තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
පුතා (සාරංග දිසාසේකර) ඉපදුණු දවස තමයි මම මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස. මම වැඩියෙන්ම දුක්වූයේ මගේ වැඩිමල් සොයුරියන් අකාලයේ මියගිය අවස්ථාවේ.
ඔබ සතුට හා දුක විඳදරාගන්නේ කොහොමද?
ඔය හැඟීම් දෙකම බෙදාහදා ගන්න මට පුළුවන්. සතුට දනවන දෙයක් වුණාම එය තවත් කෙනෙකුට කියලා එයත් එක්ක සතුට බෙදාගන්නවා. ඒ වගේම දුකක් දැනුණම කාත් එක්ක හරි කියලා හිතේ දුක තුනී කරගන්නවා.
තමන්ගේ දුක, තමන්ගේ ප්‍රශ්න තව අයට කියන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙලා ඒ දුක වැඩිවෙනවා කියා ඇතැමුන් කියනවා. ඔබ එය පිළිගන්නවාද?
පෞද්ගලිකව මට නම් එහෙම වෙලා නැහැ. මොකද මට ඇතිවෙලා තියෙන්නේ තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න නෙමෙයි. ඒ වගේම මට ප්‍රශ්නයක් වුණාම මම ඒක හැමෝටම කියන්න යන්නේ නැහැ. මට සමීපතම පවුලේ කෙනෙකුට තමයි කියන්නේ. තමන්ගේ ප්‍රශ්න හැමෝටම කියන්න යන අයට ඔය තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න තියෙන අයට නම් තමන්ගේ ප්‍රශ්න වෙන අයට කියන්න ගියොත් ඔය වගේ තත්ත්වයක් උදාවන්න පුළුවනි. ඒ වගේ අවස්ථාවල නම් ඉතින් නිහඬවම එය හංගාගෙන ඉන්න තමයි වෙන්නේ.
තිලකාට දුක හා සතුට නිහඬව විඳදරා ගන්න හැකියාවක් නැද්ද?
ගොඩක් හොඳ හැකියාවක් තියෙනවා. මගේ ජීවිතේ දුක දැනුණු අවස්ථා ගොඩාක් මම ඒ දුක තනිවම දරාගෙන හිටියා.
ඔබේ විවාහය තුළින් ඒ වගේ දුක්බර අවස්ථා තිබුණා නේද?
දුක්බර බව කියනවාට වඩා ගැටලු සහගත බව කිව්වොත් වැරදි නැහැ. මගේ සැමියා (නාරද දිසාසේකර) සහ මගේ විවාහය දෙදරා යන්නට හේතු වුණේ ඔහුගේ බිමත්කම හා අපේ නොගැළපීම. නමුත් වෙන්ව ගිය පසු වුණත් අවශ්‍ය අවස්ථාවලදී අපි කතාබහ කළා. තනියම පුතාව හදාගන්න එකත් මට දුකක් වුණේ නැහැ. මගේ අයියා (ඩග්ලස් රණසිංහ) මට ලොකු ශක්තියක් වුණා.
ඔබ හිතන විදියට වඩාත්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතයේ සතුට තියෙන්නේ වගකීම් රහිත නිදහස් සැහැල්ලු බව එක්ක. ඒත් විවාහයකදී ජීවිතයට වගකීම් එනවා. දරු මල්ලන් ලැබෙනවා. විවාහ ජීවිතයේ සතුට තියෙන්නේ ඒ සංකීර්ණ බව එක්ක. මම හිතන්නේ ජීවිතයට වගකීම් අවශ්‍යයි. දරුවන් අවශ්‍යයි. ඒ හින්දා වැඩියෙන්ම සතුට තියෙන්නේ විවාහ ජීවිතය තුළ.
විවාහය සතුටක් නම් දෙවැනි විවාහයක් ගැන හිතා ජීවිතයට අහිමි වූ සතුට ළඟා කරගන්න හිතුවෙ නැත්තේ ඇයි?
ගිනිපෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයිලු. මටත් දෙවැනි විවාහයක් ගැන හිතන්න කියලා අයියලා කියද්දී හිතුණේ එහෙම. අනිත් කාරණාව දෙවැනි විවාහයක් ගැන හිතන්නේ සැමියකුගේ ආදරය රැකවරණය අවශ්‍ය නම් විතරයි. මට මගේ අයියලාගේ රැකවරණය තිබුණා. ඒ වගේම වෘත්තිය තුළ කාර්ය බහුල වුණා. මගේ දරුවා මගේ ජීවිතේම වුණා. ඒ හින්දා ආදරයක අවශ්‍යතාව දැනුණෙ නැහැ. දෙවැනි විවාහයක් කරගත්තත් ඔහු මගේ දරුවට තාත්තා කෙනෙක් වෙයිද කියන ප්රශ්නය තදින්ම තිබුණා. ඔන්න ඔය හේතු හින්දා දෙවැනි විවාහයක් මට අවශ්‍ය නැහැ කියලා හිතුවා.
ඔබේ පුතුගේ ජීවිතයේ සතුට හා දුක ඔබටත් ඒ විදියටම දැනෙන්න ඇති...
ඒක හැම අම්මා කෙනෙකුටම පොදු දෙයක්. තමන්ගේ සතුටට වඩා දරුවන්ගේ සතුට අම්මට දැනෙනවා. දරුවකුට දුකක් වුණාම ඒකත් ඒ අම්මට තදින්ම දැනෙවා.
සාරංගගේ ජීවිතයේත් අර්බුදකාරී තත්ත්වයන් හා දුක්බර අවස්ථා ඇතිවුණා.
ඔව්. ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා පුතාගේ ජීවිතයට සතුට උදාවෙනවා දකින එක තමයි දැන් මගේ ලොකුම සතුට.
ආරියවංශ කුලතිලක