මේ දවස්වල උදාරි පෙරේරාගෙ අපූරු ඡායාරූප වගයක් අන්තර්ජාලය හරහා එහෙට මෙහෙට යනවා.උදාරි කොණ්ඩෙ තට්ටෙ ගාලා ගොඩක් අය එහෙම කියනව.ඉතින් අපි උදාරිගෙන් ඒ ගැන ඇහුවා.
උදාරි , මොකක්ද මේ අලුත්ම වෙනස .කොණ්ඩෙ නැතිව ඉන්න එක අලුත් ෆැෂන් එකක්ද?
අනේ මේක කළේ පිළිකා රෝගීන් වෙනුවෙන් කරපු ව්‍යාපෘතියකට.ඒත් ගොඩක් අය හිතෙන්නෙ මම ඇත්තටම කොණ්ඩෙ කැපුවෙ නැහැ .ඒත් සමහරු බොරුවට මම කොණ්ඩෙ කැපුවයි කියල පෝස්ට් දාලා තියෙනවා. ඇත්තටම අපට මේක් අප්වලින් ඒ පෙනුම හදාගන්න පැය 3ක් විතර මහන්සි වෙන්න වුණා.
ඇත්තටම මේ වගේ ව්‍යාපෘතියකට යොමුවෙන්න හිතුවෙ ඇයි ?
පිළිකා රෝගියෙක් දැක්කම හැමෝම අනේ ඔයාගෙ කොණ්ඩෙ ගිහින්, කැත වෙලා, ඇයි මෙහෙම වුණේ කියල එයාව මානසිකව වට්ටනව මිස අපේ මානසිකත්වයට ගන්න උත්සාහ කරන්නෙ නැහැ. ඉතින් අපට අවශ්‍ය වුණේ කොණ්ඩයක් නැති වුණත් කෙනෙක් ලස්සනයි, ජීවිතේ විඳින්න පුළුවන් කියන දේ පෙන්වල දෙන්න. එතනදී අපි රතු පාට හෙඩ්පෝන් දෙකක් පාවිච්චි කළෙත් සතුට කියන දේ ව්ඳින්න ඕනෙ කියන එක පෙන්වන්න. අපි හොඳින්ම දන්නව පිළිකාව කොන්ට්‍රෝල් කරන්න බැරි බව. ඒ නිසාම පිළිකාවට අපව කොන්ට්‍රෝල් කරන්න දෙන්න හොඳත් නැහැ. අපි ඒ ලෙඩේ ගැන හිතලා, ලෙඩේට අපව කොන්ට්‍රෝල් කරන්න දුන්නොත් අපි පරාදයි. ඉතින් එහෙම නොවී අපි සතුටින් ජීවත් වෙමු කියන්නයි මින් උත්සාහ කළේ. අනෙක අපේ රටේ අය අසනීපයකදි බොහොම ඉක්මනින් කඩාගෙන වැටෙනවා. අපට කොන්ට්‍රෝල් කරන්න බැරි මේ අසනීපය ළඟදි ඒ රෝගියා එක්ක විනෝද වෙන්න, ඒ සිතට සැහැල්ලුවක් අත්කර දෙන්න කවුරුත් මහන්සි වෙන්නෙ නැහැ. මම මෙතනදි උත්සාහ කළේ ඒ පිළිකා රෝගීන් වටේ ඉන්න අයට කතාකරන්න. සතුටින් ඉන්න මානසිකත්වයකට ඒ රෝගීන් අරන් එන්න කියන පණිවිඩය දෙන්න.
මේ වෙනුවෙන් ඔබත් සමඟ තවත් අය එකතු වුණා ද?
මේ ඡායාරූප ගත්තෙ සංදේස් බණ්ඩාර මල්ලි. වේශ නිරූපනයෙදි සහය වුණේ ප්‍රියන්ත දිසානායක අයියා, හරූන් ශයිඩීන් සහ ඉන්දික අයියා.
මේ උදාර සංකල්පය උදාරිගෙ සිතට ආවෙ කොහොමද ?
අපි හැමෝම කතාවෙලා මේ වැඩේ කළේ.කොහොමත් මට යසෝදරා ෆිල්ම් එකේ මේ වගේ හිස මුඩු කරපු චරිතයක් කරන්න වුණා. එතනදි ගොඩක් අය කොණ්ඩෙ නැතත් මගේ පෙනුම ලස්සනයි කියන එක කිවුවා.ඒ හරහා හොඳ පණිවිඩයක් දෙමු කියල අපි හිතුවා. මොකද කොණ්ඩෙ නැති වුණා කියලා අපි කැත වෙන්නෙ නැහැනෙ. කොණ්ඩෙ කියන්නෙ යුවතියකට ආභරණයක් වුණත් අපි හිතන විදිය වෙනස් කරගමු කියන පණිවිඩය දෙන්නයි මට ඕනෙ වුණේ .
කොහොමද ලැබුණ ප්‍රතිචාර ?
ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. කවද හරි දවසක කොණ්ඩෙ තට්ටෙ ඇත්තටම ගාන්න හිතාගෙන ඉන්නවා. හැබැයි දැන්මම නෙවෙයි. දැන් තියෙන වැඩත් එක්ක මට එහෙම කරන්න බැහැ. කොහොම වුණත් මට හිස මුඩු කරල ඉන්න වුණත් මම සැලෙන්නෙ නැහැ. මොකද ලස්සන තියෙන්නෙ අපි හිතන විදියෙ. ඒ නිසාමයි මම අද ජීවිතෙන් මරණයත් අතර ජීවත් වෙන මේ පිළිකා රෝගීන් වෙනුවෙන් මෙහෙම දෙයක් කළේ. ඒ අයට ඇත්තටම කොණ්ඩෙ නැතත් අපි ලස්සනයි, අපි ජීවිත කාලෙ සතුටින් ඉන්න ඕනෙ කියල හිතෙනවා නම් ඒක මට ලොකු සතුටක්.
තමාරා පතිරණ