ළමිස්සි කාලේ
මම ළමිස්සි කාලේ දඟ ළමයෙක්! ඒ කාලේ මගේ වාහනේ තමයි ෆුට් බයික් එක. අම්මයි තාත්තයි එපා කියන දේවල් ඔක්කොම කෙරුවා ඉතිං.. හැබැයි නරක දේවල් කිසිම දෙයක් කෙරුවෙ නෑ. දඟ උනාට මගේ සීමාවෙ හිටපු කෙනෙක් මම.
පාසල
මම පාසල් ගියේ මියුසියස් විදුහලට! මුල් කාලෙ නං මම හොස්ටල් එකේ හිටියෙ. නමුත් අවසාන කාලෙදී කළුතර ඉඳන් කෝච්චියෙ තමයි ඉස්කෝලෙ ගියේ! ඒ කාලේ මට නිළියක් වීමේ හීනයක් නොතිබුණාට, මට තේරුණා මගේ ඇඟ ඇතුළෙ රඟපෑමේ හැකියාවක් තිබුණා කියලා. මම ගෙදරදී බලන චිත්‍රපටවල කොටස් යාළුවෝ ඉස්සරහදී රඟපාලා පෙන්නනවා. මට මතකයි දවසක් ඉස්කෝලෙ නාට්‍යයක "සෙනඟට" ඉන්න කට්ටියට කතා කෙරුවා. යාළුවො කිව්වා යන්න යන්න කියලා....! මං කිව්වා 'රැජිනට' රඟපාන්න පුළුවන් මම මොකටද "සෙනඟට" යන්නෙ කියලා.....!
කරපු - කියපුවා
මගේ පාසලේ අවසාන කාලෙ වෙද්දි මගේ පෙම්වතා ධම්මික මුණගැහිලයි තිබුණෙ. ධම්මික හැමදාම එයාගෙ බයික් එකේ මාව ස්ටේෂන් එකට ගිහින් බස්සනවා. දවසක් මගේ සීසන් එක මම දාලා ගිහිල්ලා. ස්ටේෂන් එකේ හිටපු කෙනා මට යන්න දුන්නෙ නෑ. යන්න ඕන නම් සල්ලි දීලා ටිකට් ගන්න කිව්වා. කෝච්චියත් පිටත්වෙන්නයි හදන්නෙ.... මම ධම්මික දිහා බැලුවා. එයා බයික් එකේ නැගලා යන්න හදනවා. මම හයියෙන් කෑගලා කිව්වා "ධම්මී,.. මේ බූරුවා මට යන්න දෙන්නෙ නෑ කියලා..... "ධම්මික දුවලා ඇවිල්ලා ටිකට් එකක් අරගෙන මාව කෝච්චියට දැම්මා.....! ඒවා දැන් මතක් වෙද්දි හිනහ යනවා....! ඒවගේම කෝච්චියෙ ඉස්කෝලෙ ගිය කාලෙ සුන්දර මතකයන්....!
යාළුවෝ
මගේ හොඳම යාළුවා තමයි ක්‍රිෂාන්ති. එයා මහතම මහතයි. මම කෙට්ටුම කෙට්ටුයි. එයා එක්ක තමයි කරපු දඟ වැඩ ඔක්කොම කෙරුවෙ එයාව බයික් එකේ ඉස්සරහ තියාගෙන මම පදිනවා. දැන් එයා ඉන්නේ "ලන්ඩන්"වල.! ඉස්කෝලෙ යන කාලෙ හුඟාක් යාළුවො හිටියා. එක්කෙනෙක් හරි මගඇරුණොත් හොඳ මදි හන්දා නම් නොකියා ඉමු." ඒ තරමට මට යාළුවො හිටියා.
බලාපොරොත්තු
මගේ එකම බලාපොරොත්තුව වෙලා තිබුණෙ කසාද බැඳලා හොඳ දරු පවුලක් හදන එක...!
කල්ලි ගැහුණු තැන්
එහෙම තැනක් කියලා තිබුණේ නෑ... ! ක්‍රිෂාන්තිත් එක්ක අම්මලට හොරෙන් බීච් එකට යනවා. ගිහිල්ලා කතා කර කර ඉන්නවා. සෙල්ලම් කරනවා. හැබැයි අම්මා ගෙදර එන වෙලාවට කෙල්ල ගෙදර!
අත්දැකීම්
අපේ අම්මා වැඩට යනකොට මගේ බයික් එකට ලොක් එකක් දාලා යනවා. මම එහෙ මෙහෙ යනවට ! ඉතිං මම සබන් කෑල්ලකට යතුරෙ අච්චුව අරගෙන වෙන යතුරක් කපලා ලොක් එක ඇරගෙන බයික් එක පැදලා අම්මා එන වෙලාවට ගෙදර එනවා. ඇවිල්ලා බයික් එක හෝදලා පිහදාලා මම කොහේවත් නොගිය විදියට ගේ ඇතුලට වෙලා ඉන්නවා. ඒ වගේ දඟකාරකං තමයි මම කෙරුවේ.!
පටබැඳි නම්
මට එහෙම යාළුවෝ මුකුත් නම් දාලා තිබුණේ නෑ! හැබැයි ගෙදර අයයි පවුලෙ නෑදැයොයි කිව්වේ නං "සුද්දි" කියලා!
විනෝදාංශ
එහෙම විශේෂ විනෝදාංශයක් කියලා මුකුත් කෙරුවෙ නෑ! බයික් පදින එකට තමයි ආස! ඊට අමතරව ස්ටිකර් එකතු කරා, මුද්දර එකතු කරා......! චිත්‍රපට බලන්නත් මං හරි ආසයි...!
පිරිමි ළමයි
මෙහෙමයි! පිරිමි ළමයි එක්ක ඔය පුංචි පුංචි පටලැවිලි තිබුණා. මට ඉස්සර තිබුණා වාසගම් පිස්සුවක්. ලස්සන වාසගම්වලට මම හරි ආසයි. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු වගේ වාසගම් තියෙන කෙල්ලෝ දිහා මං බලන්නෙවත් නෑ. නමුත් ඉතිං ධම්මිකව මට හම්බ වුණේ පාසල් යන කාලෙදිමයි. එයා මට වඩා අවුරුදු හයක් වැඩිමල්. මං හිතන්නේ ඒ නිසාම තමයි අපි මේ තරම් දුරක් ආවේ.
දෙමව්පියෝ
මම පුංචි කාලෙ මගේ අම්මයි තාත්තයි ලංකාවෙ හිටියේ නෑ! ඒ කාලේ තමයි මම ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටියෙ. මං ඉපදිලා අවුරුදු 21 පස්සෙ තමයි මල්ලි හම්බ වුණේ. අම්මා හරිම වසයි. තාත්තා එහෙම නෑ. එයා මට ආදරෙයි. අම්ම නං තාමත් එහෙම තමයි.
අහල - පහල අය
හැමෝම මාත් එක්ක හරි හිතවත්...! හැමෝම මට හරිම ලැදියි. මට මතකයි සමහර දවස්වල අම්මා එන්න පරක්කු වුණොත් එහෙම මම ඒ ගෙවල්වලට ගිහින් කෑම කනවා. ඒ වගේම ඒගොල්ලෝ මොනවා හරි හැදුවොත් මගේ පංගුව මට එවනවා. ඒ විදිහේ ලෙංගතුකම් අහල පහල අය එක්ක මගේ තිබුණා.
ගුරුවරු
මම පළමු වසරෙ මාස 06 ක් විතර ගියේ ඇල්පිටිය නියාගම කනිෂ්ඨ විද්‍යාලයට. එහෙදි තමයි මට මගේ පාසල් ජීවිතේ පළමු ගුරුවරිය හමු වුණේ. එයාට අපි කිව්වේ එස්. කේ. මිස් කියලා! මට එයාව තවම මතකයි. ඊට අමතරව මියුසියස් එකේ හිටපු ශීලා ප්‍රනාන්දු මිස්ව මට හොඳට මතකයි! ඒ වගේම මට හම්බුවෙච්ච එක් ගුරුතුමියක් නිසා මම විෂයක් සම්පූර්ණයෙන්ම අතහැරියා. ඒ ගුරුතුමිය මාත් එක්ක තරහකින් හිටියා කියලයි මට හිතුණෙ. මම ඒ විෂය ඉගෙනීම ඇරපු නිසා මට ලැබුණෙ සාමාන්‍ය සාමාර්ථයක්. මං හිතන්නෙ ගුරුවරයකුට පුළුවන් දරුවකුගේ ජීවිතය යහමගට ගන්න වගේම විනාශ කරන්නත්.!
මාලක නන්දන