කාටවත් නොකී රහසක් මට හෙළි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක පත්තරේ දැම්මට පස්සේ මට ඒ දේ කරන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද ඒක මට නතර කර ගන්නම බැරි පුරුද්දක්.
මේ පුරුද්ද. මම පුංචි කාලේ ඉඳලා තිබුණු පුරුද්දක් කියලා අම්මා කියනවා. මේ පුරුද්ද හින්දා අම්මගෙන් බැණුම් අහපු අවස්ථා අනන්තයි. ගුටි කාලත් තියෙනවා. ඒත් මේක මට නතර කරගන්නම බැරි පුරුද්දක්.
මොකක්ද දන්නවද ඒ පුරුද්ද.
ඒ තමයි වැස්සේ තමෛන්න තියෙන ආශාව. මම පුංචිම කාලෙදීත් වැස්ස වහිනකොට අම්මගේ සාරියකුත් ඇඳගෙන කළු රෙදි කෑල්ලකින් කොණ්ඩයක් දාගෙන මිදුලට පැනලා වැස්සේ තෙමි තෙමී නටනවාලු. ඒ දවස්වල අම්මා මිදුල පුරාම රෝස මල් වවලා තිබුණා. ඒ මල් යායේ හින්දි සිංදු කිය කියා තමයි මම නටන්නේ. අම්මා මාව ඇදලා ගෙට දැම්මම මම ගේ පුරා වතුර පිටින් දුවලා මුළු ගේම හැඩි කරනවාලු. ඊට පස්සේ අම්මා ගේ අස් කරන අතරේ ආයෙමත් වැස්සට දුවලා යනවාලු.
දවසක් මට උණ හෙම්බිරිස්සාව හැදිලා ඉස්කෝලේ නොයා ගෙදර නතර වුණා. එතකොට මට වයස 7ක් විතර ඇති. දැන් ඔන්න මම අසනීප හින්දා ඇඳේ ගුලි වෙලා ඉන්නවා. අම්මා කුස්සියේ වැඩ. ඔය අතරේ එක පාරටම මහ වැස්සක් කඩා වැටුණා. කඩා වැටෙන වැස්ස ජනේලෙන් දැක්කම මට ඉන්න බැරිවුණා.
හිමින් ඇඳෙන් නැගිටලා මම මිදුලට ගිහින් වැස්සේ තෙමි තෙමී නටන්න පටන් ගත්තා. අම්මා සාලෙට ඇවිත් බලද්දී හෙම්බිරිස්සාව හැදිලා නිදාගෙන හිටපු මම වැස්සේ තෙමි තෙමී නටනවා. එදා නම් අම්මගෙන් ගුටි කන්නත් වුණා. ආච්චියි සීයයි මාව බේරගත්තේ නැත්නම් එදා තවත් ගුටිකනවා. ආච්චිලා මාව ගුටිවලින් බේර ගත්තට ලෙඩවලින් නම් බේර ගන්න බැරි වුණා. මට හොඳටම උණ වැඩිවෙලා ඉස්පිරිතාලෙට යන්නත් සිදු වුණා.
තව දවසක මම ඉස්කෝලේ යනවා. එදත් වැස්ස. වාහනෙන් බැහැලා යාළුවෙකුට කුඩේ දීලා මම තෙමි තෙමී පන්ති ගියා. එදා නම් ටීචර්ස්ලගෙන් බැනුම් අහන්න වුණේ නැහැ. තමන්ගේ කුඩේ වෙන කෙනෙකුට දීලා වැස්සේ තෙමි තෙමී එන්න තරම් පරිත්‍යාගශීලි කෙනෙක් විදියට තමයි ගුරුවරු මම කරපු දේ දැක්කේ. ඇයි ඉතින් එයාල දන්නේ නැහැනේ මට වැස්සේ තෙමීමේ ආශාවක් තියෙනවා කියලා.
පුංචි කාලේ තියෙන පුරුදු වයසත් එක්ක නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් මගෙ පුරුද්ද නම් තවමත් එහෙමමයි. අදටත් මට වැස්ස දකින්න බැහැ.
“ළඟදී දවසක “දෙවැනි ඉනිම” රූගත කිරීම් තිබුණා. දැන් ඔන්න එදා දවසේ ෂූටිං ඉවරයි. වාහනේ නැගලා ගෙදර එන්න කට්ටිය සැරසිලා ඉන්නවා. එදත් මහ හයියෙන් වැස්සක් වහිනවා. වැස්ස දැක්කා විතරයි මම එකපාරටම දුවල ගිහින් තෙමි තෙමී නටන්න පටන් ගත්තා. එදත් ගෙදර ගිහින් අම්මගෙන් බැණුම් ඇහුවා. දෙවැනි ඉනිමේ කට්ටිය හිතන්න ඇත්තේ වැස්ස දැකලා ආශා හිතිලා මම ඒ විදියට නැටුවා කියලා. මම ඒ වෙලාවේ එහෙම කළේ නතර කරන්න බැරි මේ පුරුද්ද නිසා බව ඒ අයත් දැන ගන්නේ මේ ලිපිය පළ වුණාට පස්සේ.
ආරියවංශ කුලතිලක