ජනප්‍රිය ගායිකාවක් වන අභිෂේකා විමලවීරගේ නවතම ගී නිර්මාණය නිස්සාර නමින් අද (20දා) සිට
අන්තර්ජාලයෙන් මෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍ය තුළින් ඔබට අසන්නට දකින්නට ලැබෙයි.
මේ කතාබහ එම ගී නිර්මාණය පිළිබඳවයි.
නිස්සාර’ කියන ගීතය ගැන ගැන අපි කතා කරමු?
‘නිස්සාර’ කියන මේ ගීතයේ පද රචනාව සිදුකළෙත් මමමයි. එහි සංගීත නිර්මාණය සිදුකළේ දිලුම් තේජන හෙට්ටිආරච්චි.
එහි රූපරචනාව සමිල් පතිරණ (තාල රූප) විසින් සිදුකළා. ‘රිදි රිදී ‘ කියන ගීතය තමයි මම අවසානයට නිර්මාණය කළේ.
ඒ ගීතය නිර්මාණය කර වසර දෙකට පසුව තමයි මම මේ ගීතය නිර්මාණය කරන්නේ.
‘රිදි රිදී’ කියන ගීතයට පසුව නිර්මාණය වුණ නිස්සාර කියන ගීතය රසිකයන් අතරට ගෙන එන්න වසර දෙකක කාලයක්
ගත්තේ ඇයි?
මගේ තාත්ති කැමතිම ගීතයක් තමයි ‘රිදි රිදී’ කියන ගීතය. තාත්ති නැති වුණාට පසුව රසිකයන්ට ගෙන එන පළමු ගීතය
තමයි මෙය. මගේ තාත්තාගේ වියෝවත් එක්ක තමයි මේ ගීතය එළිදැක්වීම පමා වුණේ. ඊට අවශ්‍ය මානසික වටපිටාව නිර්මාණය
කරගෙන තමයි මම මේ නිර්මාණය සිදුකළේ.
අභිෂේකා සිදුකළ පෙර ගී නිර්මාණ දෙස බලද්දිත් කාලයක් අරගෙන තමයි ගීතයක් නිර්මාණය කරන්න යොමුව තිබෙන්නේ?
මගේ වෘත්තිය ගායනය නෙමෙයි. මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්නේ නැහැ. මට විවේකය තිබෙන වෙලාවට තමයි
මම ගීත නිර්මාණ සිදුකරන්නේ. වැඩි කාලයක් මගේ රැකියාවට ලබා දෙනවා. මගේ පවුල් ජීවිතයට, දුවගේ වැඩකටයුතුවලට
වෙලාව වෙන්කර ගන්න ගමන් තමයි ගීත නිර්මාණයන් සිදුකරන්නේ. ඒ නිසා කලබලයක් නැහැ. කාල වේලාව අරගෙන
හොඳ නිර්මාණයක් කරන්න තමයි උත්සාහ කරන්නේ.
‘නිස්සාර’ කියන ගීතය තුළ අන්තර්ගත වන තේමාව ගැන කතා කළොත්?
අපේ ජීවිතයේදී දැන් අපි ආදරය කරන කෙනාට අමතරව තව අපි ආදරේ කළ අය ඉන්න පුළුවන්. සම්මත ආදරයෙන්
එහාට ගිහින් කෙනෙක් ආදරය කරන්නත් පුළුවන්. ඒ අසම්මත ආදරය ගැනත් ඒ ආදරය අත්පත් කර ගැනීමට බැරි වීම
තුළ ජීවිතය නැති කරගත යුතු නැහැ කියන කාරණයත් මෙහි කතා කරනවා. අපි හැමෝම ලෝකෙට පෙනෙන්න සිනාසී
සිටියාට අපේ අභ්‍යන්තරයේ සිටින්නේ වෙන මනුස්සයෙක් ඒක අපි පිළිගත යුතුයි. ඒ අභ්‍යන්තර මිනිසාව හඳුනන්නේ
සමහර විට හොඳම යාළුවෙක් පමණයි. එසේත් නැත්තම් තමන්ම පමණයි. ඒ දෙස බලන ලෝකයේ බොහෝ දෙනෙක්
හිතන්නේ ඔහු හෝ ඇය ගොඩක් සතුටින් ඉන්නවා කියලා. ඒත් යථාර්ථය ඒක නෙමෙයි. මිය යනතුරුම අපි ආදරේ කරනවා.
පාසල් යන කාලෙත් පාසලේ තිබෙන නීතිරීති සමග හෝ දෙමව්පියන්ගේ නීතිරීතිත් එක්ක අපි ආදරෙන් පරාජය වෙනවා.
පසුව තරුණ කාලෙදී නිවසින් සමාජයෙන් යොමුවෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්නත් එක්ක ආදරේ
මගහැරෙනවා. සමහරවිට විවාහ වෙන්න සිද්ධ වෙන්නෙත් තමන් වඩාත්ම කැමති කෙනා එක්ක නෙමෙයි. විවාහ වූ පසුවත්
අසම්මත සබඳතා ඇතිවෙන්න පුළුවන්. සමහරවිට මිය යනතුරුම ඒ දේවල් හිතේ තියාගෙන ජීවත්වෙන මිනිසුන් ලෝකෙ සිටිනවා.
මම හිතන්නේ ආදරේ කරන සහ කරපු හැමෝටම මේ ගීතයේ වචන ගොඩක් සමීප වෙයි. ඒ වගේම මේ ගීතයේ මෙලඩියත් විශේෂයි.
මේ ගීතය ඇසූ බොහෝ දෙනෙක් මේ ගීතය චිත්‍රපට ගීතයක ආරක් තිබෙනවා කියලා සඳහන් කළා. දිලුම් තමයි එහි සංගීතය සිදුකළේ.
මියුසික් වීඩියෝ එක පැත්තෙන් ගත්තත් චමිල් පතිරණ ලොකු වෙනසක් කළා කියලා හිතනවා. මෙවැනි කතා හැමදෙනෙක්ගෙම
ජීවිතවල තිබෙනවා. ඒ නිසා මේ තේමාව පාදක කරගෙන නිර්මාණය වූ මේ ගීතය බොහෝ දෙනෙක් ආදරෙන් බාරගනියි කියලා
මම හිතනවා.
මේ ගී නිර්මාණයට රූපරචනාවකුත් නිර්මාණය වෙනවා. ඒ ගැන කතා කළොත්?
මේ ගීතයේ අන්තර්ගත තේමාවට සමාන රූපරචනාවක් තමයි සිදුකළේ. ලොකු පිරිවැයක් දරමින් සිදුකළ නිර්මාණයක් නෙමෙයි
මෙය. ඉතාම අඩු පිරිවැයක් දරා සිදුකළ වැඩක්. හොඳ නිර්මාණයක් කරන්න මුදල් කියන සාධකය නෙමෙයි මූලික වෙන්නේ කියන
එක ඔප්පු කරන රූපරචනාවක් කියලා මම හිතනවා. සිරස ජූනියර් සුපර් ස්ටාර් එක්ක බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වනවා.
මේ ගීතයටත් හොඳ මෙන්ම නරක ප්‍රතිචාර ගැනත් බාරගන්න බලාගෙන සිටිනවා.
ගායන කටයුත්තට අමතරව ඔබ නිවේදිකාවක් ලෙස කටයුතු කළා. නමුත් මේ වෙද්දි ඔබ ඉන් ඉවත් වී සිටිනවා?
මම නිවේදිකාවක් ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වී සිටිනවා. අපිට හරියටම කරන්න පුළුවන් මොකක්ද කියලා තේරුම්ගත නොහැකිව
ජීවිතේ එක්තරා සංක්‍රාන්තික කාලයක් තිබෙනවා. ඒ කාලෙන් පසුව දැන් මම දන්නවා මගේ ජීවිතේ හරියටම කරන්න පුළුවන්
මොකක්ද කියලා. ඒ නිවේදනය නෙමෙයි කියන එක තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා මම ඉන් ඉවත් වෙනවා.
වර්තමානයේ සිදුවන ගී නිර්මාණ ගැන ඔබේ අදහස කුමක්ද?
ලෝකයේ හැම මිනිසෙක්ම එක වගේ නැහැ. ඒ නිසා එහෙම මිනිසුන් අතින් නිර්මාණය වන්නා වූ නිර්මාණ විවිධයි.
ඒ සෑම නිර්මාණයක්ම විඳින්න බලාගෙන සිටින රසික ප්‍රජාවක් සිටිනවා. නමුත් මං සිතන දෙයක් තමයි කලාකාරයාගේ
වගකීම වෙන්නේ පහළ මට්ටමේ සිටින රසිකයන් ඉහළ රසඥතාවක් කරා ගෙන එන නිර්මාණ කිරීම. එසේ නොමැතිව ඉල්ලන
දේ සිදුකිරීම නෙමෙයි. මිනිසුන්ගේ රසවින්දන පරාසය වැඩිවෙන්න බලපාන පළමු සාධකයත් එය. ලංකාව, ඉන්දියාව වැනි
දියුණු වෙමින් පවතින රටවල සිනමාව පැත්තෙන් පහළ රසඥතාවක් තිබෙන නිර්මාණ බිහිවීමට හේතුව වෙන්නෙත් තව තව ඒ
රසඥතාවන් පහළට දමන නිර්මාණ සිදුවීමයි. නමුත් අපි රසිකයන් ඉල්ලන දේ සපයනවාට වඩා අපට තේරෙන යම් බුද්ධි මට්ටමකට
මිනිසුන් ඔසවා තබන්න උත්සාහ කළ යුතුයි.
අභිෂේකා, ජූනියර් සුපර් ස්ටාර් දකින්නෙ කොහොමද?
මේ වෙද්දි මම ජූනියර් සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලය තුළ සිටිනවා. එහිදී මම කුඩා ළමයි විනිශ්චය කරනවා. ඔවුන් ඉල්ලන
දේ නෙමෙයි අපි ලබාදිය යුත්තේ. මම හැමවිටම උත්සාහ කරන්නේ පවතින සමාජ දැනුම පොතපත ආභාසයෙන් ලබාගත් දැනුම
ලබාදෙන්නයි. මම ළමයාගේ මට්ටමට යනවාට වඩා ළමයා මගේ මට්ටමට ගෙන ආ හැකි නම් එය කලාකරුවෙක්ගෙන් වෙන්න ඕන
දෙයක් කියලයි මම හිතන්නේ. මම නිර්මාණ කරන්නෙත් ඒ වෙනුවෙන්. මුලින් නිර්මාණයක් සිදුකර මම බලනවා ඉන් මම
සතුටුවෙනවද කියලා. එහෙම සතුටක් විඳින්න බැරි නිර්මාණයක් මම සිදුකරන්නේ නෑ.
නිඳුක් මධුෂීක