දුලීකා මාරපන කියන රටම දන්නා ජනප්‍රිය නිළිය ජීවිතේ සතුටු වූ සහ දුක් වූ අවස්ථාව මතක් කරන්න කැමතිද?
අනිත් අයට දුක හිතෙන දේවල් මට දුකක් නොවෙන්න පුළුවන්. අනිත් අය සතුටින් මහ හයියෙන් හිනාවෙන අවස්ථාවල් මට මහ ලොකු හිනාවක් ගෙන දෙන දෙයක් නොවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මහ හයියෙන් හිනාවෙලා සතුට සැමරීමයි, දුකකදී විලාප නගා හැඩීමයි මගේ ජීවිතේ නැහැ. ඒ හින්දා ඔය ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් මට නැහැ.
ඒ කියන්නේ දුලීකාගේ ඇස්වලට කඳුළු එන්නේම නැද්ද?
තරහ ඉවසගන්න බැරි වුණාම නම් කඳුළු එනවා.
ඒ විදියට තදින්ම දෑසට කඳුළු පිරුණු අවස්ථාවන් මතක් කළොත්?
එක යායට ගස් කපලා දාලා ඉඩමක් කට්ටි කරලා, බෙදලා විකුණනන්න හදන අවස්ථාවක් දැකලා තමයි මගේ ඇස්වල කඳුළු පිරුණේ.
ඔය කියන ඉඩම දුලීකාගේ එකක්ද?
මගේ ඉඩමක ගහකොළවලට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ විදිහට ගස් කපලා ඉඩම් කට්ටි කරලා විකුණනවා දකින අවස්ථා මගතොටේදී තියෙනවා. මේ දැවැන්ත ඉඩමක ගහක් හැදෙන්න කොයිතරම් කාලයක් යනවද? එක මොහොතකින් ඒක විනාශ කරලා දාන එක කොයිතරම් අපරාධයක්ද කියලා හිතද්දී ඇස්වලට කඳුළු එනවා.
කාගේ හරි මරණයක් වෙනුවෙන් ඔය විදියට ඇස්වලට කඳුළක් ඇවිත් නැද්ද?
ජීවිතේට මම මළ ගෙදරකදී අඬලා තියෙන්නේ එකම එක වතාවයි. ඒ හැර කිසිම මළ ගෙදරක මම අඬලා නැහැ.
දුලීකා අඬවපු ඒ අවමඟුල කාගෙද?
මගේ මිත්තනියගේ
ඇගේ අභාවය ඔය තරම් දුකක් ඇති කළේ ඇයි ?
එතකොට මට වයස 5ක් වත් නැහැ. ඒ මළ ගෙදරදී හැමෝම අඬනවා. අපේ අම්මත් අඬනවා. ඉතින් මම හිතුවා මේක අඬන්න ඕන අවස්ථාවක් කියලා. මම මිනී පෙට්ටිය ළඟට ගිහින් ඇඬුවා. ඒත් කඳුළු ආවේ නැහැ. පස්සේ එතනින් අයින් වෙලා පැත්තකට වෙලා හිටියා.
දුලීකා ආදරේ හින්දා දුක් විඳලම නැද්ද?
නැහැ
ඒ කියන්නේ දුලීකා ප්‍රථම ප්‍රේමය ජයගත්තා කියන එකද?
නැහැ, නැහැ... ආදරේ විරහව වෙන්නේ ළංවෙලා හිටපු කෙනෙක් අපෙන් ඈත් වෙලා ගියොත්. මට එහෙම වෙලා නැහැ. මට ළංවෙලා හිටපු කෙනෙක් මට ගැළපෙන්නේ නෑ කියල තේරුණොත් මමයි එයාගෙන් ඈත් වෙන්නේ. ඒ හින්දා මගේ ජීවිතයේ සිදුවු ඒ විදියේ වෙන්වීම් හැම එකකදීම විරහව දැනුණේ මට නෙවෙයි.
එහෙනම් අනිත් පාර්ශ්වය ඒ විරහව විඳගන්න ඇති ?
දන්නේ නෑ. ඒක මට අදාළත් නැහැ.
ඔබ හිතන විදියට වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
දෙකේම හොඳ හා නරක පැති තියෙනවා.
ඔබට අනාගතය ගැන හිතන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
කිසිම හැඟීමක් නැහැ
ඇයි ඒ ?
අනාගතය සැලසුම් කරන හින්දා දුකක් බයක් නෑ.. ඒත් අපේ අනාගතය මරණයද දන්නේ නෑනේ. ඒ හින්දා සතුටු වන්නත් බැහැ.
ආරියවංශ කුලතිලක