අකිල.. ප්රසංග වේදිකාවක හතර දෙනාම නියම නැටුමක් නැටුවා නේද?
ඔව්... අපේ ගෙදර සියලුදෙනාටම නැටීමේ හැකියාවක් තියෙන හින්දා සිහින රැයක් ප්රසංගයට අපි හතරදෙනාටම ආරාධනා ලැබුණා. ගිය අවුරුද්දෙත් අපි ඒ ප්රසංගයට සහභාගි වුණා. හැබැයි ගිය අවුරුද්දේ අප්පච්චි ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා අප්පච්චි සහභාගි වුණේ නෑ. මෙවර අප්පච්චිත් හිටියා, මාත් හිටියා, අක්කත් හිටියා, මල්ලිත් හිටියා. ඔක්කොම හිටිය නිසා අපිට ඕනවුණා හොඳ නිර්මාණයක් කරන්න. අපේ නැටුම හැදුවේ ගයියා (ගයාන් ශ්රීමාල්) අප්පච්චිත් එක්ක වෙන නළු නිළියෝ ඕනවුණේ නෑ. ගෙදර ඉන්න අයම දාලා එදා හොඳ නැටුමක් නැටුවා.
කොච්චර කාලයක් ගියාද ඔය නැටුම පුහුණුවෙන්න..?
ම්.. සතියකටත් අඩු කාලයක් තමයි අපිට ගියේ. සිනමාවෙන් ජනප්රිය වුණු ගීත කීපයක් අපි එදා තෝරාගත්තා. මුලින්ම අග්නිදාහය ගීතයකින් පටන්ගෙන, ඊටපස්සෙ අබා එකේ ගීතයකට ගිහින් ඊටපස්සෙ ගිනිඅවි සහ ගිනිකෙළි චිත්රපටයේ ගීතයකට නටලා අවසානයේ දී ඇඩ්රස් නෑ චිත්රපට ගීතයක් තෝරාගත්තා. ඉතින් ගීත ටික තෝරාගෙන ඒකට ගයාන් නර්තනයක් හැදුවා. ඊටපස්සෙ අපි ගිහින් ඒක පුරුදු වුණා. ගයියාගේ නැටුම් කණ්ඩායමත් එක්ක තමයි අපි හතරදෙනා එදා නැටුවේ.
පුහුණුවීම් කළේ ගෙදරද..?
නෑ.. නෑ.. නැට්ටුවෝ හතරදෙනාම එකම ගෙදර හිටියට අපි එයාලා රියසල් දාලා තිබුණ තැනට ගිහින් තමයි පුහුණුවීම් කළේ. හැම කලාකරුවකුට කලාකාරියකටම පැයක් පැය දෙකක් වාගේ කාලයක් එයාලා පුහුණුවීම්වලට සඳහා වෙන්කරලා තිබුණා. ඉතින් ඒ අපිට වෙන්වෙච්ච වෙලාවේ දී අපි හතරදෙනත් එතැනට ගිහින් පුහුණුවීම් කළා. විශේෂත්වය තමයි අපේ නිර්මාණයට විනාඩි අටක් වගේ කාලයක් තිබුණා. ඒකෙ සින්දු හතරක් තිබුණා.
අප්පච්චියි, පුතාලා දෙන්නයි, දුවයි හරිහරියට එදා නැටුවා නේද..?
ඔව්.. එතැන පුතාලා දෙන්නෙක් නෙමේ. කෙලින්ම එදා නැටුවේ පුතාලා තුන්දෙනෙක් වගෙයි. වේදිකාවේ අප්පච්චි එක්ක එකට නටනවා කියන්නේ හරිම වාසනාවන්ත අවස්ථාවක්. ඒ අපූරු අවස්ථාව මායි අක්කයි මල්ලියි එදා වින්දා. අප්පච්චිලාගේ සමාජයේ නටන, දඟලන, සින්දු කියන, කතා කරන නළුවා විදිහට අප්පච්චි ප්රසිද්ධවෙලා හිටියනේ. නෛයිනගේ සූදුව නටද්දි අප්පච්චිට එදා තැනක් තිබුණා. රිදී රැයක් පළවැනිම ප්රසංගයේ කොළ කඩ කඩ බොරුවට දෙනවා කියලා සංගීතා අක්කා එක්ක නටපු එක ගැන හැමෝගෙම මතකයේ තිබුණනේ. ඉතින් වේදිකාව උඩ අප්පච්චිගේ දැඟලිල්ල කොහොමත් තියෙන නිසා අපිටත් එහෙම දඟලන නළු නිළියො නොවී බැරිවෙනවා. ඒ නිසා අපි තුන්දෙනත් පුළුපුළුවන් විදිහට නටන්න පුරුදු වුණා. ඉතින් අවසානයේ දි ඒ පුහුණුවීමත් එක්ක අප්පච්චි එක්ක එකම වේදිකාවේ නටන්න අපිට පුළුවන් වුණා.
මීට කලින් අප්පච්චි එක්ක එහෙම වේදිකාවක නටලා තියෙනවද?
නෑ.. නෑ.. මේක තමයි අපිට ලැබිච්ච පළවැනිම අවස්ථාව. කවදාවත් මමයි මල්ලියි එකට නටලා නෑ. මමයි අක්කයි එකට නටලා නෑ. මමයි අප්පච්චියි එකට නටලා නෑ. අපි වෙන අය එක්ක නටලා තිබුණාට අපි අපි එකට නටලා නෑ. හැබැයි චූටි මල්ලියි අප්පච්චියි, චූටි මල්ලි ගොඩක් පුංචි කාලේ නටලා තියෙනවා. ඉතින් මේක අපිට සුවිශේෂී වුණා.
පුරුදු පුහුණු වෙද්දි අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද..?
ම්.. වැරදිලා බැණුම් අහලා අමතක නොවන සිදුවීම්නම් වෙලා නෑ. කොහොමත් අපේ චූටි මල්ලි හොඳ නැට්ටුවනේ. ඒ හින්දා අපි කට්ටිය එකතුවෙලා චූටි මල්ලි, අපි මෙහෙම කරමු.. මෙහෙම කරමු.. කියලා කියද්දි අපි අප්පච්චිටත් කියනවා. ඉතින් අප්පච්චිත් ගයියට කියනවා මට මෙහෙම එකක් තමයි ඕනෙ කියලා. ගයියා කියන්නේ හරියට අපේ ගෙදර කෙනෙක් වගෙයි. ඉතින් අප්පච්චි හුස්ම ගනිද්දි එයා මොනවද කියන්න යන්නෙ කියලා ගයියා දන්නවා. ඒ නිසා ගයියා එක්ක වැඩකරද්දි හරි ලේසියි. අපි ඕක දන්න නිසා ගයියටම කියලා තව වෙලා අරගෙන ඊට වඩා දෙයක් කරන්න දැන් අපිට පුළුවන්.
ඔය හතරදෙනාම කාර්යබහුල අය. කොහොමද පුහුණුවීම්වලට එකම වෙලාවට වෙලාව හදාගන්නෙ?
ඔව්... ඒක ඇත්ත. හැබැයි අපි කොහොමහරි ඒක හොයාගත්තා. මම අද ඒකෙන් ඉගෙනගත්ත දෙයක් තමයි, වැඩ වැඩි වුණත් එක පවුලේ දෙයක් ආයේ කරනවානම් කොහේ හිටියත් එකතුවෙන්න ඕනෙ කියලා.
ඔය නිර්මාණයේ ඇඳුම් පවා හරි අපූරුයි..?
ඔව්.. ඒක ඇත්ත. ඒ ඇඳුම් නිර්මාණය කළේ හිරාන්. සින්දුවල පෙළගැස්ම අනුව ඒකත් හරි අපූරු වුණා. ඒක ගෝත්රික නොවන මොඩන් නොවන ඇඳුම් නිර්මාණයක්. මේ හැමදේම අප්පච්චි බලලා අනුමත කළා. අප්පච්චිගේ අදහස් අනුව තමයි මේ නිර්මාණය කළේ. අවසානයේ දි හරි අපුරු නිර්මාණයක් වේදිකාවේ දි අපිට එදා කරන්න පුළුවන් වුණා. ඒ ගැන අද තියෙන්නෙ ලොකු සතුටක්.
දේශය