lan englan tam

C Chatඑක

විරහ ගීත ලියන ''බූට් මාස්ටර් ''

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නම - උවිදු දයාරත්න
පාසැල් - මුලින්ම ගියේ ගොඩගම සුභාරතී විදුහලට . ඊට පස්සෙ ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ගියා

අපේ පරම්පරාවෙ කිසිම කෙනෙක් කලාවට ගෑවිලාවත් නෑ. මට කලා ක්ෂේත්‍රයට එන්න ආසාව ඇතිවුනේ එලිමහන් සජීවි ප්‍රසංග නිසා. තාත්තා මාව ප්‍රසංග බලන්න එක්කන් යනව මට මතකයි අවුරුදු 10දි ඉදලම. ඒ දවස්වල ''සන්ෆ්ලවර් '' කණ්ඩායමට මං ගොඩක් ආදරේ කෙරුවා. මාත් ඒ දවස්වල හිතාගත්තා කවදහරි ගායකයෙක් වෙනව කියලා. ඉස්කෝලෙදි ටීචර්ස්ලා අහද්දි ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියලා , මං කිව්වෙ ගායකයෙක් වෙන්න ආසයි කියලා.

ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ උනේ , '' කොහොමද මං ෆීල්ඩ් එකට රිංගන්නෙ '' කියන එක. උදව්වක් ගන්න කිසිම නෑදෑයෙක්වත් යාලුවෙක්වත් හිටියෙ නෑ. මටම කියලා සිංදු හදාගන්න මට ඕන උනත් , හොද පද රචකයෙක්ට දෙන්න සල්ලි මට තිබ්බෙ නෑ. ඒ නිසා මං පුලුවන් විදිහට තනියම ලිව්වා. කාලයත් එක්කම මටවත් නොදැනිම මං පද රචකයෙක් උනා. හැමෝම කිව්වා ගායනය අත ඇරලා දිගටම ලියන්න කියලා. මං එහෙම කෙරුවා. මුල් කාලෙ අලුත් අයට නිකං ලියල දුන්නා. ඒවා ජනප්‍රිය උනේ නැති උනත් මං සතුටෙන් හිටියෙ මගෙ වචන සිංදු වෙච්ච නිසා.
ඔය විදිහට අවුරුදු 8ක් වගේ ගෙවුනා. ඒ අතරතුර මං ‍රැකියා 12ක් විතර කෙරුවා. ගොඩක් දුක් වින්දා. මට ආස දේ කරගන්න බැරුව ජීවත්වෙලා මොකටද කියලත් හිතුනු වෙලාවල් තිබුනා.
2014දි අහම්බෙන් වගේ මගේ මිතුරියක් මාව '' සහරා ෆ්ලෑශ් '' නායක ප්‍රදීප් අයියට අදුන්වල දුන්නා. එදා තමයි මගේ කලා ජීවිතේට අඩිතාලම වැ‍ටුනේ. ''සහරා ෆ්ලෑශ් '' කණ්ඩායමට සිංදු 5ක් ලිව්වා. ‍රැව‍ටුනේ මමයි , මියයන්න සුදානම් , සිකුරුලියා , හැම වැරදි කෙරුවේ , නොලැබීම නේද ජීවිතේට මං ලබාපු දේ....

මට වගේම බෑන්ඩ් එකටත් වාසනාව ගෙනාපු සිංදුව තමයි '' මියයන්න සූදානම් පැරදුම දරන් ..'' . ඒක ගොඩක් ජනප්‍රිය උනා සමාජ තරාතිරමක් නැතුවම. ජාත්‍යන්තර පාසල්වල ළමයි වගේම ගමේ ළමයි , වැඩිහිටි අය වගේම තරුණ අය මේ සිංදුවට ආස කළා. තුෂාර ජෝශප් කියන චරිතය ගොඩ නැගුනා මේ සිංදුවෙන්. ජනතාව අතරින් බිහිවුනු සුපිරි තරුවක් උනා. බස් රථවල, ත්‍රීවිල්වල මේ සිංදුවේ පද සටහන් වෙලා තියෙනව මං ගොඩක් දැකල තියෙනවා. ඒ වගේම රටේ සමහර සිද්දිවලට මේ සිංදුව යොදගත්තු අවස්තා මං ෆේස්බුක් එකේ දැක්කා. ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග පරදිනකොට , තෙල් ප්‍රශ්නය තියෙන අවස්තාවෙ එහෙම මේ සිංදුවේ පද වෙනස් කරලා , විනෝද ජනක නිර්මාණ කරලා තිබ්බා. ඒව දකිද්දි මං විශ්වාස කෙරුව පැහැදිලිවම මේක මිනිස්සු අතරෙ තියෙන ගීතයක් කියලා.
සල්ලි වියදම් කරලා රූපවාහිනි නාලිකාවලවත් ගුවන්විදුලි නාලිකාවලවත් ප්‍රචාරය නොකර , ප්‍රසංග වේදිකාවෙන්ම තමයි මේ සිංදුව ජනප්‍රිය උනේ. තුෂාර ගෙ වේදනාබර හඩ ඒකට ලොකු වාසියක් උනා. සංගීත අධ්‍යක්ෂනය කෙරුවෙ තරිදු කොස්තා.

අද වෙනකොට ගීත රචනය මගේ ‍රැකියාව වෙලා . අලුතෙන් කලා ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මගෙන් නිර්මාණ ඉල්ලනවා. ඒවගේම දැනට ජනප්‍රිය ගායක ගායිකාවන්ටත් නිර්මාණ කරනවා. විරහ ගීත ලියන නිසාම ''බූට් මාස්ටර් '' කියලා නමකුත් වැටිලා තියෙනව දැන් නම්. ඒව රසික රසිකාවියන්ගෙ කැමැත්ත. මං ආසයි ඒ නමට. හැබැයි හැමදාම අඩන සිංදු ලියන්න මට ඕනකමක් නෑ. පෑනෙන් ලොකු දෙයක් කරන්න පුලුවන් කියල මං දන්නවා. දැනටමත් වෙනස් දේවල් කරලා තියෙනවා.තව මාසෙකින් දෙකකින් ඒව රස විදින්න පුලුවන්.
කුඩු වලට අබ්බැහිවෙච්ච තරුණයෙක් එයාගෙ ආදරවන්තියට කියන දේවල් ගැන මං නිර්මාණයක් කෙරුවා. මං හිතන්නෙ ලංකාවෙ ඒ වගේ ගීතයක් මං දන්න තරමින් කවුරුවත්ම ලියල නෑ. ඒ වගේ තව ගොඩක් අමුතු දේවල් ගැන නිර්මාන කරගෙන යනව. පුංචි කාලෙ මට මග හැරුනු හීනය , ගායකයෙක් වෙන්න තිබ්බ ආසාව තාම තියෙනවා.මේ අවුරුද්දෙ ගායකයෙක් වෙන්නත් උත්සහ කරනවා.

උවිදු කියල චරිතයක් හැදුනෙ , මිනිස්සු දැන ගත්තෙ ''සහරා ෆ්ලෑශ් '' නිසා. ප්‍රදීප් අයියා , කොස්තා අයියා ඇතුලු කණ්ඩායමේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ඕන විදිහට මගේ ජීවිතේ ගෙවන්න නිදහස දීපු මගේ අම්මවයි තාත්තවයි ආදරෙන් මතක් කරනවා. කෝල් කරලා මැසේජ් කරලා මට හොද නරක කියන, සුබ පතන හැමෝටමත් ස්තූතියි.
ජනතාවට මගේ අදහස් ගෙනියන්න මට අවස්ථාවක් ලබාදුන්නු , මං වෙනුවෙන් ඉඩ වෙන්කරපු ඔබටත් ගොඩක් ස්තූතියි .
දු.ක. අංකය - 0766 863126

 

Back to top
Go to bottom

Popular News