ගුවන් විදුලිය, වේදිකාව, පුංචිතිරය, රිදී තිරය කියන කලා මාධ්‍යයන් සියල්ලටම එක ලෙස දක්ෂතා දක්වන කලාකරුවෙක් ලෙස විජේරත්න වරකාගොඩ හැඳින්විය හැකියි. ඔහුගේ පුත් ජනනාත් වරකාගොඩ සංගීතය, නර්තනය, රංගනයට පියා මෙන්ම දක්ෂතා දක්වන කලාකරුවෙක්.මොවුන් දෙදෙනාම අද කලා ලෝකයේ නැතුවම බැරි කලාකරුවන් බවට පත්වෙලා.
ඔබ කලාවට අවතීර්ණව දශක පහකටත් වැඩි කාලයක් ගතවෙලා. මතකයිද ඒ අතීතය.
මම ප්‍රසිද්ධ කලාවට පිවිසියේ පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවය කරමින් සිටි කාලයේ. ඒ ගුවන්විදුලියේ සරළ ගී ගායන පරීක්ෂණයට ඉදිරිපත්වීමට. එම පරීක්ෂණයෙන් සමත්ව 1960 වසරේ සිට ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් ලෙස තේරීපත්වුණා. සරළ ගී ගායකයෙක් ලෙසත් සතිපතා ප්‍රචාරය වු නාට්‍ය ගණනාවකටත් සම්බන්ධවුණා. මුවන් පැළැස්සත් ඒ කාලයේ පටන්ගත් ගුවන්විදුලි නාට්‍යයක්.එදා සිට මේ වනතුරු වසර 58ක් රංගන ශිල්පියෙක් ලෙස වැඩ කරනවා.
ගුවන්විදුලියෙන් පසුව පුංචි තිරය සහ රිදී තිරයට අවතීර්ණවුණේ කොහොමද?
පළමුව රිදී තිරයට සම්බන්ධවුණේ 1962වසරේ තිරගත වු 'සුහද දිවි පිදුම' චිත්‍රපටයෙන්. එය රොබින් තම්පෝගේ අධ්‍යක්ෂණයක්. එහි නීතිඥවරයකුගේ චරිතයක් රඟපෑවේ.ඉන්පසු 1963දි කලා මණ්ඩලයේ පැවැති නාට්‍ය උත්සවයේදි අජාසත්ත නාට්‍යයේ බිම්බිසාර රජතුමාගේ චරිතයට හොඳම ශෛලීගත රංගන ශිල්පියා ලෙස තේරුණා. එදා සිට මේ දක්වා චිත්‍රපට පණහකට අධික ප්‍රමාණයක් සහ ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායකවුණා.
අදවන විට ඔබගේ පවුලම කලා පවුලක් වෙලා. ඒ අතරින් ඔබගේ පුතා ජනනාත් මෙරට සංගීත කලාවේ සුවිශේෂි චරිතයක්. ජනනාත් සතු මේ හැකියාවන් කුඩා කාලයේ පටන්ම දක්නට ලැබුණාද?
පුතා පුංචි කාලෙ සිටම සංගීතයට දක්ෂයි. ඒ නිසාම අපි ඔහුව ෂෙල්ටන් ප්‍රේමරත්න කියන සංගීත අධ්යක්ෂවරයා වෙත යොමුකළා. එතකොට වයස අවුරුදු පහක් විතර ඇති. තබ්ලා වාදනයට විශේෂ හැකියාවක් තිබෙන බව තේරුණ නිසා දක්ෂ තබ්ලාවාදන ශිල්පියෙක් වන ඩී.ආර්.පීරිස් මහතා වෙත යොමුකළා. තබ්ලා විශාරද විභාගය සමත් වනතුරු ඔහු යටතේ තබ්ලා වාදනය ප්‍රගුණ කළා. පසුව බෙර වාදනයට පියසාර ශිල්පාධිපති සහ පනීභාරත වෙත යොමුකළා. පුතා චන්න උපුලී රංගායතනයෙන් උඩරට නැටුම් ප්රගුණකර වෙස් බැන්දා.
පුතා කුඩා කාලයේදි රංගනය පැත්තට යොමුකළේ නැද්ද?
හුණු වටයේ වේදිකා නාට්‍යයේ මයිකල් කුමාරයා ලෙස පුතා කලක් රඟපෑවා.ඉන් පසුව 'අත්ත බිඳෙයි' සහ සෝමරත්න දිසානායකගේ පළමු ටෙලිනාට්‍ය' මග සලකුණ' ටෙලිනාට්‍යයේ රඟපෑවා. කාලයක්ම ළමා චරිත කළා. වයසින් තරමක් මුහුකරා යද්දී ටික ටික රංගනයෙන් ඈත්ව සංගීතය පැත්තටම යොමුවුණා.
ජනනාත් අද වන විට මෙරට සිටින දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක් මෙන්ම බෙර වාදන ශිල්පියෙක්. ඔබ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වු නිසාද පුතාට මේ තරම් දුරක් සංගීත ක්ෂේත්රයේ එන්නට හැකිවූයේ.
කෙටියෙන්ම කියන්න තියෙන්නෙ මම කොතරම් ප්‍රවීණ වුවත් ජනනාත් දක්ෂ නැත්නම් මෙතරම් සාර්ථක ගමනක් එන්න ලැබෙන්නෙ නෑ. මගේ දැන හැඳුනුම්කම් ඔහුට කුඩා කාලයේදි තරමක් දුරට පිටිවහලක් වුණත් අදවන විට පුතා පුතාටම අනන්‍යවු රාමුවක් ගොඩනගාගෙන සිටිනවා. විශේෂයෙන් අපිට අනන්‍ය වු අපේ දේ රැකගන්න වෙහෙසෙන කලාකරුවෙක් පුතා.මෙරට බොහොම කීර්තිමත් කලාකරුවන්ගෙ දරුවන් ඉන්නවා දෙමවුපියන්ගේ අඩිපාරේ කලාවට ආවත් රැඳිලා ඉන්න දක්ෂතාවක් නැති.නමුත් මගේ පුතා ජනනාත් සාර්ථක ගමනක් යනවා අපේ දේත් රැකගෙන.
ජනනාත්ගේ මේ ශෛලියට ඔබ කැමතියිද?
ඇත්තටම පුතා නිසා කියනව නෙමෙයි ඔහුගේ නිර්මාණවලට මම කැමැතියි. ලෝකයටම අපේ රටේ සංස්කෘතියයි ඔහු පෙන්වන්නේ. එවැනි කලාකරුවන් මේ රටේ සිටින්නේ අතළොස්සයි. ඒ අය අතර මගේ පුතාත් සිටීම ගැන සතුටුයි.
සද්දනොකර ලොවේ අරුත කියා දුන්නු අප්පච්චි..
දන්දී සැප උහුලා දුක මහ ගිනි විඳි අප්පච්චි..
ඒ ගිනි ගෙන අපෙ උණුසුම සෑදු මගෙ අප්පච්චි..
අපි වෙනුවෙන් සංසාරේ වන්දනාවෙ අප්පච්චි...
ජනනාත් මේ ගීතය ගයන්නේ ඔබගේ අප්පච්චි වෙනුවෙන්මද?
ඇත්තටම මේ මගේ අප්පච්චිගේ ස්වභාවය සහ ඔහු අපිට ඇති ආදරය සහ දයාවයි. මේ ගීතය ගායනා කරන සෑම අවස්ථාවකම මට මගේ අප්පච්චි ගැන ආඩම්බරයක් සිතට නැඟෙනවා. ඔහුගේ නිහඬ ආදර්ශමත් චරිතය මටනම් කිසිවකුට සමකළ නොහැකියි.
ඔබගේ අප්පච්චි මෙරට සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙක්.ඔබට කලාවට පිවිසීමට ඔහුගේ මග පෙන්වීම බලපෑවාද?
මගේ අප්පච්චිත්, අම්මාත් පුංචිකාලෙ සිටම කී දෙයක් තමයි හොඳින් අධ්‍යාපනය නිමකර පසුව කැමැති දෙයක් කරන්න කියන එක. නමුත් ඔවුන් කුඩා කාලයේදීම මගේ දක්ෂතා හඳුනාගෙන දක්ෂ ගුරුවරු වෙත යොමුකළා.
වර්තමාන පරපුරේ සිටින බොහෝ කලාකරුවන්ට අපේ ජන සංගීතය සහ සංස්කෘතිය ගැන හැඟීමක් නොමැති කාලයක ඔබගෙන් මෙරට කලාවට සුවිශේෂි සේවාවක් සිදුවනවා.
මම පුංචි කාලෙ සිටම අපේ ජනගීයට සහ සංස්කෘතියට බෙහෙවින් ප්‍රිය කරනවා.ඒ නිසාමයි පුංචි කාලෙ සිට බෙර වාදනයට කැමැති වුණේ. තබ්ලාව, සර්පිනාව, ගැට බෙරය, පහතරට බෙරය, දවුල, තම්මැට්ටම මගේ ප්‍රියතම වාදන භාණ්ඩ. මේවායෙන් මුළු ලෝකයටම අපේ සංස්කෘතිය, සහ අනන්‍යතාව පෙන්වීමටයි මා උත්සාහ කරන්නේ.
අපේ සංස්කෘතිය ලෝකෙට පෙන්වන්න මොනවද කර තිබෙන්නෙ.
මේ වනවිට ලෝකයේ රටවල් විස්සකට වැඩි සංඛ්‍යාවකට සංචාරය කර අපේ නිර්මාණ ප්‍රදර්ශනයකර තිබෙනවා. විශේෂයෙන් අපේ ජන ගීතයට සහ බෙරයට විදේශිකයන්ගෙන් විශාල ප්‍රතිචාර ලැබෙනවා.මට මතකයි ජර්මනියේ පැවැති රටවල් විස්සක් පරදා අපේ රට ලෝකයේ හොඳම නර්ථන කණ්ඩායම ලෙස සම්මානයට පාත්රවුණා.
මොනවද මේ දවස්වල කෙරෙන අලුත් නිර්මාණ.
පසුගිය දිනවල 'නැදුන්ගමුවේ රාජා' ඇතාට ගීතයක් නිර්මාණය කළා. එය සංගීතවත් කර ගායනය කරන්නේ මම.එම ගීතය යු ටියුබ් හරහා රසවිඳිය හැකියි. මෙච්චර කාලයකට ජීවතුන් අතර සිටින සත්වයකු වෙනුවෙන් ගීත නිර්මාණයකර නැහැ.මම හිතන්නෙ මේ ගීතය වෙන්න ඇති පළමු නිර්මාණය.එයට අමතරව අපේ රටේ විවිධ පළාත්වල පාසල්වලට ගොස් එම දරුවන්ට අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය,ජනගීතය ගැන සංගීතානුසාරයෙන් දැනුම බෙදනවා. ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම සින්දු ලිවීමත්,ඒවාට සංගීතය නිර්මාණය කිරීමත් සිදුකරනවා.
නයනා වෑත්තෑව