නිරූපණ ශිල්පිනී පියුමි ශ්‍රීනායක
ඇය ලංකාවේ සිටින නිරූපණ ශිල්පිනියන් අතර සරාගී නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට හේතුව පසුගිය දිනවල ඇය පෙනී සිටි Music videos ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වුණු නිසා. ඇය තමයි පියුමි ශ්‍රීනායක. ඒ ගැන මොනවද කියන්නේ කියලා අහන්න අපි පියුමිට කතා කළා.
පියුමි මේ දවස්වල අලුත් වැඩක දකින්න ලැබෙනවා?
ඔව්. සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ. ඒ මගේ තුන්වැනි ටෙලි නාට්‍ය නිර්මාණය.
ඔබ නිරූපණ ශිල්පිනියක්.
ඔව්. ගොඩක් අය කියන්නේ මට western look එකක් තියෙනවා කියලා. සරාගී නිරූපණ ශිල්පිනියක් විදියට තමා ගොඩක් අය මාව හඳුන්වන්නේ.
මේ Music videos නිසා පියුමිට සරාගී ලේබල් එක වැදුණා කිව්වොත්?
මෙහෙමයි. ඇත්තටම ඒ Music videos කරද්දී මම හිතුවා ලංකාවට ගැළපෙනවා කියලා. නමුත් අද තත්වය දකිද්දී මම ගොඩක් පසු තැවෙනවා ඒවගේ Music videos කරපු එක ගැන. මොකද මිනිස්සු බලන්නේ අපේ ඇඟ පෙන්නගෙන අපිව මාර්කට් කරලා ඒ ගොල්ලන්ගේ පොකට් එක පුරවා ගන්න. ඇත්තටම මේ දේ තේරුම් යද්දී මම ගොඩක් ප්‍රමාදයි.
ඇයි එහෙම කියන්නේ?
මොකද මට ඒ Music videos දෙක නිසා මාගේ චරිතෙට ලොකු හානියක් සිදුවුණා. ඒ වගේම ගොඩක් ලොකු වැඩ කොටසක් අතපසු වුණා. මාව ගොඩක් වැඩ වලින් රිජෙක්ට් වුණා. ඒක නිසා දැන් නැවතත් මගේ නම, හොඳ තත්වය හදාගෙන යනවා. ඒ මිනිස්සු අපේ මනස ඒ තත්වයට වෙනස් කරනවා. ඒ කියන්නේ අපිව අඩ නිරුවත් කරන තත්වයට වෙනස් කරලා අපේ මනස නොදැනුවත්වම ඒ තැනට ගේනවා. ඒ ගොල්ලන්ගේ මාකර්ටින් අරමුණ වෙනුවෙන් අපිව පාවිච්චි කරනවා.
ඔබ කියන දේ අද ඉන්න නිරූපණ ශිල්පිනියන් දන්නේ නැද්ද?
නැහැ. ලංකාවේ හැම නිරූපණ ශිල්පිනියක්ම වගේ ඒ ගැන නොදැන දැනටත් ඒ අගාධයට වැටිලා තියෙනවා. මම ඉල්ලන්නේ ඒ වගේ අගාධයකට යන්න එපා. තාමත් ශ්‍රී ලංකාවේ තාක්ෂණය අතින්වත් ඒවගේ තැනක නැහැ. මොකද අපේ අධ්‍යක්ෂකවරු බලන්නේ අපේ නිරුවත පෙන්නලා මාර්කට් එකක් ගන්න. කිසිම කලාත්මක බවක් මම ඒ නිර්මාණ තුළ නම් දකින්නේ නැහැ.
ඒ දවස්වල ඔබ එවැනි නිර්මාණ පිළිබඳව මොනවගේ අදහසක්ද තිබුණේ?
ඒ දවස්වල මගේ මනස තිබුණේ ඒ වගේ නිර්මාණ හොඳයි කියලා. නමුත් මම ආපසු හැරිලා බලද්දී , සමාජයේ මිනිස්සුත් එක්ක ගැටෙද්දී, මිනිස්සු ආශ්‍රය කරද්දී ඒ මිනිස්සුන් කියන කතා එක්ක මොනවගේ පහත් තැනකද ඉන්නේ කියලා මටම ලැජ්ජා හිතුණා. දැන් මම ඒ ගැන ගොඩක් පසුතැවෙනවා. ඒ දේ නොකෙරුවා නම් හොඳයි කියලා මට හිතෙනවා.
ප්‍රසිද්ධිය සහ ලැබෙන මුදල මත ද ඔබ එවැනි නිර්මාණ සඳහා දායක වුණේ?
මම හිතුවේ සමාජයේ ලොකු වැඩක් කරන්න පුළුවන් වෙයි. අපි හිට් වෙයි කියන දේ නිසයි එවැනි නිර්මාණ සඳහා දායක වුණේ. ඇත්තටම නිර්මාණය කරන්න කලින් අධ්‍යක්ෂකවරු කියන්නේ එකක් කරන්නේ තව එකක්. ක්ලියෝපැට්රා මම කරන්න ගියාට පස්සේ ඒ අය බලහත්කාරයෙන් තමා ඒ වගේ දේවල් කරගන්නේ අපෙන්. ඇඟ පෙන්වන්නේ නැහැ පිට විතරයි පෙන්වන්නේ කියලා අරගෙන අන්තිමට ඒ අය සුක්ෂම විදියට අපිව හසුරවනවා. මම හිතුවේ මට මේ දේ තුළින් හොඳ ජනප්‍රියත්වයක් ලැබෙයි කියලා. නමුත් අන්තිමට ලැබුණේ ජනප්‍රියත්වයක් නෙමෙයි ප්‍රසිද්ධියක් විතරයි. මම ඒ ගැන කතා කරන්නවත් කැමැති නැහැ නැවත එවැනි කිසිම නිර්මාණයක දායක වෙන්නේ නැහැ. හොඳ නිර්මාණ විතරයි භාර ගන්නේ.
ලංකාවට අද එවැනි Music video ඕනද?
ලංකාව කියන්නේ සංස්කෘතිය ආරක්ෂා කරන රටක්. ඒ නිසා එවැනි Music videos ලංකාවේ කරන්නේ නම් ජනතාව ඒ වෙනුවෙන් පහර ගහනවා කියලා මට හිතෙනවා. අත්දැකීමෙන් මම ඒ දේ කියන්නේ.
පියුමි ඔබ දැන් අතීතය ගැන ගොඩක් පසු තැවෙන කෙනෙක්.
ඔව්. ගොඩක් පසු තැවෙනවා. මම හොඳට මට්ටු වුණා.
නිලුපුලි සඳකැලුම් -රසඳුන