ඔබ සංගීත ක්ෂේත්රයට අවතීර්ණ වෙන්නේ 70 දශකයේදියි. ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් පවත්වන්න ඔබ මෙතරම් දිගු කාලයක් බලා සිටියේ ඇයි?
ගායකයෙක් විදිහට මට මගේම කියලා ගීත 60ක් 70ක් පමණ තමයි තිබෙන්නේ. සංගීත ක්ෂේත්රයේ රැඳී සිටි කාලයට සාපේක්ෂව ඒක ගීත සංඛ්‍යාවක් තමයි මම ගායනා කරලා තියෙන්නේ. සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් මම යොමුවුණා. ටෙලි නාට්‍ය 28කට පමණ මම සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවෙලා තියනවා. නමුත් වෙළෙඳ දැන්වීම් නිර්මාණ අධ්‍යක්ෂණය පැත්තට තමයි මගේ වැඩි කැමැත්ත තිබුණේ. ඒ නිසා සංගීතයටත් වඩා ඒ ක්ෂේත්රයට තමයි මගේ වැඩි කාලයක් ගත වුණේ. දැන් මට වයස අවුරුදු 70ක් විතර වෙනවා. ඉතින් කවදාවත් මෙවැනි ප්‍රසංගයක් පවත්වා නැති නිසා මගේ හිතේ ආසාවකුත් තිබුණා ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න. පුතා සහ දුව තමයි මේ ප්‍රසංගය සඳහා මාව උනන්දු කළේ.
ඔබ ගායනා කළ ගීත සංඛ්‍යාව සීමිත වුවත් ඒ අතරින් බොහොමයක් අදටත් ගීත ලෝලීන් අතර ජනප්‍රියයි?
ඔව්. මුල් කාලයේ ගායනා කළ ගීත තමයි අදටත් මට හුඟක් තියෙන්නේ. නමුත් තවමත් ඒ ගීතවලට ආදරය කරන පිරිසක් අපේ රටේ ඉන්නවා. මම මුලින්ම සංගීත ක්ෂේත්රයට එන්නේ 1975 වසරේදියි. ඒ ගමන යන්න මට ගුරුහරුකම් දීපු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මගේ සංගීත ගුරුවරයාව සිටි කේ.එම්. දයාපාල මහතා සහ රජයේ සංගීත විද්‍යාලයේ ගුරුවරු මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි. මුලින්ම සරල ගී වැඩසටහනට මම ගායනා කළ ‘ඔබ මට තරුවකි’, ‘දෑත දෙපා’ සහ ‘ඇයි තරහෙන් මානකාරි’ වගේ ගීත අදටත් ජනප්‍රියයි. පසුකාලීනව තමයි මම ‘සඳ කිනිති නැමී’ සහ ‘සිනා පිපෙනා මේ වසන්තය’ වගේ ගීත ගායනා කළේ.
දශක ගණනාවක් සංගීත ක්ෂේත්රයේ ලද අත්දැකීම් සමග නව පරපුරේ ගීත නිර්මාණ ඔබ දකින්නේ මොන විදිහටද?
නව පරපුරේ අය අතරත් දක්ෂ ගායක ගායිකාවන් ඉන්නවා. නමුත් බොහෝවිට හරවත් බවින් අඩු ඒකාකාරී ගීත තමයි ඔවුන්ගෙන් අසන්නට ලැබෙන්නේ. ඒ කාලේ අපි අනෙකුත් ගායක ගායිකාවන්ට වඩා වෙනස් ගීත නිර්මාණය කරන්න නිතරම උත්සාහ කළා. නමුත් ඒක අද පරපුරෙන් දකින්නට නැහැ. යූ ටියුබ් වලට හරි ගීතයක් දාලා ජනප්‍රිය වෙන්නයි හුඟ දෙනෙක් උත්සහ ගන්නේ. මුදල් පසුපසම දුවන ස්වභාවයකුත් හුඟක් අයගෙන් දකින්නට ලැබෙනවා. කසුන් කල්හාර, දුමාල් වර්ණකුලසූරිය වගේ දක්ෂයොත් ඒ අතර කලාතුරකින් ඉන්නවා.
ඔය කියන ගැටලුකාරී තත්ත්වයන් නිසාමද ඔබත් මෑතකදී ගීත නිර්මාණ එළිදැක්වීමට නොපෙළඹුණේ?
මම විතරක් නෙවෙයි හුඟක් ප්‍රවීණයෝ අද මොන විදිහේ ගීත නිර්මාණය කළ යුතුද කියන ගැටලු ඇතිව තමයි කාලය ගත කරන්නේ. මොකද අලුත් අය යන ඒකාකාරී රැල්ලට අපට යන්න බැහැ. විද්‍යුත් මාධ්‍යවලින් ගීත ප්‍රචාරය කිරීමේදී මතුවන ගැටලු සහ සී.ඩී. කර්මාන්තය බිඳවැටී තිබිම වගේ ගැටලු හේතුවෙනුත් අලුතෙන් ගීත එළිදක්වන්න අපහසු තත්ත්වයක් තිබෙනවා.
ඔබේ ගීත කොපමණ සංඛ්‍යාවක් “සඳ කිනිති නැමී” ප්රසංගයේදී රස විඳින්නට ලැබෙනවාද ?
එදාට මම මගේ ගීත 24ක් ගායනා කරනවා. ප්‍රදීපා ධර්මදාස, නිර්මලා රණතුංග, සමිතා මුදුන්කොටුව වැනි ගායිකාවන් මේ ප්රසංගයේදී මා සමග යුග ගීත ගායනයට එකතු වෙනවා.
ලක්බිම