'කාල' චිත්‍රපටය සහ 'පහ සමත්' චිත්‍රපටය අතර මොකද්ද මේ තියෙන ගැටුම?
ඇත්තටම මෙතැන ඝට්ටනයක් ඇතිවෙලා තියෙන්නේ චිත්‍රපට බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් එක්ක. 'කාල' චිත්‍රපටය තමයි මුලින්ම තිරගත වෙන්න නියමිතව තිබුණේ. මොකද 'කාල' රූගත කිරීම් කරලා අවුරුදු තුනකට වැඩි කාලයක් අපි බලන් හිටියා. ඊට පසුව අපිට චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ මේ වසරේ අප්‍රේල් මාසයේදී වගේ රූගත කිරීම් කරපු 'පහ සමත්' චිත්‍රපටයත් දෙසැම්බර් පාසල් නිවාඩුවට ප්‍රදර්ශනය කරන්න ඒ අය සූදානම් කරලා තියෙනවා. මේ ප්රශ්නය තමයි දුර දිග යන්නේ. මගේ චිත්‍රපටය අසාධාරණකම් බොහෝමයකට ලක්වුණා.
මොනවද ඒ අසාධාරණකම්?
'කාල' චිත්‍රපටයට දින ලැබෙන්න කලින් ඉඳන්ම 'පහ සමත්' චිත්‍රපටය දෙසැම්බර් මාසයේ තිරගත කරනවා කියලා ප්රචාරක කටයුතු සිද්ධ කළා. මම මේ පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාව දැනුවත් කළත් ඒ පිළිබඳව කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. රීගල් සිනමා ශාලාවේ 'කාල' චිත්‍රපටයේ ප්‍රදර්ශන පුවරු සවි කරන්නත් අවසර ලැබුණේ නැහැ. හැබැයි 'පහ සමත්' චිත්‍රපටයට ඒ අවස්ථාව ලබාදීලා තිබුණා. දර්ශන වාර තුනම පවත්වපු සිනමා ශාලා විස්සයි මට ලැබුණේ. අනෙකුත් සිනමා ශාලා දහයක පමණ දර්ශනවාර එක දෙක බැගින් තිබුණා. සාමාන්‍යයෙන් ප්‍රධාන ධාරාවකට එන චිත්‍රපටයකට සිනමා ශාලා තිස් පහකට වඩා අනිවාර්යයෙන් ලබා දෙන්න ඕන. ඒ වගේ විශාල අසාධාරණකම්වලට මගේ චිත්‍රපටය ලක්වුණා.
'පහ සමත්' චිත්‍රපටයට විශේෂ ඉඩක් ලැබෙන්නත් හේතුවක් තියෙන්න ඇති නේද?
සිනමා ශාලා හිමිකරුවෙක් තමයි පහ සමත් නිෂ්පාදනය කරන්නේ. ඔවුන්ට තිබෙන බල පුළුවන්කාරකම්වලින් තමයි මේ මාෆියාව ව්‍යාප්ත වෙන්න පටන් ගන්නේ. 'කාල' චිත්‍රපටය ගලවා විසි කරවලා 'පහ සමත්' චිත්‍රපටය තිරගත කිරීමට තරම් ප්‍රබල තැනකට පත්වෙන්නේ ඒ කාරණාව නිසා. දැන් සිනමා මණ්ඩල සියල්ල එකක් වගේ. මණ්ඩල තියෙන්නේ නාමිකව විතරයි. බලපුළුවන්කාරයෝ විතරයි ඉස්සරහට යන්නේ. අහිංසක නිෂ්පාදකවරු අමාරුවේ වැටෙනවා.
කාල චිත්‍රපටය ගලවා ඉවත් කිරීමට හේතුව චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් අඩුවීම නෙවෙයිද?
කාල චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට පටන් ගෙන සතියක් වගේ කාලයකදී රටේ තෙල් අර්බුදයක් ආවා. එතකොට චිත්‍රපට බලන්න නෙමෙයි මිනිසුන්ට ප්රශ්නය තියෙන්නේ වෙන තැනක. මේ අවස්ථාවේදීම රීගල් සිනමා ශාලාවේ කාල චිත්‍රපටයේ හතේ දර්ශනය ඉවත් කළා. එයාලා කිව්වේ කාල චිත්‍රපටයට සෙනඟ අඩුවෙලා කියලා. සෙනඟ අඩුවෙන එක සාමාන්‍ය දෙයක් ඒ වගේ අවස්ථාවක, මොකද ඒවා ස්වාභාවික හේතූන්. වැසි කාලය ආවා, ඊට පස්සේ පාසල් අවසන් වාර විභාගය ආවා. අපි ඉලක්ක කරගත් ප්‍රේක්ෂකයෝ මවුපියන් සහ දරු දැරියන්. ඉතිං ඒ ගැටලු මගේ චිත්‍රපටයට උද්ගත වුණා.
අසාධාරණකම් වෙනුවෙන් බලධාරීන්ව දැනුවත් කළාද?
මම මේ සියලු කාරණා ගැන දැනුවත් කරලා ජනාධිපතිතුමාට ලිපියක් ලිව්වා. එහි පිටපත් චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාට, වාරි කර්මාන්ත ඇමැතිතුමාට, සිනමා ශිල්පීන්ගේ සංසදයට, චිත්‍රපට සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයට යැව්වා. නමුත් ඒවායෙන් මට කිසිම සහනයක් සැලසුණේ නැහැ.
පාසල් නිවාඩු සමයේදිවත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවස්ථාව ලබාදෙන්න කියලා අභියාචනයකුත් ඉදිරිපත් කළා. නමුත් මට ඒකටත් කිසිම පිළිතුරක් ලැබුණේ නැහැ. නොවැම්බර් 30 වැනිදා මගේ චිත්‍රපටය ගලවාගන්න කියලා චිත්‍රපට සංස්ථාව මට දැනුම් දුන්නා.
ඒ ලිපිය මට ලැබුණේ නොවැම්බර් 26 වැනිදා. නොවැම්බර් 27 වැනිදා මම කොළඹ දිසා අධිකරණයට නඩුවක් ගොනු කළා.
එයට මොනවගේ තීරණයක්ද ලැබුණේ?
කාල චිත්‍රපටය ගලවා ඉවත් කිරීම නවත්වන්න වාරණ නියෝගයක් ලබා දෙන්න කියන උසාවි නියෝගයක් ලැබුණා. කාල චිත්‍රපට ප්‍රදර්ශනය වන සිනමා ශාලාවල කාල චිත්‍රපටය තිරගත වෙන්න ඉඩ හරින්න. පහ සමත් චිත්‍රපටය අනෙක් සිනමාශාලාවල මුදාහරින්න කියලා කිව්වා.
දෙසැම්බර් 1 වැනිදා ලිඩෝ සිනමා ශාලාවේ 10.30 දර්ශනයටත් කාල චිත්‍රපටය නරඹන්න 57 දෙනෙක් ප්‍රේක්ෂකයෝ හිටියා. 10.30 දර්ශනයෙන් පස්සේ කාල චිත්‍රපටය ගලවා ඉවත් කරලා ඉතුරු දර්ශනවාර සියල්ලම පහ සමත් චිත්‍රපටය ප්‍රදර්ශනය කළා.
ඒ වනවිටත් උසාවිය නියෝගයක් දීලා තිබුණා කාල චිත්‍රපටය ගලවා ඉවත් කරන්න එපා කියලා. ඒ උසාවි නියෝගයවත් නොතකා අත්තනෝමතික ලෙස වැඩ කරන්න ඔවුන් පිටුපස තියෙන බලවේගය කුමක්ද?
ඒක තමයි මට තියෙන ප්රශ්නය. උසාවි නියෝගය ඔවුන් පිළිපැද්දෙත් නෑ. දැන් කාල චිත්‍රපටය ගලවා ඉවත් කරලා 'පහ සමත්' තිරගත වෙනවා. පසුගිය 7 වැනිදාත් මාව උසාවියට කැඳෙව්වා. මේ පිළිබඳව අපි උසාවිය දැනුවත් කළා. 8 වැනිදා උසාවිය කැඳවලා නියෝගයක් දුන්නා කාල චිත්‍රපටය ගලවා ඉවත් කරන්න එපා කියලා තිබුණු වාරණ නියෝගය විසිරුවා හරිනව කියල. මීළඟ නඩු වාරය ජනවාරි 25 වැනිදාට කල් තිබ්බා.
ගැටලුකාරී තත්ත්වය නිසා හිතපු ඉලක්කයට චිත්‍රපටය ගෙනියන්න බැරිවුණාද?
අධික මුදලක් වියදම් කරලා කරපු චිත්‍රපටයක් 'කාල'. මේ වගේ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න දින පනහක්වත් අඩුම තරමේ දෙන්න ඕන. පහ සමත් නිෂ්පාදකවරයායි, අධ්යක්ෂවරයායි සිනමා ශාලාකරුවෝ ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙන්නලා මට බලපෑම් කළා, නොවැම්බර් 24 මගේ චිත්‍රපටය ගලවලා අයින් කරන්න කියලා. නොවැම්බර් මාසේ තිබුණ මොනම චිත්‍රපටයකටවත් හිතපු තරම් ආදායම් වාර්තා තියාගන්න බෑ. ඒකයි මම පොඩි සහන කාලයක් ඉල්ලුවේ. ඒ කාලය දුන්නේ නැති නිසා තමයි මට අධිකරණයට යන්න වුණේ.
චිත්‍රපට සංස්ථාවෙන් මේ ගැටලුව සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද?
ඒ සම්බන්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද දැන් චිත්‍රපට සංස්ථාවට බලයක් නෑනේ. චිත්‍රපට සංස්ථාවෙන් කියන්නෙත් ඒ අයට බලයක් නෑ කියලා. පෞද්ගලික බෙදාහැරීම් මාෆියාව කීප දෙනෙක් අතර තමයි රැඳිලා තියෙන්නේ. මේ ප්රශ්නය මට විතරක් ආපු ප්‍රශ්නයක් නෙමෙයි. සෝමරත්න දිසානායකටත් මේ වගේ ප්‍රශ්න ආවා. තව සිනමාකරුවෝ බොහෝ දෙනකුට මේ ප්රශ්නය ඇතිවුණා. අපේ සිනමා සංගම් තිබ්බට ඒවායින් කරන්නේ බොරුවට සාකච්ඡා කරනවා විතරයි. එයාලගේ චිත්‍රපට තිරගත කරගන්න අවස්ථාව නැතිවෙයි කියන බයට කවුරුත් මේ ගැන කතා කරන්නේ නැහැ.
ඔබේ පළමුවැනි චිත්‍රපටයම මේ වගේ අවාසනාවන්ත ඉරණමකට ලක්වුණා. මේ බලපෑම එක්ක ඔබ සිනමාව තුළ තිබ්බ අඩිය ආපස්සට ගනියිද?
මේ ප්රශ්නය එක්ක මම තව අඩි දෙකක් ඉස්සරහට තිබ්බා. සමහරු හිතනවා නම් මගේ සිනමා ගමන මෙතැනින් ඉවර කරන්න, ඒක බොරු හීනයක් විතරයි. මම කාටවත් බයත් නෑ. මගේ සිනමා ගමන නවත්තන්නෙත් නෑ. මොකද අවුරුදු 21ක් මේ ක්ෂේත්රයේ කලා අධ්යක්ෂවරයෙක් ලෙස වැඩ කරද්දී මීට වඩා කැපිලි කෙටිලි මැද්දේ තමයි මම ආවේ. හැබැයි මම ඒවාට බය වුණේ නෑ. මම මගේ ගමන ආවා.
දැන් තීරණයක් ලැබෙන තුරු බලන් ඉන්න එක විතරද කරන්නේ?
නැහැ. මම විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරනවා. ෆේස්බුක් පිටුවේ මගේ දුරකතන අංකය තියෙන නිසා 'කාල' චිත්‍රපටය බලන්න තැනක් නෑ කියලා අපිට ගොඩක් දුරකතන ඇමතුම් ලැබෙනවා. ප්‍රේක්ෂක ඉල්ලීම මත විදේශ රටවලටත් චිත්‍රපටය ගෙනියන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව ලංකාවේ තියෙන සෑම පන්සලක හෝ මේ චිත්‍රපටය පෙන්නලා ප්‍රේක්ෂකයන් අතරට මගේ චිත්‍රපටය යවනවා.
කාල ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම මම ගත්ත තීරණයක් නෙමෙයි...
'පහ සමත්' චිත්‍රපටය වාරණයකට ලක් වුණා කියලා ලොකු කතාබහක් ඇති වුණා. මොකක්ද මේකෙ ඇත්ත නැත්ත?
පහ සමත් චිත්‍රපටය වෙනුවෙන් කිසි වාරණයක් ගරු අධිකරණය විසින් පැනෙව්වෙ නැහැ. නමුත් චිත්‍රපට සංස්ථාවෙ ඉන්න අත්තනෝමතිකව වැඩ කරන නිලධාරීන් කිහිපදෙනෙක් විසින් ලිපියක් නිකුත් කරලා තිබුණා පහ සමත් චිත්‍රපටය වාරණය කරලා තියෙන්නේ, පෙන්වන්න එපා කියලා. එතකොට මේ අත්තනෝමතික ක්‍රියාව හින්දා ඇතැම් සිනමාශාලා හිමිකරුවො බයවෙලා සතියක පමණ කාලයක් පහ සමත් චිත්‍රපටය පෙන්වීම නතර කරලා තිබුණා. ඒ හැරෙන්න ගරු අධිකරණයේ කිසිදු වාරණයකට පහ සමත් ලක් වුණේ නැහැ.
එතකොට උසාවි නියෝග නොතකා පහ සමත් ප්‍රදර්ශනය කළ බවට නැඟෙන චෝදනාව බොරුද?
අධිකරණ නියෝග නොතකා මම චිත්‍රපටය ප්‍රදර්ශනය කළා නම් මට අධිකරණයෙන් දඬුවම් ලැබෙන්න ඕනෙ. නමුත් එහෙම වෙලා නැහැ. ඉතින් ඇත්තටම වුණේ පහ සමත් ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් එක්ක කාල චිත්‍රපටයෙන් වාරණයක් ඉල්ලලා අපිට විරුද්ධව නඩුවක් ගොනු කරපු එක. නමුත් එතැනදි අධිකරණය තීන්දු කළේ කාල චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණු සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන්න කියන කාරණාව මිසක් පහ සමත් වෙනුවෙන් වාරණයක් පැනවීම නෙවෙයි. ඒ නිසා අධිකරණයේ වාරණ නියෝගයත් නොතකා පහ සමත් තිරගත කළා කියන එක අමූලික බොරුවක්.
පහ සමත් චිත්‍රපටයට එල්ල වන ලොකුම චෝදනාව තමයි මේ වසරෙදි රූපගත කරලා මේ වසරෙදිම ප්‍රදර්ශනය කිරීම හරහා අනෙකුත් චිත්‍රපටවලට අසාධාරණයක් කළා කියන එක?
චිත්‍රපට සංස්ථා මණ්ඩලයේ පෙන්වද්දි තමයි ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. නමුත් වෙන මණ්ඩලයක ප්‍රදර්ශනය වෙනවා නම් කවුරුත් ඔහොම ප්‍රශ්න අහන්නෙ නැහැ. මේක නිෂ්පාදනය වුණේ කොහොමද, එළියට ආවේ කොහොමද වගේ ඒවා ඒ මණ්ඩලවලට අදාළ නැහැ. නමුත් සමහර නිෂ්පාදකවරු සහ අධ්යක්ෂවරු, චිත්‍රපට සංස්ථා මණ්ඩලය ඕනෑම චිත්‍රපටයක් පෙන්වන්න බැඳිලා ඉන්නවා කියන වැරැදි ආකල්පයක ඉන්න නිසා තමයි මේ වගේ ප්‍රශ්න මතු වෙන්නේ.
එතකොට පහ සමත් පෝලිම් පැනලා නැහැ කියලද ඔබ කියන්නේ?
මෙහෙමයි. ඇත්තටම කලින් එන්න තිබුණු චිත්‍රපටය තමයි බෙනට් රත්නායක මහත්මයාගේ "නෙලා" චිත්‍රපටය. එතකොට අපි බෙනට් රත්නායක මහත්මයත් එක්ක ඉතා සුහදව සාධාරණව කතා කරලා ඉතා ගෞරවනීයව ඉල්ලීමක් කරලා තමයි ඔහුගේ වාරය අපි ඉල්ල ගත්තේ. ඒ නිසා ඒක පෝලිම් පැනීමක් විදියට මම නම් දකින්නෙ නැහැ.
ඔය ආකාරයෙන්ම සුහදශීලී සාධාරණ සාකච්ඡාවක් කාල චිත්‍රපටයේ අධ්යක්ෂවරයා සමඟත් සිදු කළා නම් මෙහෙම ප්‍රශ්නයක් නොවෙන්න ඉඩ තිබ්බා නේද?
මූලිකම දේ කාල චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම මම ගත්ත තීරණයක් නෙවෙයි. ඒක සිනමාශාලා හිමියන් විසින් ගත්තු තීරණයක්. චිත්‍රපට ශාලා හිමියන් 24 වැනිදා වෙනකොට කාල චිත්‍රපටය ගලවන්න ඕනෙ කියනකොටත් චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ඉල්ලීමක් කළාම අපි 30 වැනිදා වෙනකල් කාල චිත්‍රපටය දුවන්නත් අවසර දුන්නා. ඊට අමතරව චිත්‍රපට ශාලා හිමියන් එක්ක තිබ්බ රැස්වීමකට අපි කාල චිත්‍රපටයේ අධ්යක්ෂ සුජීව ගුණරත්නටත් එන්න කිව්වා. එතැනදි අපි පැහැදිලිව කිව්වා පහ සමත් එක්ක "කාල" එක දර්ශනයක් හරි අපි දුවවන්නම් කියලා. ඉතින් ඔහු ඒකටත් එකඟ වෙන්නෙ නැත්නම් අපි මොකද්ද කරන්නේ?
කාල චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත් කරන්න පහ සමත් මුල සිටම කුමන්ත්‍රණය කළා කියන චෝදනාවත් බොරුද?
චෝදනා කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. නමුත් හොඳට දුවන චිත්‍රපටයක් මට ඉවත් කරන්න පුළුවන්ද? චිත්‍රපටයක් හොඳට ප්‍රේක්ෂකයෝ නරඹනවා නම් ප්‍රේක්ෂකයන් සිනමා ශාලා කරා ඇදී එනවා නම් මොන චිත්‍රපට ශාලා හිමිකරුවද කැමැති වෙන්නේ ඒ චිත්‍රපටය ගලවන්න. ඉතින් සිනමා ශාලාවට ප්‍රේක්ෂකයෝ එන්නෙ නැති වුණාම, ඒ චිත්‍රපටයෙන් ආදායමක් සිනමා ශාලා හිමියන්ට නොලැබෙන කොට සිනමාශාලා හිමියන් ඒක ප්‍රදර්ශනය කිරීම නවත්වන එක මට නවත්වන්න බැහැ. ඒක මට වුණත් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් තමන්ගේ චිත්‍රපටයට ප්‍රේක්ෂකයෝ එන්නෙ නැතිව අසාර්ථක වුණාම තමන්ට මෙහෙම අසාධාරණකම් වුණා කියලා අධ්යක්ෂවරු නිෂ්පාදකවරු තව කෙනෙක්ට චෝදනා කරපු එක හැමදාම වුණු දෙයක්.
මේ වෙද්දි පහ සමත් වෙනුවෙන් මොන වගේ ප්රතිචාරයක්ද ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ?
මේ වෙනකන්ම ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. හොඳ විතරක් නොවෙයි මේකට බැනලා ප්‍රතිචාරයක් දුන්නොත් ඒකත් මම පිළිගන්න ඕනේ. ඉතින් හොද වගේම විවේචන ගත්තත් හැම අතින්ම ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා.
ඔබ අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමන්ගෙම පුතාවත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වෙනුවෙන් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් තිබුණද?
තමන්ගේ පුතා දක්ෂයෙක් නම් පුතාව මේ වැඩේට යොදා ගන්න එක වරදක් නෙවෙයිනේ. අනිත් අතට මේකට සහභාගි වුණු සියලුම ළමයි ප්‍රසන්න මාගමගේ විසින් කරපු රංගන වැඩමුළුවකට සහභාගි වුණා. ඉතින් ඒ වැඩමුළුවෙන් තෝරාගත් ළමයින්ගෙනුත් වඩාත්ම සුදුසු පිරිස තමයි මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් අපි යොදාගෙන තියෙන්නේ.
හාස්‍ය රසය මූලික කරගත් චිත්‍රපට දෙකකට පස්සේ ඔබ ළමා චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවෙ ඇයි?
මම වෘත්තීයමය අධ්යක්ෂවරයෙක්. එතකොට මම මගේ වෘත්තිය විවිධ පැතිකඩ ඉස්මතු වෙන ආකාරයට කරන්න කැමැතියි. අනෙක් අතට මම වෘත්තීය අධ්යක්ෂවරයෙක් විදියට ප්‍රේක්ෂකයෝ ගෙන්න ගන්න පුළුවන් විදියෙ චිත්‍රපට කරන්න ඕනෙ. මේ කරුණු දෙක නිසා තමයි මම හාසෙත්පාදක චිත්‍රපට දෙකකට පස්සේ මේ වගේ වෙනස්ම ආකාරයේ ළමා චිත්‍රපටයක් නිර්මාණය කරන්න හිතුවේ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ, රුවින්ද වීරසිංහ