නව යොවුන් වියේදීම නිළියන් එක්ක පවා තරග කරලා රූ රැජින විදියට කිරුළු දැරූ දා ඔබට ගොඩක් සතුටු දැනෙන්න ඇති..
1992 දී මම සේවිකා රූ රැජින විදියට කිරුළු දැරුවා. එදා ඒ තරගයට එවකට හිටපු ජනප්‍රිය නිරූපිකාවන් වගේම නිළියකුත් ඉදිරිපත් වී සිටියා. ඒ අය අභිභවා කිරුළ හිමිකර ගැනීම සතුටට කරුණක් නොවෙයිද?
රූපය, ගායන හැකියාව, රංගන හැකියාව උපතින් හිමිවීම ගැනත් ඒ වගේම සතුටු ඇති නේද?
මම රූ රැජිනක් විදියට කිරුළු දැරුවා. ගායිකාවක් විදියට ඉහළම ජනප්‍රියතාවක් ලැබුවා. රංගනයට, නිවේදනයට එකතු වුණා. ඒ හැමදේම ගැන හිතද්දී සතුටුයි තමයි.
ඒ කාලේ ගායිකාවක් විදියට ජනප්‍රිය වුණත් නිළියක් විදියට ලොකු ගමනක් යන්න ලැබුණේ නැහැ. ඒ ගැන දුකක් නැද්ද?
ඒ දවස්වල මට එක දිගට චිත්‍රපට ලැබුණා. ඒත් අම්මගෙ තහංචි හින්දා ඒ අවස්ථා මගෙන් ගිලිහී ගියා. ඒ දවස්වල ඒ ගැන පුදුමාකාර විදියට දුක්වුණා. හැඬුවා. හැබැයි එතකොට මට වයස 21-22 විතර ඇති.
ඒ කියන්නේ අද ඒ ගැන දුකක් නැහැ?
මම පුංචි සිදුවීමක් කියන්නම්. ඒ කාලේ අතිශය ජනප්‍රිය අධ්යක්ෂවරයෙක් මට එයාගේ චිත්‍රපටයට කතා කළා. මේ රටේ ඉහළම ජනප්‍රිය තරු තමයි ඒකේ රඟපෑවේ. ඒ අය මාව මුණගැහෙන්න අපේ ගෙදර ආපු දවසේ අම්මා මාව කාමරේක දාලා දොර ලොක් කළා. මම කාමරේට වෙලා ඉකි ගහගහ ඇඬුවා. කාලෙකට පස්සේ මම ගෙදර සාලෙට වෙලා මගේ ළමයි දෙන්නට කෑම කවන වෙලාවක ටී.වී. එකේ චිත්‍රපටයක් යනවා. ජනප්‍රිය තරුණ නිළියක් නාන ඇඳුමින් සැරසිලා නාන තටාකයකින් මතුවනවා. ජනප්‍රිය නළුවෙක් නාන ඇඳුමින් එතැන ඉන්නවා. අම්මා මට කිව්වා. “එදා මම ඔයාව කාමරේට දාලා දොර වැහුවේ නැත්නම් මේ සීන් එකේ ඉන්නේ ඔයා. එහෙනම් ළමයින්ට බත් කව කවා පෙන්නන්න වෙන්නේ ඔයා රඟපාපු මේ ජවනිකාව“ කියලා. ඒ වෙලාවේ මට අම්මාගේ කකුල් දෙක අල්ලලා වඳින්න හිතුණා. එදා අම්මා පනවපු සීමා තහංචි හින්දා නේද අද මගේ ජීවිතේ සාර්ථක වෙලා තියෙන්නේ කියලා හිතද්දී ලොකු සතුටක් දැනෙනවා.
ඒත් ඔබේ සමකාලීන ගායිකාවන් අද ඔබව අභිභවා ගිහින් කියලා හිතෙද්දී දුකක් දැනෙන්නේ නැද්ද?
ඒකට කලින් දීපු උත්තරේ සම්බන්ධයි. මම කලා ජීවිතේ සීමා කරගත්තේ මගේ පෞද්ගලික ජීවිතේ සාර්ථක කරගන්න. “රෝඩ් ෂෝ”වලට නාමල් උඩුගමයි මමයි අත්‍යවශ්‍ය චරිත දෙකක් තිබූ යුගයක් තිබුණා. ඒ ජනප්‍රියත්වය ඒ විදියටම හැමදාම තියෙන්නේ නැහැ. අලුත් අය ඒ තැන්වලට එනවා. ගායිකාවක විදියට පවතින්න, ඒ තුළම රැඳෙන්න කැපවෙලා කටයුතු කළා නම් පෞද්ගලික ජීවිතය, පවුල් ජීවිතය තුළ ගැටලු මතුවන්න තිබුණා. ඒ හින්දා මට ඔය කාරණය ගැන කිසි දුකක් නැහැ. ඒ ඔක්කොටම වඩා මම දැන් ලොකු සමාජ මෙහෙවරක් කරනවා. මම රූපලාවන්‍ය ගැන වගේම පෞරුෂ සංවර්ධනය ගැනත් දේශනා දෙනවා. කලාකාරිනියක් විදියට ලැබූ ජනප්‍රියත්වය වගේම නම කැත කරගන්නේ නැතුව ජීවිතය අරගෙන ආපු හින්දයි මට අද අනිත් අයට උපදෙස් දෙන්න පුළුවන් විදියේ ප්‍රතිරූපයක් ගොඩ නැගිලා තියෙන්නේ.
ඔබ කියන විදියට ඔබේ ජීවිතය හැම අතින්ම පරිපූර්ණයි. තෘප්තිමත්... කිසිම දුකක් ජීවිතයේ කොනකවත් නැද්ද?
එකම එක දුකක් තියෙනවා.
මොකක්ද ඒ දුක?
මම සමාජයට මෙහෙවරක් කරන්න හරි කැමතියි. දේශපාලනයට පිවිසිලා රටට යමක් කරන්න ආශාව හිතේ තියෙන කාලෙදී දේශපාලන පක්ෂ කිහිපයකින්ම ආරාධනා ලැබුණා. මම රඟපාන්නේ නිවේදනය කරන්නේ සමාජ කටයුතු කරන්නේ සැමියාගෙන් අහලා. දේශපාලනයට යන්න ඔහුගෙන් අවසර ඉල්ලුවා.
ඔහු දුන් පිළිතුර ඔබව දුකට පත්කළාද?
දේශපාලනයට යන්න අවසර දෙන්න දවස් දෙකක් කල් දෙන්න කියලා සුසන්ත කිව්වා. මම ඇයි කියල අහද්දී ඔහු කිව්වා. දවස් දෙකක් ඇති ඩිවෝස් පේපර්ස් ලෑස්ති කරන්න කියලා. මගේ හැම කටයුත්තකටම සහය දෙන සැමියගෙ සිතැඟි ඒ උත්තරයෙන් මම තේරුම් ගත්තා. මම ඒ මොහොතේම දේශපාලනයට යන අදහස අත හැරියා. හැබැයි සුසන්තවත් මමවත් දේශපාලනය නරකයි කියන්නේ නැහැ. දේශපාලනය හොඳයි. ඒත් මගේ හිතේ තියෙන පිරිසිදු දේශපාලන වටාපිටාවක් මට ලැබෙන එකක් නැති හින්දයි එදා අපි ඒ තීරණය ගත්තේ.
ආරියවංශ කුලතිලක