lan englan tam

පුවත්

'Cast the First Stone' මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ චිත්‍ර ප්‍රදර්ශනය ; ජූලි 23 දා ඇරඹේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

* 1983 කළු ජූලියේ 43 වැනි අනුස්මරණය නිමිත්තෙන් සමාජ-දේශපාලන ද්විත්ව ප්‍රමිතීන් ප්‍රශ්න කෙරෙන නවතම කලා ප්‍රවේශයක්

* ප්‍රධාන ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ කේන්ද්‍ර කරගනිමින් තවත් පරිවාර කලා ප්‍රදර්ශන ත්‍රිත්වයක් සන්දර්භගත කෙරේ

 

1983 ලංකා ඉතිහාසයේ සනිටුහන් වූ බරපතලම වාර්ගික ප්‍රචණ්ඩත්වයක් වන ‘කළු ජූලිය’ අනුස්මරණය කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් 1997 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන වාර්ෂික කලා ප්‍රදර්ශනය මෙවර ද ජූලි මස 23 වැනිදා කොළඹ දී ආරම්භ වීමට නියමිතය.

saskiyafernandogalary

‘Cast the First Stone’ (පළමු ගල ගසන්න) යන තේමාව යටතේ මෙවර පැවැත්වෙන ප්‍රධාන ප්‍රදර්ශනය සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී (Saskia Fernando Gallery) එදින විවෘත වන අතර එය මාසයක පමණ කාලයක් මහජනතාව සඳහා නොමිලේ විවෘතව පවතී.

 

තේමාව සහ වත්මන් සමාජ දේශපාලන විග්‍රහය

මෙවර ප්‍රදර්ශනය සඳහා පාදක කරගෙන ඇති "Cast the First Stone" යන තේමාව බයිබලයේ එන ජේසුස් වහන්සේ සහ අභිසාරිකාවකගේ පුවතක අන්තර්ගත "පව් නොකළ තැනැත්තා පළමුවැනි ගල ගසන්න" යන දහම ඇසුරින් නිර්මාණය වූවකි. වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය තුළ, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ දැකගත හැකි අනෙකා විවේචනය කරමින් තමන් පමණක් නිවැරදි බව පෙන්වීමට උත්සාහ කරන අවලාද සංස්කෘතිය (Blame and Claiming Culture) මෙමඟින් සෞන්දර්යාත්මකව ප්‍රශ්න කිරීමකට ලක් කෙරේ.

යටත්විජිත යුගයේ සිට අද දක්වා වෙනස් නොවී පවතින අයාලේ යාමේ නීති වැනි යල්පැනගිය ප්‍රතිපාදන භාවිත කරමින් පොලිසිය ඇතුළු නීති බලාත්මක කිරීමේ ආයතන කාන්තාවන් සහ ලිංගික ශ්‍රමිකයන් (Sex Workers) ඉලක්ක කර ගනිමින් වැටලීම් සිදු කරන පසුබිමක, ඊට සම්බන්ධ වන පුරුෂ පාර්ශවයන් නීතියෙන් නිදහස් වන ද්විත්ව ප්‍රමිතිය මෙම නිර්මාණ හරහා විවරණය කෙරේ. එසේම ලිංගික ශ්‍රමිකයන්, LGBTQ+ ප්‍රජාව මෙන්ම දේශපාලනික වශයෙන් මඩගැසීම්වලට ලක්වන කාන්තා මන්ත්‍රීවරියන් සහ ප්‍රභූ කාන්තාවන් මුහුණ දෙන සමාජයීය පීඩනය පිළිබඳව කතිකාවතක් ගොඩනැගීම ද මෙහි අරමුණක් වී තිබේ.

 

කලාත්මක ආකෘතිය සහ තාක්ෂණික ප්‍රවේශය

theendoffear1

දීර්ඝ කාලයකට පසුව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සිය චිත්‍ර කෘති සඳහා මානව රූප ආකෘති (Human Figures) සහ එහි දල සටහන් බහුලව භාවිත කිරීමට මෙවර පියවර ගෙන ඇත. 2016 වසරේ සිට ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද ‘Glitch’ කලා සම්ප්‍රදායේ දිගුවක් ලෙස, මෙවර නිර්මාණ සඳහා දර්පණ (කණ්ණාඩි) තීරු සහ දර්පණ අවකාශයන් (Mirror Space) බද්ධ කර තිබේ. එමඟින් නරඹන්නාට චිත්‍රය දෙස බලන විට තමාගේම පිළිබිඹුව ද දැකගත හැකි වන පරිදි ආකෘතිය සකස් කර ඇත්තේ සමාජ වගකීම තමන් වෙතම හරවා නිරීක්ෂණය කිරීමට ඉඩ සලසමිනි.

 

සමගාමී පරිවාර ප්‍රදර්ශන ත්‍රිත්වය

මෙවර ප්‍රධාන ප්‍රදර්ශනයට සමගාමීව තවත් පරිවාර කලා ප්‍රදර්ශන තුනක් ජූලි 23 වැනිදාම කොළඹ ප්‍රධාන කලාගාර කිහිපයකදී ආරම්භ වේ.

* සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ JDA කලාගාරය: 

ශිෂ්‍ය සහ තරුණ කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ.

* ලයනල් වෙන්ඩ්ට් / හැරල්ඩ් පීරිස් කලාගාරය: 

දේශපාලන සහ සමාජයීය බලපෑම් නිරූපණය කෙරෙන "Persuasion" ප්‍රදර්ශනයේ තෙවන අදියර මෙහිදී දිගහැරේ.

* බෙයාෆුට් කලාගාරය (Barefoot Gallery): 

මේ වන විට විදේශගතව ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෘශ්‍ය කලාකරුවන් තිදෙනෙකුගේ කෘති ඇතුළත් "Here and There: Edition One" ප්‍රදර්ශනය එහිදී පැවැත්වේ.
 
 
 

kemadasa

shungara

Back to top
Go to bottom