නිරූපිකාවක ලෙස හැඳිනගත් අයිෂාරා අතුකෝරළ අද වනවිට බොහෝ දෙනා ආදරය කරන රංගන ශිල්පිනියක වී හමාරය. ඇය පිළිබඳ මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි සහ පුවත්පත් තුළ කතාබහට ලක්ව ඇත්තේ ඇය රහසේම විවාහ දිවියට එළැඹීමත් සමගය. මෙවර ඇය මෙලෙස තරු කතාබහට සම්බන්ධ වූවාය.
කොහොමද මේ දවස්වල නිර්මාණ කටයුතු?
විශේෂ දෙයක් නම් නැහැ. 'පෝරිසාදයා' එන්න තියෙනවා. තව 'අයිස්ක්‍රීම්' එන්න තියෙනවා. 'මංගල තෑග්ග' දෙවැන්න එන්න තියෙනවා. ඒ නිර්මාණ කිහිපය තමයි මගේ වැඩකටයුතුවල තියෙන්නෙ.
'පැණි මකුළුවෝ' සිනමා නිර්මාණයෙන් පස්සෙ ඔබව බොහෝ දෙනා රංගන ශිල්පිනියක ලෙස පිළිගත්තා. ඒ ගැන කතා කළොත්?
ඔව්. 'පැණි මකුළුවෝ' ඉසුරු වීරසිංහ මුදලිගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයක්. උදාර පල්ලියගුරු තමයි මාව ඒ සඳහා තෝරා ගත්තෙ. හොඳ චිත්‍රපටයක්. ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සනත් ගුණතිලක සමගත් රංගනයෙන් දායක වෙන්න ලැබුණ එකත් හොඳ අත්දැකීමක් වුණා. ෆිල්ම් එක හොඳයි. නමුත් චිත්‍රපටය ඇතුළෙ පොඩි පොඩි ප්‍රශ්න තිබුණා. ඒක නිසා චිත්‍රපටයට පොඩි අසාධාරණයක් වුණා කියලා කියන්න පුළුවන්. නමුත් අපට පෞද්ගලිකව කරන්න පුළුවන් දේවල් අපි කළා. ඒ විදියට ඒ කටයුතු සිදු වුණේ.
සිනමා නිර්මාණවල තෝරා බේරා ගැනීමක් දකිනවා?
මම වැඩිය සිනමා නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. මට ගැළපෙන වැඩ විතරයි මම කරන්න උත්සාහ කරන්නෙ. මම රංගන ක්ෂේත්රය තුළ අලුත් නිසා ප්‍රවීණ අයත් එක්ක වැඩකටයුතු කරන්න උත්සාහ කරන්නේ සහ වැඩ කරන්නේ. අලුත් අයගේ සිනමා නිර්මාණවලට දායක වෙන්න හිතුවේ නැත්තේ ඒ නිසයි. ප්‍රවීණ අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීන් එක්ක තමයි වැඩ කරන්න හිතුවේ. මොකද මමත් අලුත් නිසා ඒ ඔස්සේ මට අත්දැකීම් ලබාගන්න පුළුවන් වෙන්නේ.
නවක අධ්යක්ෂවරුන් හෝ සිනමා නිර්මාණකරුවන් අසාර්ථකයි කියලා ඔබ හිතනවාද?
නැහැ. කවදාවත් නැහැ. නවක දක්ෂ සිනමා නිර්මාණකරුවන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා කියලා මම හිතනවා. නමුත් මම ගොඩක් ඒ අයව දන්නේ නැති නිසයි මම බොහෝ නිර්මාණවලට දායක නොවුණේ. 'අයිස්ක්‍රීම්' චිත්‍රපටයේ අධ්යක්ෂවරයාත් නවකයෙක්නේ. නමුත් ඔහු දක්ෂයෙක් කියලා කියන්න පුළුවන්. මම අලුත් අයගේ වැඩවලට නැහැ කියන්න බැහැ. නමුත් මම ආස ප්‍රවීණ අයත් එක්ක වැඩ කරන්නයි. මට ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව තියෙන්නේ ඒ නිසායි.
ඔබ දායක වූ සිනමා නිර්මාණයත් තිරගත වෙන්න කාලයක් ගියාද?
නැහැ. මම කරපු පළමු වැනි චිත්‍රපටය තමයි 'පැණි මකුළුවෝ'. ඒ චිත්‍රපටයත් ඉක්මනට තිරගත වුණා. මම දැනගෙන හිටියා ඒ චිත්‍රපටය තිරගත වෙයි කියලා. ඔහු ඊට කලින් කරපු චිත්‍රපටය තමයි 'කලර්' චිත්‍රපටය. ඊට පස්සේ මම දායක වුණේ 'මංගල තෑග්ග' චිත්‍රපටයට. ඒ නිර්මාණයත් අද බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඉදිරි නිර්මාණයත් ඉක්මනට තිරගත වෙයි කියලා හිතනවා.
ප්‍රවීණ අයත් එක්ක සහ ඔවුන්ගේ නිර්මාණ සඳහා දායක වෙන්න වැඩිපුර නැඹුරුවක් තියෙන්නේ ඇයි?
ඇත්තම කාරණාව මේකයි. මම මේ වැඩේට අලුත් නේ. මම කොහෙවත් ඉඳන් රංගනය කියන දේට ආවා වගේ වැඩක් වෙන නිසා ඒ දේවල් පොඩ්ඩක් ඉගෙන ගෙන යන්න තමයි ට්‍රයි කරන්නේ. මහේන්ද්‍ර පෙරේරාගේ %වර්ක් ෂොප්^වලට තමයි මුලින් සම්බන්ධ වුණේ. මොකද අපි යම්කිසි දෙයක් කරනවා නම් ඒ පිළිබඳ හරියට හදාරන්න ඕන. ඒ දේ හරියට කරන්න ඒ තුළින් අපට හැකියාව ලැබෙනවා. ඉතිං නිර්මාණ තෝරා ගනිද්දී ප්‍රවීණ අයගේ නිර්මාණ තෝරා ගන්නෙ මට අත්දැකීම් සහ ඒ මගින් ඉගෙන ගන්න දේවල් තියෙන නිසයි. %අයිස්ක්‍රීම්^ චිත්‍රපටයේත් ඉන්නේ ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක්. ජයලත් මනෝරත්න, දයා තෙන්නකෝන්, දමිතා අක්කා, වීණා ජයකොඩි, බිමල් අයියා වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් තමයි එහි ඉන්නෙ. ඉතිං මේ අයත් එක්ක එක්ක රංගනයෙන් දායක වෙද්දි ලැබෙන අත්දැකීම් දැනමුතුකම්, මට නවක අයගෙන් ලැබෙන්නේ නැහැ. මොකද ඒ අයත් දේවල් දන්නේ නැහැනේ. ඒක නිසයි මම ගොඩක් උත්සාහ කරන්නෙ ප්‍රවීණ අයත් එක්ක වැඩ කරන්න.
අත්දැකීම් එක්ක සම්මානයක් ගන්නවත් බලාපොරොත්තු වෙනවාද?
තාම නැහැ. තාම පටන් ගත්තා විතරයිනේ. ඉතිං සම්මානයක් ගැන හිතන්න පුළුවන් මට්ටමක මම නැහැ. මට තව ඕන තවත් චරිත කරන්නයි. ගොඩක් අධ්යක්ෂවරුන් එක්ක වැඩ කරන්නයි මම ආස. එතකොට මගේ රංග හැකියාව දියුණුවෙයි කියලා තමයි මම නම් හිතන්නෙ. ඒ කාරණාවලට පස්සේ සම්මානයක් ගැන හිතන්න පුළුවන් කියලා තමයි කියන්න වෙන්නෙ.
හොර රහසේම විවාහ වුණා නේද?
කාටවත් කියන්නේ නැතුව නෙමෙයි. ළඟම ඉන්න ගොඩක් කට්ටියට තමයි අපේ විවාහයට ආරාධනා කළේ. නෑදෑයෝ සහ ළඟම යාළුවෝ තමයි විවාහය සඳහා දායක වුණේ. පොඩියට ගත්තේ ඉතිං. ප්‍රසිද්ධියේ කියන්න ඕන කියලා හිතුවේ නැහැ. නමුත් විවාහයෙන් පස්සේ බොහෝ පුවත් සහ ආර්ටිකල් ඒ ගැන කියන්න වුණා.
විවාහයත් සමග නිර්මාණවලට බාධාවක් ඇති වෙන්නේ නැද්ද?
එහෙම නැහැ. මම වැඩ කරන ඒවා කලින් එයා දැකලා තියෙනවා. මගේ නිර්මාණ බලලත් තියෙනවා. එයාට යම්කිසි අවබෝධයක් තියෙනවා මං කරන වැඩ ගැන. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නැහැ කියලා විශ්වාසයි. කොහොමත් මම වැඩ කරගෙන යන්නේ යම්කිසි තෝරා බේරා ගැනීමක් ඇතිවයි.
දැන් ජීවිතේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
දැනට ලොකු සැලැස්මක් නම් හදාගෙන නැහැ. මේ විදියටම වැඩකර ගෙන යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නෙ. තෝරාගන්න චිත්‍රපට සහ ඒ වැඩ ටික කර ගන්න තමයි මගේ මූලික බලාපොරොත්තුව වෙන්නෙ. ඊට අමරතව පෞද්ගලික ජීවිතයේත් ඒ කාර්යයන් හරියට කරගෙන යන්න තමයි හිතන්නෙ. ලොකු වෙනස්කම් සිදුවෙන්නේ නැහැ ජීවිතේ.
නිරූපිකාවක ලෙස බොහෝ දෙනා වැලඳ ගත් ඔබව අද රංගන ශිල්පියක විදියට බොහෝ දෙනා ආදරය කරනවා නේද?
ඇත්තෙන්ම ඔව්. බොහෝ දෙනෙක් මට ආදරය කරන්නේ සහ මාව දැන හැඳින ගන්නේ නිරූපිකාවක් විදියටයි. නමුත් ඒ අයම රංග ශිල්පිනියක් විදියට මාව පිළිගත්තා. 'පැණි මකුළුවෝ' චිත්‍රපට ඔස්සේ ඒ රසික ප්‍රතිචාර මට ගොඩක් ලැබුණා. මගේ රසික පිරිස නිරූපිකාවක් විදියට මාව ලේබල් කරලා තිබුණේ නැහැ. ඒකට මම ඒ අයට ස්තුති කරනවා. ඉදිරියේදී වෙනස් චරිත ඔස්සේ එළියට එන්න බලාගෙන ඉන්නවා. ඒ දේවල් හොඳ විදියට පිළිගනියි කියලා බලාපොරොත්තු වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත