මේ දිනවල තිරගත වන 'කෝමාලි කිංග්ස්' දමිළ සිනමා නිර්මාණයේ හා ‘පෝරිසාදයා’ සිනමා නිර්මාණයේ රංගන දායකත්වය
ලබාදෙන දර්ශන් ධර්මරාජ් මේ දිනවල ජනප්‍රිය ය. මේ කතාබහ ඔහු සමගිනි.
මේ දිනවල තිරගත වෙන 'කෝමාලි කිංගිස්' චිත්‍රපටය ගැන මුලින්ම අපි කතා කරමු?
කෝමාලි කිංග්ස් චිත්‍රපටය කින්නේ ලාංකේය සිනමාවේ වසර හතළිහකට පසුව දෙමළ අධ්යක්ෂවරයෙක් කළ නිර්මාණයක්.
මමත් එයට රංගනයෙන් දායක වුණා. කෝමාලි කිංග්ස් චිත්‍රපටයට මට දායක වෙන්න ලැබෙන්නේ අශෝක හඳගමගේ ‘ඉනිඅවන්’
චිත්‍රපටයට දායක වුණ කාලයේදී කිං රත්නම්ගේ හඳුනාගැනීමත් එක්ක. "ඉනිඅවන්" චිත්‍රපටයේ කිං රත්නම් එක් චරිතයකට දායක වුණා.
ඒ රූගත කිරීම් සිදුවන කාලයේ කිං රත්නම් මා සමග බොහෝ දේවල් කතා කළා. ලාංකේය සිනමාව තුළ අපි කොහොමද අපේ නිර්මාණ
ගෙන එන්නේ කියලා අපි කතා කළා. එහෙම වුණොත් අපට දකුණු ඉන්දියානු සිනමාව සමග අත්වැල් බැඳගෙන මේ ගමන යන්න පුළුවන්,
ඒ වගේම හොඳ කණ්ඩායමක් එක්ක මේ ගමන අපට යන්න පුළුවන් වෙනවා කියලා අපි කතා කළා.
නමුත් අපට ඒ සඳහා තිබෙන සහයෝගය මදි. සිනමා ශාලා අඩුයි. අපි මේක දෙමළ, සිංහල කියලා වෙන් කරගන්න ඕන නෑ.
දෙමළ කෙනෙක් කියලා වෙනසක් නොකර මාව සිංහල සිනමා නිර්මාණවලට දායක කරගන්නවා.
මම හිතන්නේ අපි ලංකාවේ සිනමාව වෙනුවෙන් මේ දේවල් සිදුකරන්න ඕන. මේ වගේ දෙමළ නිර්මාණවලටත් ඒ තුළ ඉඩක්
ලැබෙනවා නම් තවත් බොහෝ දෙනෙකුට ඒ හරහා අවස්ථා නිර්මාණය වෙනවා. ඒ වගේම නිර්මාණ හරහා බොහෝ තේමා ගැන
අපි කතා කරාවි. මේක ඒ ආරම්භය. මේ ආරම්භය අපි හරියට හදාගත්තා නම් ලාංකේය සිනමාවට හොඳ ගමනක් යන්න
හැකියාව ලැබෙයි කියලා මම හිතන්නේ.
මේ චිත්‍රපටය තුළ ඔබ රංගනයෙන් දායක වෙන චරිතය ගැන අපි කතා කරමු?
මම මේ චිත්‍රපටයේ සී.අයි.ඩී. සාමාජිකයෙකුගේ චරිතයකට තමයි දායක වෙන්නේ. හතර පස් දෙනෙක් එකතු වෙලා සැලසුම් කරලා සිදුකරන
සැලසුම් සහගත සමාජ විරෝධී ක්‍රියාවක් පසුපස තමයි මම යන්නේ. මම හිතනවා ඒ චරිතය මම හොඳින් කළා කියලා. මම කාලයක් බයෙන්
හිටියේ දෙමළ ප්‍රේක්ෂකයන් නැතිවෙයි කියලා. නමුත් මේ වෙද්දි මේ නිර්මාණ එක්ක ඔවුන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේ සිනමා නිර්මාණය තිරගත වීමත් එක්ක දෙමළ සිනමාකරණයේ යෙදෙන්නන්ගේ උද්යෝගය දකින්නේ කොහොමද?
කාලයකට පස්සේ දෙමළ නිෂ්පාදකවරුන් නිර්මාණවලට දායක වෙන්න උත්සාහ කරනවා. සිනමා ශාලා ප්‍රතිසංස්කරණය කරන්න
උත්සාහයක් තිබෙනවා. අපි මෙය එකතු වෙලා කරන්න ඕන දෙයක් කියලා කතා කරමින් ඉන්න අතරෙ තමයි කෝමාලි කිංග්ස් චිත්‍රපටය රිලීස් වුණේ.
මේ කාලෙ හොඳ කාලයක් කියලා මම හිතනවා. බොහෝ දෙනෙක් නිර්මාණ කරන්න සූදානමෙන් ඉන්නේ. දමිළ සිනමාවක් නොතිබුණ නිසා
මීට පෙර බොහෝ අය දර්ශන් ඔයා දමිළ ජාතිකයෙක් වෙලත් දකුණු ඉන්දීය සිනමාවට යන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවා. මට ආරාධනා ලැබුණා.
මම දකුණු ඉන්දීය සිනමා නිර්මාණ දෙකකට දායක වුණා. තාම එය රිලීස් වෙලා නැහැ. මේ වනවිට එය තෙළිඟු හා මලයාලම් භාෂාවලට පරිවර්තනය වෙනවා.
සියල්ල අවසන් වූ පසු තමයි ඔවුන් නම යොදන්නේ. ලබන වසරේ එය තිරගත වෙයි කියලා මම හිතනවා. මම ඉපදුණේ මේ රටේ.
මේ ලංකාව වෙනුවෙන් දෙයක් මම කරන්න ඕන. ඒ නිසා තමයි මම මේ වනවිට සිනමාකරණය ගැන ඉගෙනගන්නේ.
මං ගොඩක් ආසයි හොඳ චිත්‍රපටයක් කරන්න. මම එය ඉක්මනින් කරනවා. හොඳ නිර්මාණ දෙකක් මට ලැබිලා තිබෙනවා මම එයට දායක වෙනවා.
මම හිතනවා අපේ නිර්මාණකරුවන්ට ලංකාවේ නිර්මාණ සිදුකරන්න පුළුවන්. මේක හොඳ කාලයක්.
'පෝරිසාදයා' චිත්‍රපටයත් මේ වනවිට තිරගත වෙනවා. ඒ වගේම ටෙලිනාට්‍යයකටත් දායක වී සිටිනවා?
ඔව්. පෝරිසාදයා චිත්‍රපටයටත් මම දායක වුණා. එයත් මේ දිනවල තිරගත වෙනවා. එයත් හොඳ නිර්මාණයක්. තුෂාරි අබේසේකර අක්කාගේ
'අසමජ්ජාතියෝ' කියන නවකතාව ටෙලිනාට්‍යයක් බවට පත් වෙලා තියනවා. මම එහි රංගනයට දායක වෙනවා. ඒ වගේම මායාදුන්න බණ්ඩාරගේ 'ගොම්මනේ අපි'
කියන ටෙලිනාට්‍යයට දායක වෙලා ඉන්නවා. තවත් නිර්මාණ දෙකක වැඩ මේ වනවිට බාරගෙන තිබෙනවා. ඉදිරියේදී ඒ නිර්මාණ දෙකටත් රංගනයෙන් දායක
වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිර්මාණවලිනුත් මාව ඉදිරියේදී දකින්න ලැබෙයි.
දර්ශන් වැඩි කැමැත්තක් දක්වන්නේ ටෙලිනාට්‍යවලටද? සිනමාවටද?
මේ වෙද්දි ටෙලිනාට්‍ය කිහිපයකට දායක වෙලා තිබෙනවා. නමුත් චිත්‍රපටවලට තමයි මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ. මම වැඩි වෙලාවක්
ෆිල්ම්වලට තමයි වෙන් කරලා තියෙන්නේ. ටෙලිනාට්‍යවලට දායක වුණාම රසිකයන් ටෙලිනාට්‍ය නළුවෙක් විදිහට මාව බාරගන්න පුළුවන්.
ටෙලිනාට්‍ය නළුවෙකුට වඩා චිත්‍රපට නළුවෙක් ලෙස රසිකයන් අතරට එන්න මම කැමතියි. මම සිනමාව ගැන ගොඩක් දේවල් ඉගෙනගන්නවා.
මම හිතනවා ඒ තුළ මට රංගනයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා.
දර්ශන් රංගනයට යොමුවුණේ ගොඩක් දුෂ්කරතා එක්ක. ඒ ආපු ගමන්මග ගැන දැන් හිතෙන්නේ?
ඔව්, මම ගොඩක් දුක් වින්දා. මම හිතන්නේ හැම මිනිහෙකුගෙම ජීවිතයට ඒ වගේ අවස්ථා ඕන. එහෙම දුක් විඳලා දෙයක් කරලා හැරිලා
බලද්දි මිනිස්සු නිහතමානී වෙනවා. මම කැමරාව ඉස්සරහ විතරයි නළුවෙක් වෙන්නේ. මම එහෙම කට්ටක් කාලා ආවේ. රංගන ශිල්පියෙක්
ගන්නවා කියලා ඉන්ටවීව් එකක් තිබ්බා, මම එයට ගියාම ඉන් සමත් වුණා. ඒක තමයි මගේ ආරම්භය. මම ගොඩක් හීන දැක්ක කෙනෙක්.
රංගනයට මම ගොඩක් ආසයි. අපි රක්වාන ගමේදී ෆිල්ම් හොයන් ඇවිත් බලනවා. අවස්ථා ලැබුණේ නැහැ. ඒත් සිනමාව ගැන අපි බොහෝ දේවල් කතා කළා.
රාත්රියේදී ඒ චිත්‍රපටයේ තිබුණ ජවනිකා මගේ මිතුරන් සමග රඟපානවා. ඒ වගේම සංගීතය අහන්නත් ඒ ගැන කතා කරන්නත් අපි යොමුවෙලා හිටියා.
මට ලැබෙන හැම අවස්ථාවකම උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කළේ. අවස්ථාව තමයි වැදගත්. එයින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි නිතරම උත්සාහ කළ යුත්තේ.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
දුලීකා අක්කා නිෂ්පාදනය කළ 'සුපර්ණා' චිත්‍රපටය මේ අවුරුද්දේ බලන්න පුළුවන්. ඒ වගේම දකුණු ඉන්දියාවේ සිනමා නිර්මාණ දෙක ඉදිරියේදී
බලන්න පුළුවන් වෙයි. මගේ ජීවිතයේ මට අත්හැරුණු දෙයක් තිබෙනවා. මම චිත්‍ර අඳින්න ආසයි. ඒ වගේම පිළිම හදන්නත් ආසයි.
මම රූගත කිරීම් නොමැති වෙලාවට ඒ නිර්මාණ කරන්නත් යොමු වෙනවා. ඒ වගේම ඒ නිර්මාණ අලෙවි වෙනවා. මම බොන්සායි පැළ වවන්න ආසයි.
මම ඒ පැළ පනහක් පමණ හදලා තියෙනවා. මම ඒ ගැනත් ඉගෙනගන්නවා. ඒ දේවල් කරනවා. මම රංගනය පිළිබඳ උගන්වනවා.
ගොඩක් ද්‍රවිඩ ළමයි සම්බන්ධ වෙන්නේ. මහේන්ද්‍ර පෙරේරාත් රංගනය ගැන උගන්නනවා. අපි මේ වනවිට සාකච්ඡා කරමින් ඉන්නේ
මේ ද්‍රවිඩ රංගනය ගැන ඉගෙනගන්න අය සහ සිංහල රංගනය ගැන ඉගෙනගන්න අය එකම තැනකට ගෙනැල්ලා මේ ඉගැන්වීම් සිදුකරන්න.
මම හිතන්නේ එය හොඳ දෙයක් වෙයි. ඒ වගේම මම හැමදෙනාටම කියන්නේ එක දෙයයි. සිහින දකින්න. එය අනාගතය වෙනුවෙන් යොදාගන්න
තමන් කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි. එය ජීවිතේ සාර්ථකත්වයකට මගපෙන්වයි.
නිඳුක් මධුෂීක