මේ දවස්වල ධනුෂ්ක බෑන්ඩ් එකේ වැඩවලට කාර්යබහුලයිලු නේද?
ඔව්. මගේ බෑන්ඩ් එකේ වැඩ කටයුතුවලට තමයි මුල්තැන දීලා තියෙන්නේ. අප්‍රේල් මාසයේ පැවැත්වෙන ප්‍රසංගවලට වැඩ භාර ගනිමින් ඉන්නවා. පසුගිය කාලෙත් ප්‍රසංගවලට සම්බන්ධ වුණා.
බෑන්ඩ් එක නැතිව තනියෙන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැද්ද?
තනි වැඩවලටත් යනවා. බෑන්ඩ් එකේ වැඩත් එක්ක යන්න පුළුවන් වැඩවලට සම්බන්ධ වෙනවා. යන්න පුළුවන් දුර ප්‍රමාණය බලලා තමයි සමබරව වැඩ භාර ගන්නේ.
ධනුෂ්ක බොහෝ වෙලාවට ගායනා කළේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත. දැන් එතුමාගේ ගීත ධනුෂ්කට ගායනා කරන්න බැරි නිසා වැඩ අඩු වෙලා කියලත් ආරංචියි?
වැඩවල අඩුවක් සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ජනප්‍රියත්වය තියෙන්නේ ටික කාලයයි. මම ජනප්‍රිය කාලේ ඕන තරම් ෂෝවලට මාව ගෙන්න ගත්තා. ජනප්‍රියත්වය අඩු වෙනකොට වැඩත් ටිකක් අඩු වෙනවා. ඒක හැමෝටම සිද්ධ වෙන දෙයක්. ඇතිවුණු ප්රශ්නය නිසා මිනිස්සු මාව වැඩවලට ගෙන්වන ප්‍රමාණය ටිකක් අඩු වුණා. දැන් මම එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ ගීත කියන්නේ නැහැ. ඒ නිසා ෂෝ ටිකක් අඩු වුණා. ඒ සින්දු කියන්න මට අයිතියක් නෑ. ඒ නිසා මගේ සින්දු තමයි දැන් ෂෝවලදී කියන්නේ.
තමන්ගෙම කියලා අනන්‍යතාවක් හදාගෙන තිබ්බේ නැති නිසා නේද ඔය ප්‍රශ්නයට ගොඩක් මුහුණ දෙන්න වුණේ?
මෙහෙමයි. ඒ කාලේ මමත් ක්ෂේත්රයට අලුත් නිසා මටත් ලොකු තේරුමක් තිබ්බේ නැහැ. වෙන අයගේ සින්දු කියන්න එපා කියලා තේරුම් කරන්නත් මට කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා සමහර දේවල් මඟහැරුණා. දැන් නම් මම හදන ගීත මගේ ආරට ගැළපෙන විදියට කරන්නේ. ළඟදීම මගේ ආරට ගැළපෙන ලස්සන ගීතයක් රසිකයෝ අතරට ගේනවා. ඒ සින්දුව ලොකු වෙනසක් වෙයි.
දැන් තමන්ගෙම හැඩයේ ගීත එක්කාසු කරගන්නද ලෑස්ති වෙන්නේ?
මම දැනට කරපු ගීත දහහතරක් පහළොවක් විතර තියෙනවා. ඉදිරියෙදී හදන ගීත මම ක්ෂේත්රයට ආපු ශෛලියෙන් හදන්නේ. ආදර ගීත එහෙම ඉදිරියේදී කරන්නේ නැහැ. මම ආපු ශෛලිය මට ඉදිරියට යන්න හොඳයි කියලා හිතෙනවා. දැන් මම මගේ ගමන හරියට යනවා. ඉදිරියට මගේ ගීතවල රඟපාන්නෙත් මමමයි.
තමන්ගේ ගීතවල තමන්ම රඟපාන්න ඕන කියන තීරණය ගත්තේ?
මම රියැලිටි වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මට රංගන හැකියාව වගේම නර්තන හැකියාවත් තියෙන නිසා මගේ ගීතවල මම ම ඉන්නවා. ප්‍රේම ගීත නෙවෙයි මම කරන්නේ. බයිලා හැඩයේ, හාස්‍යමය රසය තියෙන වැඩවල මටම පෙනී ඉන්න පුළුවන්. මම ම රඟපෑවොත් ඒක හිට් වෙයි කියලා හිතනවා. මිනිස්සු ඇබ්බැහි වෙන දෙයක් මම ඒ හරහා ඉදිරිපත් කරනවා.
ධනුෂ්කට අලුත් රංගන අවස්ථාවක් ලැබුණලු නේද?
මේ වෙනකොට ටී.වී. දෙරණ ආයතනයේ වැඩකට කතා කරලා තියෙනවා. බොහොම ඉක්මනට අපිව හොඳ වැඩකින් දකින්න ලැබේවි.
ධනුෂ්ක වැඩවලදී ලොකු ලොකු ගණන් කියනවා කියලත් කතා ඇහෙනවා?
අනේ නැහැ. මම එහෙම ගණන් උස්සන්නේ නෑ. ලොකු ලොකු ගණන්වලට යන්න ඕන. ඒත් අපි ගණන් කියද්දි අපිට SMS කරලා ගෙනාවා කියන කතාන්දරය මුලට එනවා. ඇත්තටම අපිව මිනිස්සු ඉදිරියට ගෙනාවා කියන එක ඇත්ත. නමුත් අපි මේ වෘත්තියට වටිනාකමක් දෙන්න ඕන. නැත්නම් අනෙක් කලාකරුවෝ අපිත් එක්ක අවුල් වෙන්න පුළුවන්. අනෙක් අය අයකරන විදිය එක්ක බලද්දී මම ඒ වගේ ලොකු ගණන් ඉල්ලන්නේ නෑ. මට ඇති කියලා හිතෙන ගණන්වලට මම යන්නේ.
ඩ්‍රීම් ස්ටාර් තරගයේ ඉන්න කාලේ ධනුෂ්ක තමන්ගේ තාත්තා ගැන හරි හරියට කිව්වානේ. දැන් සමහරු කියනවා ධනුෂ්ක තමන්ගේ පවුලේ අය ගැනවත් හොයලා බලන්නේ නෑ කියලා. ඇත්තද මේ කතාව?
එහෙම දෙයක් නෑ. මම ගෙදර යනවා එනවා. එයාලා ගැන හොයලා බලනවා. අපි ආයෙත් ඇඹිලිපිටියේ ඉන්නේ. තාත්තා දෙපාරක් විතර අසනීප වුණු නිසා මම තීරණය කළා ගමට යන්න. කොළඹ හිටියොත් එයාලව මට මඟහැරෙන්න පුළුවන්. මම දිගටම කොළඹ හිටියා නම් ඔය වගේ කතා මට දිගටම කියයි. මම කොළඹ ඉන්නේ වැඩවලට විතරයි. මගේ බිරිය, දරුවෝ දෙන්නා ඉන්නේ ගමේ. මම සතියකට සැරයක් ගමේ යනවා.
පැතිරෙන කතා නිසාමද ආයෙත් ගමට ගියේ?
මම විතරක් නෙවෙයි. තරගවල හිටපු ගොඩක් අය දුර අය නම් ඒ අය වැඩවලට කොළඹ එනවා. මටත් කොළඹ එන්න වුණා කාලයක්. කලාකාරයෝ විදියට අපිට හොඳ නරක දෙකම අහන්න වෙනවා. සමහරු හිතනවා ඇති හරිගිහින් තමයි ගමෙන් ගියේ කියලා. ඒත් මම ඉස්සරත් ගෙදරට වඩා ආච්චි අම්මලාගේ ගෙදර තමයි වැඩිපුර හිටියේ.
ධනුෂ්කට තමන්ගෙම අයව මඟහැරුණෙම නැද්ද?
මඟ හැරෙනවා නෙවෙයි. වැඩවලට කොළඹට ආවට පස්සේ මගේ අම්මාට තාත්තාට සහෝදරයන්ට සලකන්න ඕනෙ නෑ කියලා මම කවදාවත් හිතුවේ නැහැ. නමුත් අතපසු වීම් මටත් සිදුවෙලා තියෙනවා. නමුත් මගේ තාත්තා, සහෝදරයෝ ඕනේ නෑ කියලා කවදාවත් මම හිටියේ නැහැ. එහෙම කවදාවත් හිතන්නෙත් නෑ.
මගේ මහ ගෙදර දීලා තියෙන්නේ පොඩි නංගිට. එයා එක්ක තමයි තාත්තා ඉන්නේ. ඒත් මම එයාලා ගැන හොයලා බලනවා.
ගම්වලින් ආපු බොහෝ රියැලිටි තරු ගමට වැඩක් කරයි කියලා සමහරු බලාපොරොත්තු වෙනවා. ධනුෂ්ක ගමටවත් දෙයක් කරන්නේ නෑ කියලා කතා පැතිරෙනවා?
එහෙම කියන අය ඉන්නවා. මට ඒ කතා ආරංචි වෙනවා. මට ගමේ පාරවල් හදන්නවත්, ගමට ලයිට් දෙන්නවත් බෑනේ. ගමේ විශේෂ දෙයක් තිබ්බොත් මම යනවා. ගමේ ෂෝ එකක් කිව්වොත් මම සත පහක්වත් ගන්නේ නෑ. මට කිව්වොත් දෙයක් මම පුළුවන් විදියෙන් උදවු කරනවා. ලක්ෂ ගණන්, කෝටි ගණන් දෙන්න නම් මට සල්ලි නැහැ. මට පුළුවන් විදියට මම උදවු කරනවා. මිනිස්සු ඉතින් කාටද බනින්නේ නැත්තේ. සමහරු ඉතින් අපි හිනා වුණේ නෑ කතා කළේ නෑ කියලත් දේවල් කියනවා. මම එහෙම හිතා මතා දැකලා අහක බලාගෙන යන කෙනෙක් නෙවෙයි. මගේ තාත්තත් කිව්වා සමහරු කියනවාලු මම දැකලා අහක බලාගෙන ගියා කියලත්. මම හිතාමතා නම් එහෙම කරලා නෑ. හිත රිදුණා නම් සමාව ඉල්ලනවා.
ජීවිතයේ ඉදිරිය ගැන ලොකු සැලසුමක් තියෙනවාද?
මගේ ලොකුම සැලසුම තමයි සංගීත කණ්ඩායම හොඳ තත්ත්වයකට ගේන එක. හොඳ, මාව මිනිස්සුන්ට මතක හිටින මට්ටමේ ලස්සන වැඩ ටිකක් ඉදිරියේදී කරනවාමයි. මොකද ජීවිතේ වැරැදිච්ච තැන් වැඩියි. ගොඩක් දේවල් නැති වුණා. මිල මුදල් වුණත් නැති වුණා. හොඳ යාළුවෝ නරක යාළුවෝ හඳුනා ගත්තා. පසුගිය කාලේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් විඳගත්තා. ජීවිතයේ ඒ වැරැදි අඩුපාඩු ආයේ සිද්ධ වෙන එකක් නෑ. මම දැන් යන්න ඕන පාර මොකක්ද කියලා දන්නවා. ඒ අනුව තමයි මම වැඩ කරන්නේ. ඉදිරියට මට වරදින එකක් නෑ.
තිළිණි කෞශල්‍යා විජේසිංහ