මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටය විදිහට මීළඟට තිරයට ඒමට නියමිතව ඇත්තේ බිම්බා දේවි හෙවත් යශෝධරා චිත්‍රපටය බව බොහෝ දෙනා දන්නා කාරණයක්. එහි ප්‍රධාන චරිත සඳහා ශ්‍රී ලංකාවෙන් නළුනිළි දෙපළක් යොදාගත නොහැකිව අවසානයේ සුනිල් ආරියරත්නයන්ට ඉන්දියාවට පවා යාමට සිදු වූ නිසා දැනටමත් එම චිත්‍රපටය ගැන සිනමාලෝලින් අතර විශාල කතාබහක් ඇතිවෙලයි තියෙන්නේ. කොහොම නමුත්, යශෝධරා, චිත්‍රපටයේ ප්‍රදර්ශනය ඇරඹීමට ඔන්න මෙන්න කියා තිබියදී සුනිල් ආරියරත්නයන් අලුත් චිත්‍රපටයක වැඩකටයුතු පසුගියදා ආරම්භ කළා. ඒ විජයබා කොල්ලය නමින්.
ඔබේ නවතම චිත්‍රපටය වන බිම්බාදේවි හෙවත් යශෝධරා, මේ වසරේ තිරගත වීමට නියමිත චිත්‍රපට අතරින් බොහෝදෙනාගේ අවධානය දැනටමත් දිනාගෙන තිබෙන චිත්‍රපටයක්. නමුත් එය සිනමාහල්වලට එන්නටත් පෙර ඔබ තවත් චිත්‍රපටයකට සූදානම් වෙනවා..?
ඔව්. මීළඟට මම රිදී තිරයට රැගෙන එන්නට සූදානම් වෙන්නේ විජයබා කොල්ලය චිත්‍රපටයයි. එය ඩබ්ලිව්.ඒ සිල්වා ශූරින් එනමින්ම රචනා කළ නවකතාව ඇසුරෙනුයි සිනමාවට නගන්නේ. කොහොම නමුත් විජයබා කොල්ලය නිසා යශෝධරා චිත්‍රපටයේ ඉදිරි වැඩකටයුතුවලට කිසිදු බාධාවක් සිදුවෙන්නේ නැහැ.
ඒ කියන්නේ තවමත් ඔබේ අවධානය වැඩිපුර යොමුවෙලා තියෙන්නේ යශෝධරා චිත්‍රපටයටද..?
ඔව්. යශෝධරා චිත්‍රපටය අප්‍රේල් 26වැනිදා සිට ප්‍රදර්ශනය අරඹන්න මේ වනවිට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. එය ජනවාරි මාසයේ සිට තිරගත කරන්න හැකියාව තිබුණත් අපට අවශ්‍ය වුණා වෙසක් උත්සවයට සමගාමීව එය ප්‍රදර්ශනය ආරම්භ කරන්න. මේ වනවිටත් එය ප්රචාරක කටයුතු ආරම්භ කරලයි තියෙන්නේ.
මෑතකාලයේ ඔබේ ආදායම් වාර්තා පිහිටවූ චිත්‍රපටය වන කුස පබා, පත්තිනි වැනි චිත්‍රපටවලට ලැබුණු ප්‍රේක්ෂක ආකර්ෂණය මේ චිත්‍රපටයටත් ලැබේවි කියලා විශ්වාසද..?
නිසැකවම යශෝධරා චිත්‍රපටය දින 100ක් ප්‍රදර්ශනය වේවි කියලා මට හොඳටම විශ්වාසයි. කොහොමටත් ඊට පස්සේ තමයි මම විජයබා කොල්ලය, රූගත කිරීම් ආරම්භ කරන්නේ.
යශෝධරා චිත්‍රපටය සඳහා ප්‍රධාන නළු නිළි දෙපළ තෝරාගැනීමට බොහෝ වෙහෙස මහන්සිවෙන්න සිදු වුණා. අවසානයේ ඔවුන් සොයාගත්තේ ඉන්දියාවෙන්. ඒ නිසා අලුත් චිත්‍රපටයටත් කල් තියාම ප්‍රධාන චරිත සඳහා නළු නිළියන් තෝරාගන්න සිදුවේවි නේද..?
යශෝධරා චිත්‍රපටයේදී විශේෂයෙන්ම යශෝධරාවගේ චරිතය සඳහා පෞද්ගලික ජීවිතය වැඩිපුර ජනතාවට ඉස්මතු වී නැති චරිතවත් නිළියක් තෝරාගැනීමට අවශ්‍ය වුණා. ඒ නිසා තමයි ඇය මීට පෙර රඟපෑ චරිත වගේම ඉදිරි කටයුතු ගැනත් සලකා බලලා ඉන්දියානු නිළියක්ව තෝරාගත්තේ. මොකද මට මීට කලිනුත් මෙවැනි අත්දැකීමකට මුහුණදෙන්න සිදු වුණා. පත්තිනි චිත්‍රපටයේ පත්තිනි දේවියගේ මනුෂ්‍ය ආත්මය වන කණ්නගීගේ චරිතය රඟපෑවේ පූජා උමාශංකර්. නමුත් එහි පත්තිනි දේවිය විදිහට රඟපෑවේ ලංකාවේ නිළියක්. ඒ නිළිය පසු කාලයේ කරපු කියපු දේවල් නිසා සමහරු මටත් බණින්න පටන් ගත්තා. නමුත් විජයබා කොල්ලය චිත්‍රපටයේදී එවැනි ගැටලුවක් මතුවෙන එකක් නැහැ. අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටයට ලංකාවෙන් තමයි නළු නිළියන් තෝරාගන්නේ.
විජයබා කොල්ලය චිත්‍රපටයෙන් ඔබ තුන්කොන් ප්‍රේම වෘත්තාන්තයකුත් සිනමාලෝලින් ඉදිරියට ගෙනඒමට සූදානම් වෙනවා.
ඔව්. දම්මි - සුගත් ප්‍රේමයට කලින් අපි පාසල් යන කාලේ බොහෝ ප්‍රචලිත වී තිබුණු ප්රේමවෘත්තාන්තය තමයි විජයබා කොල්ලයේ නීලමණී, නයනානන්ද සහ අසංගගේ තුන්කොන් ප්රේමවෘත්තාන්තය. විජයබා කොල්ලය නවකතාව තමයි මම පාසල් යන කාලේ උසස් පෙළට නිර්දිෂ්ට ග්‍රන්ථය වුණේ. එයට මම කොච්චර ඇළුම් කළාද කියනවා නම් ඒ කාලේ මම විජයබා කොල්ලය ඇසුරෙන් අලකේෂ්වර නමින් නවකතාවකුත් රචනා කළා. විජයබා කොල්ලය නවකතාවේ අයිතිය තිබුණේ මා මිත්‍ර ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේනටයි. මා එය ගැන ඔහු සමග කතාබහකරන විටත් ඔහු ඒ නවකතාව ඇසුරෙන් පිටපතක් රචනා කරගෙනයි තිබුණේ. එය ප්‍රවීණ තිරපිටපත් රචක තිස්ස අබේසේකරගේ අවසන් තිරපිටපත වීමත් විශේෂත්වයක්.
කිෂාන් කනංකෙ