“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි..
ඇත්තෙන්ම “සිරස ජූනියර් සුපර් ස්ටාර්.” විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම ඉතාම වගකීම් සහිත කටයුත්තක්. එහි තරග වදින්නේ වයස 12 - 18 අතර ළමයි. ඒක සංක්‍රාන්ති වයස. ඒ වයසේදී සිතන පතන විදිය වෙනස්. ටිකක් ආවේගශීලීව හිතන ක්ෂණික තීරණ ගන්න වයසක්. ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරන එක බොහෝම කල්පනාවෙන් කරන්න ඕන. අපේ එක වචනයකින් ඒ අයගේ ජීවිතේට තදබල බලපෑමක් ඇති කරන්න පුළුවනි. ඒ වගේම මේක තරගයක් බවත් අපට අමතක කරන්න බෑ.. දක්ෂයන් ඉදිරියට යවන්න අනෙක් අය ඉවත් කරන්න අනිවාර්යයෙන්ම සිදුවනවා. ඔන්න ඔය අන්ත දෙක ගැන හිතලා තමයි කටයුතු කරන්න වෙන්නේ..
ඒ විදියට කටයුතු කරද්දී ගොඩක් සංවේදි වු අවස්ථා ඇති..
එහෙම අවස්ථා තියෙනවා. ඒත් විනිසුරුවරුයෙකු විදියට එහෙම සංවේදි වෙලා බැහැ. ඒ වගේ වෙලාවට පෞද්ගලිකව කළහැකි දෙයක් තියෙනවා නම් එම යුතුකම ඉටු කරනවා.
මේ වන විටත් ප්‍රදීප් ඒ වගේ කටයුත්තකට අතගහලා නේද .. ?
ඔව්.. “නිපුන” කියලා වයස 15 ක විතර දරුවෙක් මේ තරගයේදී මට මුණගැහුනා. ඒ ළමයට ගායන කුසලතා තියෙනවා. ඒත් ඊට වඩා දක්ෂ අය ඉදිරියට යද්දි ඒ ළමයට අවසන් 48 දෙනාගෙන් නතරවන්න සිදුවුණා. ඒ දරුවා “එස්, ඕ. එස්. ළමා ගම්මානයේ තමන්ගේ නංගි එක්ක ජීවත්වන ළමයෙක්. එයාගේ පසුබිම මත මම එයාට ගීතයක් නිර්මාණය කරලා දෙන්න තීරණය කළා. මේ දවස්වල ඒ ගීතය නිර්මාණය වනවා. ගීතය වීඩියෝවක් සමග ඉදිරියේදි මාධ්‍යයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වනවා. මම හිතන්නේ හේෂානුත් ඒ දරුවට නොමිලේ සංගීතය උගන්නන්න ඉදිරිපත්වුණා.
“ජූනියර් සුපර්ස්ටාර්ස්” ලා ටිකක් දඩබ්බර වයසක ඉන්න අය.. ඒ අය හිතුවක්කාරකන් කරපු අවස්ථා .. විනිශ්චයට විරෝධතා එල්ලකල අවස්ථා නැද්ද .. ?
නැහැ.. ඇත්තටම ඒ ළමයි හරි ශක්තිමත් විදියට ජය පරාජය පිළිගත්තා.
ඇතැම් තරගකරුවන් මතුවු අවස්ථා තියෙනවා.. විනිසුරුවන් ඒ අයට විශේෂත්වයක් දක්වන බවට සමහරු චෝදනා නගනවා..
කවුරුන් හෝ ඒ විදියට මතුවුනානන් ඒක ඒ අයගේ දක්ෂතා මත වූ දෙයක්. ඒ වගෙ අවස්ථාවල අපිත් ඊට සුදුසු ප්‍රතිචාර දක්වන්නට ඇති. නමුත් කිසිම දවසක අපි කිසිම තරගකරුවකුට හෝ තරග කාරියකට විශේෂත්වයක් දක්වලා නැහැ..
පසුගිය කාලයම ප්‍රදීප් ගතකලේ “ජූනියර් සුපර්ස්ටාර්ස්” ලා සමග. ඒ අයගේ දස්කම් ගැන ඔබට මේ වනවිට වැටහීමක් තියෙනවා.. කිරුළු දිනාගන්නා කෙනා ගැන මේ වනවිට යම් චිත්‍රයක් ප්‍රදීප් තුළ ඇති
නැහැ.. තරගය පුරා දස්කම් පෙන්වු කෙනෙක් හිටිහැටියේ යම් අසනීප තත්ත්වයක් මත හෝ පෞද්ගලික හේතුවක් මත එක් වටයකදී අවම දස්කම් පෙන්වුවත් විනිශ්චයේදී පූර්ව දක්ෂතා ගැන හිතල බලනවා. ඒත් අවසන් වටයේදි එහෙම කරන්න බෑ.. එහිදී ජය පරාජය හිමිවන්නේ එදා පෙන්වන දක්ෂතා මත. ඒ හින්දා දැනට අවසානය කරා ඇවිත් ඉන්න අය අතරින් කවුරු ජය ගනීද කියල මට නම් මේ මොහොතේ කියන්න බැහැ.
ප්‍රදීප්ගේ සංගීත ජීවිතයේ නවතම තොරතුරු මොනවාද.. ?
මේ දවස්වල මම ගායනා කල “ඔබගෙන් තරම්” ගීතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම සිරිස ටීවි තුළින් විකාශය වන “දිග්විජය” ටෙලි නාට්‍යයේ තේමා ගීතයටත් ගායනයෙන් එක්වුණා. ඔය අතරේ අලුත් ගීතයක් කරන්නත් සූදානම් වනවා. මේ වසර මැදදී මගේ එම නවතම ගීතය රසිකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
වෘත්තිමය තොරතුරු කතා කලොත් .. ?
මම දැනට බලංගොඩ මාරතැන්න රෝහලේ කටයුතු කරනවා. මේ වනවිට මම තමයි එහි ආයතනභාර වෛද්‍ය නිළධාරී විදියට කටයුතු කරන්නේ .. වෘත්තියේ යෙදෙන අතර කාලය කළමනාකරණය කරගෙන තමයි සංගීත කටයුතුවල යෙදෙන්නේ ..
කොහොමද පෞද්ගලික තොරතුරු .. ?
බොහොම සතුටින් ගෙවිල යනවා.. මගේ බිරිඳ මගේ ළඟම ඉඳගෙන මගේ සියලු කටයුතුවලට සහයෝගය දෙනවා. ඇත්තටම ඇය රැකියාවක් නොකර ගෘහණියක් විදියට ඉන්න හින්දා තමයි මට මේ විදියට මගේ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙලා තියෙන්නේ.
දෙන්නගේ කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද.. ?
ඉදිරියේදී ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවි ..
ආරියවංශ කුලතිලක