"මට ඕන වුණේ මේ ක්රමයේ තියෙන අවුල ගැන සංවාදයක් හදන්න.... "
අධ්යක්ෂ : නාමල් ජයසිංහ
සහෝදරයා මොන වගේ නාට්‍යයක් ද ?
සහෝදරයා මනුෂ්‍යත්වය ගැන කතා කරන නිර්මාණයක්. මෙහි පිටපත් රචනයේදී වගෙම අධ්යක්ෂණ කාර්යයේදීත් මම බලාපොරොත්තු වුනේ මනුෂ්‍යත්වය කියන කාරණය වැඩියෙන් කතාබහට ලක් කරන්නයි. සහෝදරයා තුළින් යටි පෙළින් මතු වන්නා වූ දේශපාලන කාරණාවක් නිරායාසයෙන් ම මතුවන්න පුලුවං අපි මේ ඉන්න ජීවිත ක්‍රමය ගැන කතා කිරීමේදී. නමුත් මට මූලිකව ම අවශ්‍ය වුනේ මනුෂ්‍යත්වය හුවා දැක්වීමයි. මේ මොහොතේ අත්විඳිමින් ඉන්න සමාජ ක්‍රමය, එයට තිබෙන ප්රතිරෝධතාවන්, විවේචන සහ මනුෂ්‍ය ආදරයට වර්තමානයේ සිදුවී තිබෙන දෙය සහෝදරයා තුළින් මම ගෙන එනවා. අපි ඉන්න පාරිභෝජනවාදී සමාජ ක්‍රමය ඇතුළේ සියල්ල අලෙවි වීම කියන එක අනිවාර්ය යථාර්ථයක්. ඒ තුළ අවසාන මොහොතේදීත් මනුෂ්‍යත්වය බේරගන්න හැකියි යන අදහසයි මම කතා කරන්නේ. මනුෂ්‍ය හැගීම් බේරගන්න පුලුවං කියන තැන මම ඉන්නවා.
සහෝදරයා' තුළ රස්තියාදුකාර මිතුරෙක් ඔබ ගෙන එනවා. ඇයි ඒ?
රස්තියාදුකාර කියන වචනය මම ඉස්සෙල්ලා අර්ථ ගන්වන්නම්. අපි ඉන්න ජීවන ක්‍රමය ඇතුළෙ ඒකාකාරී බව බිඳගෙන තමන්ගෙ හිතුමනාපය බේරාගන්න හදන ජීවිතයක් තමයි මම රස්තියාදුකාරයා කියලා හඳුන්වන්නෙ. මෙහෙම රස්තියාදුකාර ඉවක් නැත්නම් සමාජයේ කොටුවුන රාමුව තුළ එය බිඳගෙන ගිහින් මනුෂ්‍යත්වය හොයා ගියේ නැත්නම් එය රැක ගන්න අමාරුයි. පාරිභෝජනවාදී සමාජ ක්‍රමය ඇතුළෙ මම හොයන මනුස්සකම මම ඒ චරිතය හරහා ගෙන එනවා.
වර්තමාන දේශපාලන ව්‍යාධිය මෙහි කතාවෙනවා නේද?
බහුතරය ගත්තම දේශපාලනය කයලා හඳුන්වන්නෙ ම පක්ෂ දේශපාලනයයි. නමුත් ඊට වඩා බරපතළ ව්යාධියකයි අපේ සමාජය තියෙන්නෙ. මේ දේශපාලන ක්‍රමය තුළ පවත්වාගෙන යන ප්‍රචණ්ඩකාරී, මර්දනකාරී දේශපාලන ප්රවාහයකට අපි ගොදුරු වෙමින් යනවා. එතකොට මේ ක්රමයේ තියෙන ප්රචණ්ඩත්වය විවේචනය කරන එක මට වළක්වගන්න බැරි වුනා. හැබැයි එතැනදි පක්ෂ දේශපාලනය අරමුණු කරගෙන ආණ්ඩු බලය පිහිටුවන දේශපාලන කණ්ඩායම් විවේචනයට වඩා මට ඕන වුනේ මේ ක්රමයේ තියෙන අවුල ගැන සංවාදයක් හදාගන්න.
රඟ පෑ නළු නිළියන්ගේ රංගන සාධාරණත්වය කොහොමද දැනෙන්නෙ?
මම විශ්වාස කරපු චිත්‍රයට වඩා වෙනස් මානයන් ඒ චරිතවලට රංගන ශිල්පීන් නතු කළා. රංගන ශිල්පීන් ඔවුන්ගේ සමහර ජීවන අත්දැකීම් ඒ චරිතවලට ආත්මය දෙනකොට මට හිතාගන්නත් බැරි තරමට ආකර්ෂණීය වුනා. ඔවුන් හොඳින් ඒ චරිත නිරූපණය කළා.
"මේක මනුෂ්‍ය ගනුදෙනුවක දෙපැත්තක්..."
- රංගන ශිල්පිනී චමිලා පීරිස් -
ඉතිං චමිලා "සහෝදරයා" ගැන ඔබේ අදහස කියන්න?
"සහෝදරයා" මනුෂ්‍ය සම්බන්ධකම් ගැන කතාකරන නාට්‍යයක්. එකිනෙකාගේ ආදරය, බැඳීම, විශ්වාසය ආදී වූ මනුෂ්‍ය ගනුදෙනුවක දෙපැත්තක් ගැන තමයි කතා වෙන්නෙ. මම රඟපාන්නෙ එක් ප්‍රධාන චරිතයක අක්කාගේ භූමිකාවක්. තමන්ගේ මහන්සිය අනෙකා වෙනුවෙන් කැප කරන විචාරාත්මක ඇසක් තියෙන සරල නිශ්ශබ්ද අවිවාහක චරිතයක්.
පුංචි තිරයේ අලුත් ඇබ්බැහිය ගැන මොකද හිතන්නෙ ?
ඒක ඉතාම හොඳ ප්‍රවණතාවක්. හැමෝම නිර්මාණකරුවන්ට පුළුවං නම් ඔය පෙන්නපු කලාව ඉස්සරහට ගෙනියන්න, ඒක ඇත්තටම වටිනවා. "කූඹියෝ" සහ අපි ලෝකයේ හොඳම තැන නො ඉන්න පුළුවං. නමුත් අපි ක්රමයේ වෙනසක් කරන්න උත්සාහයක් තමයි ගත්තෙ. එය කලාකරුවෝ විදිහට සමාජ මෙහෙවරක් විදිහට මා දකිනවා. සමාජ වෙනසක් කරන්න කවුරුහරි කෙනෙක් පටන් ගන්න ඕන. ඒක දේශපාලනික, සමාජයීය, ආගමික ඕන විදිහකට වෙන්න පුළුවන්. පවතින ක්‍රමයට වඩා හරවත් දෙයක්, වෙනසක් කරන්න උවමනායි. මෙතැන යම් ආරම්භයක් තියෙනවා.ඒ ආරම්භයට මාධ්‍ය ආයතනයක් ලෙස ස්වාධීන රූපවාහිනී සේවය ලබාදීපු සහායට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. අනෙකුත් චැනල් මේ ඉදිරිපත්වීම මෙලෙස සිදු කරනවා නම ඉතා සතුටුයි. නිර්මාණකරුවනුත් හරවත් උසස් නිර්මාණ කරනවා නම් හොඳයි. උසස් නිර්මාණ, බුද්ධියට ආමන්ත්‍රණය කරන නිර්මාණ සමාජයේ පෙර ගමනක ආරම්භයක් වෙනවා. අපි ආරාධනා කරනවා හැමෝටම සහෝදරත්වයෙන් "සහෝදරයා" නරඹන්න කියලා. ඒ වගෙම සියලු පුවත්පත්වලට ස්තුතිවන්ත වෙනවා " සහෝදරයා " මාධ්‍ය සාකච්ඡාවේ සිට විකාශනය දක්වා ම එයට දැක් වූ සහායට.
(සංවාදය - Sunday Apple පුවත්පත )