කියමුකෝ ගම්පළාත සහ ඒ ළමා කාලය ගැන මුලින්ම...
මගේ ගම දකුණේ. මම ඉපදුණේ මාතර. මම ඉපදුණු දවසෙම මගේ අම්මා මට නැතිවුණා. ඒ නිසා අම්මා කෙනෙක්ගේ ආදරය මට කවදාවත් ලැබුණේ නැහැ. පුංචි කාලය ගැන මතක් කරනවානම් මගේ පුංචි කාලය සුන්දර නැහැ. මගේ පුංචි කාලය බොහොම දුකයි. පවුලේ එකම දරුවා වුණාට මගේ අම්මා නැති වුණත් එක්කම මගේ සතුට කොහේ ගියාද දන්නේ නැහැ. මගේ පවුලේ නෑදෑ හිතවතුන්ගෙන් ආදරය වෙනුවට මට ලැබුණේ හිත් රිදීම් විතරයි. ඒ අය මට මූසලයි. පවුලකට හරියන්නේ නෑ කියලා තමයි හැමවෙලේම කිව්වේ. ඒ දේවල් එක්ක පවුලේ අය මාව කොන් කළා.
ඉගෙනගත්තේ මොන පාසලේද...?
මම ඉගෙන ගත්තේ මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේ. ඉස්කෝලේ තමයි මගේ එකම පිහිට වුණේ. ගෙදරින් නොලැබුණ සතුට මම හොයා ගත්තේ පාසැලෙන්. පාසැලට යනවා කියන්නේ හරියට දිව්‍ය ලෝකෙට යනවා වගේ තමයි. පාසැලේදී මම හරිම කාර්යශීලී චරිතයක්. ඉගෙනීමට ඒ තරම්ම දක්ෂතාවයක් නම් පාසැලේදී මම පෙන්නුවේ නෑ. හැබැයි පාසැලේදී මම හරි දඟයි. අයුක්තියට ආසාධාරණයට කතා කරලා කොයි වෙලෙත් මම හිටියේ ප්‍රින්සිපල්ගේ කාමරයේ. ඉගෙන ගන්නවට වඩා සමහරදාට මම පාසැල් පුස්තකාලය අස්පස් කළා.
පාසැල් ගුරුවරියන්ගෙන් සුසිලා අක්කට ලැබුණු ආදරය සෙනෙහස එහෙම කොහොමද?
මෙහෙමයි.. මම කළේම දඟ වැඩ. ඉතින් මාව හදන්නට බෑ. ගුරුවරියන්ට හදන්න බැරිම නිසා මාව ප්‍රින්සිපල් ළඟට යවනවා. බුද්ධාගමේ ටීචර් ඇවිත් බුදු දහම කියලා දෙද්දී මට පාඩම එපා වෙනවා. ඉතින්... චෝක් කෑල්ලක් අරගෙන කාටහරි ගහනවා. ඒක යන්නේ ගුරුතුමියගේ ඔළුව උඩින්. ඉතින් එහෙම ගැහුවේ කවුද කියලා හොයද්දී පන්තියේ ඉඳලාහිටලා පාවා දෙන්නෙක් ඉඳලා මගේ නම කිව්වා කියමුකෝ. ඉතින් ප්‍රින්සිපල්ගේ කාමරයට ගිහින් දඬුවමක් විඳලා පන්තියට එන්නේ දෙන්නම් උඹට* කියලා කකුල් මාට්ටුවක් හරි දාලා පහුවදාට ඒ කෙල්ලව වට්ටනවා. ඒ වගේ ඉවරයක් නැති දඬුවම් පාසැලේදී මම වින්දා. හැබැයි පාසැලේදී කිසි කෙනෙක් මාත් එක්ක තරහ වුණේ නෑ.
ඊට පස්සේ සුසිලා අක්කගේ තරුණ කාලය ගෙවුණේ කොහොමද?
ම්.... කෑමෙන් බීමෙන් අඩුවක් ලොකුවට නැති වුණාට මානසික සුවය එහෙමම තිබ්බේ නෑ. ජීවිතේ එහෙම මානසික සුවය තරුණ කාලයේදී මට ලැබුණේ හරිම අඩුවෙන්. ඒ කාලේ ජීවිතේ ප්‍රශ්න වැඩියි. හැලහැප්පිලි වැඩියි. මුලින්ම මම ළදරැ පාසැලක ගුරුවරියක් විදිහට රැකියාව කළා. ඒ කාලේ ආදරය කරන්න පුළුවන් වටපිටාවක් නෙමේ අපේ කාලයේදී තිබුණේ. ඒ කාලේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබුණා. හැබැයි එහෙම ලොකු සම්බන්ධතාවයක් ඇති කරගන්න ඉඩ ලැබුණේ නෑ. ඒ ළමයා මට දීපු ලියුමක් මම මගේ පොතේ පිටකවරයක් අස්සේ හංගගෙන ඉඳලා මගේ කුඩම්මට අහුවුණා. ඊට පස්සේ මගේ පොත්වල පිටකවර අලවන්න තහනම්. ඉඳලා හිටලා කුඩම්මා පොත්වල පිටකරවය දිග අරලා බැලුවා. ඉතින්.. ඒ කාලේ ගෙවුණේ එහෙමයි.
කලාවට සම්බන්ධ වුණේ කොහොමද?
පාසැලේදීත් මම කලා කටයුතුවලට දායක වුණා. ඒ කාලේ මම හරි කෙට්ටුයි. කොණ්ඩේ ගොඩක් දිගයි. ඉතින් පාසැලේදී මන්ත්රීදේවිටත් මම රඟපාලා තියෙනවා. නෙට් බෝල් ටීම් එකෙත් හිටියා. පාසැලේදී නාට්‍යයකින් මම පළවෙනියාටම තෑග්ගක් ගත්තේ පිස්සියෙකුට රඟපාලා. ගෙදර තියෙන දණ්කුඩ බත් ඇතිලිය අරගෙන ගිහින් ඇතිලියේ තිබුණ දැලි ටික මූණේ ගාගෙන දණ්කුඩ ටික ආරාධිත අමුත්තන්ට දිගු කරමින් මම කරපු නිර්මාණයකින් එදා මම ජයග්‍රහණය කළා. එදා මට පැන්සල් පෙට්ටියකුයි, කෑම පෙට්ටියකුයි ලැබුණා. එහෙම පිස්සියකගෙන් අරඹපු ගමන තමයි තාමත් මේ ගෙවන්නේ.
කොහොමද රහල් අයියගේ මුණගැසීම.. හැම දුකක්ම රහල් අයියගේ හමුවීමෙන් අවසන් වුණා නේද?
ඔව්... ඒක ඇත්ත. රහල් කලාවට සම්බන්ධ වුණේ මට වඩා ගොඩාක් කාලයකට උඩදීයි. අපි රහල්ලා දිහා බලාගෙන වේදිකාවේදී බොහෝ දේවල් ඉගෙන ගත්තා. රහල් මට නංගී.. නංගී කියලා කතාබහ කර කර හිටියා. එයත් දකුණේ. මගේ ජීවිතය ගැන එයා හැමදෙයක්ම දැනගෙන හිටියා. ටික කාලයකට පස්සේ රහල් මම ගැන ගොඩක් හොයන බලන කෙනෙක් වුණා. කෑවද බිව්වද.. යන්නේ කොහොමද කියලා. මම ගැන හොයන්න බලන්න පටන් ගත්තා. ඒක මට සුවිශේෂ වුණා. හැබැයි මම මුලදී බය වුණා. රහල් ටික දවසකට පස්සේ මගෙන් ඇහුවා එයාට කැමතිද කියලා. ඒ වෙනකොට ජීවිතේ මම තනිවෙච්චි කෙනෙක්. මට මතකයි ඉස්සර මම බඩගින්නට වතුර ටිකක් බීලා ඇඳේ තිබුණ මගේ කොට්ටේ බඩට තියාගෙන බඩගින්නේ නිදාගත්තු දවස් තිබුණා. රහල් මුණගැහෙන හැමදාකම එයා මට කන්න අරගෙන දුන්නා. කොහොමහරි රහල්ගේ ගෙදරට හොරා තමයි අපි දෙන්නා විවාහ වුණේ. රුපියල් 25ක මුද්දරයක් උඩ අත්සන් කරලා අපි දෙන්නා විවාහ වුණා.
දෙන්නගේ පවුල් ජීවිතේ මුලින්ම පටන් ගන්නේ කොහොන්ද?
අපි දෙන්නාගේ ජීවිත අපි පටන් ගත්තේ බොහෝම හෙමීට. පුටු හතරකුයි අල්මාරියකුයි, ඇඳකුයි, පොඩි ළිපකුයි, වලං ටිකකුයි විතරයි අපේ පුංචි ගේ කෑල්ලේ මුලින්ම තිබුණේ. මුලින්ම අපි දෙන්නා පොඩි කාමරයක් කුලියට අරන් හිටියා. ඊට පස්සේ ඇනෙක්ස්වල හිටියා. පොඩි ගෙවල්වල හිටියා. කොහොමහරි අපි කුලියට ගෙවල් අටක ජීවත් වුණා. ඊට පස්සේ මට ප්‍රේමදාස මහත්තයා සොයිසා ෆ්ලැට් එකෙන් ගෙයක් දුන්නා. අවුරුදු එකොළහක් අපි දෙන්නා ඒ පුංචි ගෙදර ජීවත් වුණා. ඒක හරි වාසනාවන්ත ගෙයක්. ඒ ගෙදර ඉඳිද්දී මේ ඉඩම අපි අරගෙන මේ ගෙදර අවුරුදු හයක් හතක් තිස්සේ හෙමීට අපි අපේ ගේ ගොඩනගාගත්තා. බොහොම දුක් මහන්සිවෙලා තමයි මේ ගේ හැදුවේ. මේ ගේ හදන්න පටන් ගනිද්දී මගෙයි රහල්ගෙයි අතේ තිබුණේ රුපියල් එක්දාස් පන්සීයයි. සුනිල් ටී මහත්තයාගේ පිස්සු ඩබල් චිත්‍රපටයේ වැඩේ ඉවර වුණු ගමන් ඒ මහත්තයා මට පොරොන්දු වුණ මුදල චෙක් එකකින් දුන්නා. ඒ මුදලින් තමයි මුලින්ම ගෙට හදන්න බඩු ගෙනාවේ. ඊට පස්සේ ඉඳන් මායි රහලුයි දුක් මහන්සියෙන් හොයාගත්තු සල්ලිවලින් අපි හෙමීට මේ ගෙදර වැඩ ඉවර කළා.
සුසිලා අක්කා... දෛවය විශ්වාස කරනවාද?
ඔව්......අනිවාර්යෙන්ම. මම දෛවය, ඉරණම සහ වාසනාව විශ්වාස කරනවා. ගිය ආත්මයේ කරපු දේවල් එක්ක තියෙන අඩුපාඩු එක්ක තමයි මේ ආත්මේ ලැබෙන්නේ. ගිය ආත්මේ මොකද්දෝ පවකින් මට අම්මගේ, තාත්තාගේ ආදරය ලැබුණේ නෑ. ඒ අඩුපාඩුව මම රහල්ගේ අම්මට හොඳට සලකලා ඒ ආශිර්වාදයෙන් ඒ ආදරයෙන් දුරු කරගත්තා. ඇයගේ පණ ටික ගියෙත් මගේ අත් දෙක උඩයි. මගේ ජීවිතයේ ලොකු ලොකු බලාපොරොත්තු නෑ. මවාපෑම් නෑ. මායි රහලුයි ජීවිතේ හරිම සතුටින් මේ ගේ ඇතුළේ ජීවත් වෙනවා. තියෙන දෙයින් අපිට සතුටින් ජීවත්වෙන්න පුළුවන්. අපි දෙන්නගේ ජීවිතේ ලොකු බරක් නෑ.
දේශය