය කැමරාවට හසු කර ගන්න බැහැ. පසුතල දර්ශනයේ පවතින රිද්මය, නළු කාර්ය සඳහා ද උපරිමයෙන් දායකත්වය ලබා දෙනවා.
මෙම උපකරණ භාවිතයෙන් රූ ගත කිරීමේදී නළු නිළියන්ට රඟපෑම ඉතාමත් පහසු කාර්යයක්. ඇතැම්විට නළුනිළියන් සහ කාර්මික ශිල්පීන් පවා වෙහෙසට පත්වන පරිදි, නිවැරදි දර්ශනය කැමරාවට හසු කර ගන්නා තෙක් ඔබ ''ටේක් '' කිහිපයක් ගන්නා අයුරු අප අත්දුටු සත්‍යයක්' හැබැයි ඔබ ඉන්නේ, කිසිදු වෙහෙසක් නොමැති අයෙකු සේ.
ඒ මගේ හැටි. කරන කාර්ය නිවැරදිව කිරීම තමයි මගේ අභිප්‍රාය, කනබොන වෙලාව පවා බොහෝවිට මඟ හැරෙන අවස්ථා තියෙනවා' මේවා නරඹන්නේ ප්‍රේක්ෂකයින්, ඔවුන්ට බොරු කරන්න හොඳ නිෂ්පාදකයෙකු කවමදාකවත් යොමුවන්නේ නෑ.
ඔබ, අධ්‍යක්ෂකගේ භූමිකාවට එහා ගිය, කලාව සහ කලාකරුවන්ගේ අභිමානය උදෙසා පෙනී සිටි, පෙනී සිටින එක්තරා අන්දමක සටන්කාමියෙක්. 1993 වර්ෂයේදී මෙකී ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස ඔබ 'ටෙලිනිස් සංවිධානය ගොඩනඟනවා.
මෙම සංවිධානය බිහිකිරිමේ පදනම දැරීමට හේතුන් කිහිපයක්ම පැවැතුණා. එම කාලයේ පෞද්ගලික රූපවාහිනි ජාල අද තරම් බහුලව තිබුණේ නැහැ. ජාතික රූපවාහිනි නාළිකාවල අනුමැතිය ලබාගෙන විකාශනය කළ ඇතැම් ටෙලි නාට්‍යය නිර්මාණ දේශපාලන හස්තයකින් හෝ වෙනත් බලපෑමකින් හෝ අතර මඟ නතර කෙරෙනවා. එවිට නිෂ්පාදකයින්ට දුෂ්කරතා ඇති වෙනවා. මේවා ගැන කතා කරන්න, ඒ සම්බන්ධව තීන්දු තීරණ ගන්නා කෙනෙක් නැහැ. මම පෝස්කාඩ් 25 ක් නිර්මාණකරුවන් 25 දෙනෙකුට තැපැල් කර නියමිත දිනයේ රැස් වෙනවා. එම රැස්වීමෙන් පසු, 1993 වර්ෂයේ දෙසැම්බර් මාස දිනයක, කොළඹ මහජන පුස්තකාල රැස්වීම් ශාලාවේ ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනවා. එම ශාලාව එදා අතුරු සිදුරු නැතිව පිරි ඉතිරී යනවා. රවීන්ද්‍ර රන්දෙනිය ඇතුළු සිනමා නළුනිළියන් පවා එම රැස්වීමට සහභාගී වෙනවා. එහිදී ගත් තීරණ අනුව, අපි අදාළ අමාත්‍යවරුන් සහ නිලධාරීන් සමඟ සාකච්ඡාකර ටෙලි නිර්මාණ කරුවන්ගේ නිර්මාණ සඳහා පැහැදිලි තීන්දු තීරණවලට එළඹෙනවා'
විදේශීය ටෙලි නාට්‍ය රැල්ලට එරෙහිව ගත් පියවර අනුව, එම ටෙලි නාට්‍යවලින් අය කළ බද්ද අනුව හම්බන්තොට, ''රන්මිණි තැන්න'' රූපවාහිනි ගම්මානය ඉදිකරනවා. අපි එදා අපේක්ෂා කළ සේවාව අදවන විට සිදුවන්නේ නැහැ. එය කනගාටුවට කාරණයක්.
වේදිකා නාට්‍ය සහ චිත්‍රපට නිර්මාණ එළි දැක්වීම සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබාගන්න අවශ්‍යයි. එය නීතිමය තත්ත්වයක්. එහෙත්, ගෙයි මැද සාලේ සිට අසූහතර ලක්ෂයක ප්‍රේක්ෂකයින් නරඹන ටෙලි නිර්මාණවලට ඒ අයුරු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. විශේෂයෙන් හරසුන් විදේශීය මාලා නාටක, නාළිකාවල විකාශය කරන්නේ, මේ කිසිදු අනුමැතියකින් තොරවයි. ජනතාවගේ රස වින්දනයත් සමඟ මේ කරන්නේ අතුරේ යන සෙල්ලමක්. මෙහි හාස්‍යයට කරුණ වන්නේ, මා වෙනුවෙන් ''සත්ජන සහෘද සංසදය' 26 වැනි දින සිදුකරන උපහාර උළෙල වෙනුවෙන් ශාලාව වෙන් කිරීමේදී, මගේ ටෙලි නාට්‍යවල ගායනා ඇතුළත් ප්රසාංගික වැඩ සටහන සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටීම. 'ටෙලිනිස් සංවිධානයේ යෝජනාවක් පරිදි ටෙලිනාට්‍ය නිර්මාණ සඳහා, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වැනි ආයතනයක් මගින් අනුමැතිය ලබාගැනීම උදෙසා එවැනි ආයතනයක් පිහිටුවීමට අදාළ වූ පනතක් කෙටුම්පතක් සකස් කර අවසන්. එය දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වී තිබෙනව ලු.
ධම්ම ජාගොඩ ශූරින් එදා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කළ 'පළි`ගු මැණිකේ' ටෙලිනාට්‍යයේ අන්තර්ගත වූයේ, විවෘත ආර්ථිකය නිසා ගම් නියම්ගම් සිසාරා රට තුළට අතික්‍රමණය කරන පට් පට්, සම්තින්ලාගේ ව්‍යසනයයි' එම ටෙලි නාට්‍යය ඔස්සේ අප දුටු යථාර්ථය අදවන විට පසක් වී තිබෙනවා' හරසුන් විදේශීය ටෙලි නිර්මාණ මේ විවෘත ආර්ථික ක්රමයේ රටේ ජනතාවගේ බුද්ධියට හා රස වින්දනයට කරන මැර ප්‍රහාරයක්. ඉදිරියේ මේ සඳහා රටට හිතැති කලාකරුවන්ගේ අවධානය යොමු කළ යුතු වෙනවා' එතෙක් මා මගේ ටෙලි නිර්මාණවලින් තරමක් හෝ දුරට දුරස්ව සිටිනවා.
උදේනී චන්ද්‍රසිරි