උපේඛා තනිකඩ ජීවිතයට තිත තිබ්බා නේද?
මම විවාහ වුණා. ඇත්තටම ඒ වෙනස පුදුම විදියට ජීවිතයට දැනෙනවා. ඉතින් මම හරිම සතුටින් ඉන්නේ.
ඔච්චරටම ජීවිතයට වෙනසක් ගෙනාපු වාසනාවන්තයා කවුද කියමු නේද?
එයාගේ නම තිළිණ අකලංක. වෘත්තියෙන් මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. කාටවත් නැති තරම් ගොඩක් හොඳ ගතිගුණ තියෙන චූටි කොල්ලෙක් එයා.
උපේඛාගෙයි තිළිණගෙයි ආදර කතාවට කපුකම් කළේ හොඳම යාළුවා කියන්නේ ඇත්තද?
ඔව්. මගේ යාළුවා තමයි ගයාශානි. එයාගෙ හොඳම යාළුවෙක් තමයි තිළිණ. ඉතින් මම තිළිණ ගැන අහලා තිබ්බට කවදාවත් එයාව දැකලා තිබ්බේ නෑ. ඉතින් දවසක් මගේ යාළුවා කිව්වා තිළිණට ට්‍රීට් එකක් දෙන්න ඕන, තනියම යන්න බැරි නිසා මටත් එන්න කියලා. ඉතින් අපි එදා පැය හයක් හතක් කාලා බීලා කතා කර කර හිටියා.
පළමුවැනි හමුවීමම ආදර කතාවට මුලපිරුවද?
එයාව දැක්ක දවසේ ඉඳන් මම එයාට හරිම කැමැතියි. මම විවාහ වෙන්නේ නෑ කියලා තීරණයක් අරගෙන හිටියේ. හැබැයි තිළිණව මුණ ගැහුණම මගේ හිත මාර විදියට වෙනස් වුණා.
එතකොට ආදරය ප්‍රකාශ කළේ උපේඛාද? තිළිණද?
එයා තමයි මට I love you කියලා කිව්වේ. මමත් එයාට කැමැතියි කියලා අඟවලා තිබ්බා. එයා මට ආදරෙයි කිව්ව විදියත් හරිම සුන්දරයි. එයා මාව බීච් එකට එක්ක ගියා. එයා හරි කැමැතියි ගවුමක් ඇඳලා කොණ්ඩේ ගොතනවාට. එදා මම ගියේ ගවුමක් ඇඳලා කොණ්ඩේ පැත්තට ගොතලා. එයා මගේ අත් දෙකෙන් අල්ලගෙන ඇස් දෙක දිහා බලාගෙන I love you කියද්දි මගේ කකුල් පණ නැතුව වගේ ගිහින් එතැන තිබ්බ ගලක් උඩටත් වැටුණා.
තිළිණ ආදරය ප්‍රකාශ කරනකල් උපේඛා බලන් ඉන්නත් ඇතිනේ?
ඇත්තටම මම හිතුවා එයා මගෙන් කැමැත්ත අහයි කියලා. හැබැයි එයා මාව ටෙන්ෂන් කළා. එයා මගෙන් අහන්නේ නැති වෙයිද කියලා මම ටෙන්ෂන් වෙලා හිටියේ. ඒත් මට එයාගේ ආදරේ කිව්වම මට ඉන්න තැනත් අමතක වුණා. ඇත්තටම එයා වගේ කෙනෙක් ලබන්න තරම් මම වාසනාවන්තයි.
ඔය ආදර කතාවට කොච්චර කල්ද?
අපි ආදරය කරන්න පටන් අරන් මාස 10ක් වගේ වෙන්නේ.
දෙන්නගේ ආදර කතාවට මවුපියන්ගේ කැමැත්ත ගන්න අපහසු වුණේ නැද්ද?
නැහැ. ඇත්තටම මම විවාහ වෙන්නේ නෑ කියන තීරණයේ හිටපු නිසා මට කවුරුවත් හොයන්න එපා කියලා මම ගෙදරට කියලා තිබ්බේ. ඉතින් අම්මයි තාත්තයි බයේ හිටියේ මම නොබැඳ ඉදීවි කියලා. මම කැමැති කෙනෙක් ඉන්නවා කිව්වම එයාලට මුණගස්වන්න කිව්වා. ඉතින් අපි දෙන්නගෙම පවුල්වලින් ආශීර්වාදය ලැබුණා.
හිතපු පතපු ආදරය ලැබුණු නිසා උපේඛා ගොඩක් සතුටින් ඇත්තේ?
ඔව්. ඇත්තටම ගොඩක් අය කිව්වා මම හරි වාසනාවන්තයි කියලා. ඒත් මම හිතුවා මට දේවල් ලැබෙන්නේ අහම්බෙන් කියලා. ඒත් තිළිණව මට ලැබුණට පස්සේ තමයි මම හිතුවේ ඇත්තටම මම වාසනාවන්තයි කියලා.
උපේඛා විවාහ වුණ දවසෙම උපේඛාගේ අක්කත් විවාහ වුණා. ඒකත් විශේෂත්වයක් නේද?
ඔව්. අක්කගේ වෙඩින් එක මේ කාලේ ගන්න සැලසුම් කරගෙන හිටියේ. මගේ පොඩි අක්කා චමත්කා විවාහ වුණේ ඉමල්ක අයියා එක්ක. අපේ තාත්තා කිය කියා හිටියේ අපි දෙන්නගෙම වෙඩින් එක එකට ගන්නවා කියලා. ඉතින් එකම දවසේ පෝරු දෙකක් හදලා අක්කගෙයි මගෙයි විවාහය කළා.
තිළිණගේ ගෙදර අයත් උපේඛාගේ පවුලේ අය තරම්ම ඔයාට ළෙංගතුද?
ඔව්. තිළිණගේ පවුල හරිම අහිංසක පවුලක්. එයාලා හරිම හොඳයි. අම්මා, තාත්තා, මල්ලි මට ගොඩක් ආදරෙයි. මල්ලි ඉන්නේ ජපානයේ. එයාට වෙඩින් එකට එන්න බැරි වුණා. වෙඩින් එක ඉවර වෙනකල්ම එයා වීඩියෝ කෝල්වලින් අපිත් එක්ක එකතු වෙලා හිටියේ.
තනිකඩව හිටියා වගේ නෙමෙයි දැන් වගකීම් ගොඩක් උර දරන්න වෙනවා. ඒ වගකීම්වලට උපේඛා ලැහැස්තිද?
මම ගොඩක් ආසයි ලස්සන පවුල් ජීවිතයකට. මම පවුල ගැන ගොඩක් හිතනවා. බිරියක් වුණා වගේම අම්මා කෙනෙක් වෙන්න ඕන. ළමයි ලොකු කරලා එයාලා කරන්න ඕන දේවල් පවා මම හිතලා ඉවරයි. මම ඒ වගකීම්වලට ආසයි.
ඒ කියන්නේ උපේඛා මවක් වෙන හීනය කල්දාන එකක් නැහැ?
මවක් වෙන්න මම කැමැතියි. ඒක මට ප්‍රශ්නයක් නැහැ.
විවාහ වුණු නිසා උපේඛා කියන ගායිකාවට මොනවා වෙයිද?
ඇත්තටම මගේ ගායන වැඩවලටත් එයාගෙන් ලොකු සහායක් ලැබෙනවා. මම මියුසිකල් ෂෝවලට යද්දි මට නින්ද යන නිසා එයත් මාත් එක්ක යනවා. කොච්චර වැඩ තිබ්බත් එයා මං ගැන හිතනවා. ඉතින් එයා සංගීත කටයුතුවලට මාව ගොඩක් උනන්දු කරනවා. කළාට වඩා වැඩ ඉදිරියට මම කරයි.
ජීවිතයේ ඉදිරිය ගැන තව සැලසුම් ඇති?
අපි අපේම කියලා ගෙයක් හදාගෙන යනවා. එතකල් අපි ඉන්නේ තිළිණගේ අම්මයි තාත්තයි එක්ක. අපි ජීවිතේ හීන ටිකෙන් ටික හැබෑ කර ගන්නවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ