සුදත් දේවප්‍රියගේ “අඹ යාළුවෝ” ටෙලි නාට්‍ය ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය වංශකතාව තුළ කාගේත් මතකයේ රැඳුණු ටෙලි නාට්‍යයක්. “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යය තුළින් අප හමු වූ “නපුරු මෛත්‍රී” ගැනත් මේ නිසාම බොහෝ දෙනෙක් දන්නවා. එම චරිතය තුළින් ළමා නිළියක් විදියට ක්ෂේත්රයට පැමිණි අසන්ති නාලිකා ඉන් පසුවත් දිගින් දිගටම ටෙලි නාට්‍ය ක්ෂේත්රය තුළ රැඳී හිටියා. ඔය අතරේ ඇය නර්තන ශිල්පිනියක් විදියටත් ක්ෂේත්රය තුළ නමක් දිනාගත්තා. ඒත් අද වන විට අසන්ති සම්පූර්ණයෙන්ම කලාවෙන් බැහැර වෙලා වෙනස්ම විදියේ ජීවන රටාවකට යොමු වෙලයි ඉන්නේ.
අඹ යාළුවෝ” තුළින් ළමා නිළියක් විදියට ඇවිත් වැඩිහිටි චරිතවලටත් එක්වූ අසන්ති අවසන් වරට රඟපෑ නිර්මාණ මොනවාද?
2006 දී “වසූදා” ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඉන්පසුව 2015 දී විතර “සුජාතා” ටෙලි නාට්‍යයේ රඟපෑවා.
ඊට පස්සේ රඟපෑම සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?
දැනටත් ආරාධනා ලැබෙනවා. ඒත් මම දැන් සම්පූර්ණයෙන්ම කලාවෙන් ඈත්වෙලයි ඉන්නේ.
එතකොට ඔබේ නර්තන කණ්ඩායම?
“අසන්ති නාලිකා රංගායතනය වසා දැමුවා.” මම නර්තනයෙන් සහමුලින්ම ඉවත් වුණා. මගෙන් නර්තනය හැදෑරූ ගෝලබාලයෝ අද නර්තන ගුරුවරු වෙලා ඉන්නවා.
අසන්තිගේ සැමියා සහ දරුවන්ගේ තොරතුරු?
ඒ අය සුපුරුදු කටයුතුවල යෙදෙනවා. සැමියා ලලන්ත සංගීත කණ්ඩායමක් කරගෙන යනවා. පුතා විශ්ව. දැන් උසස් පෙළ හදාරනවා. දුව ශාරදාට දැන් වයස 10යි.
එතකොට අසන්ති?
මම මගේ වර්තමාන ජීවිතය තුළ ඉන්නවා. මේ කටයුතුවලට වෙලාවක් නැහැනේ. දහවල, මධ්‍යම රාත්‍රිය වගේම අලුයම් කාලයත් මට මගේ කටයුතුවල යෙදෙන්නට සිදුවනවා. ඒ හින්දා පැය 24ම ගෙදර තමයි ඉන්න වෙන්නේ. ගෙදරින් පිට යන්නේ මගේ සේවය අවශ්‍යම වෙන කටයුත්තකට විතරයි.
සම්පූර්ණයෙන්ම කලාවෙන් බැහැර වෙලා අසන්ති ගෙවන නව ජීවිතය මොකක්ද කියලා දැනගන්න දැන් රසිකයෝ කුතුහලයෙන් බලාගෙන ඇති?
මම දැන් දේව වරමකින් ගුප්ත විද්‍යාත්මක කටයුතු කරනවා. ශාස්ත්‍ර කීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු වගේම අධි මානසික බලයෙන් මිනිසුන් සුවපත් කිරීමේ කටයුතුත් කරනවා.
හිටිහැටියේ මේ වගේ දේකට යොමුවුණේ ඇයි...
ගොඩක් අය ඔය ප්‍රශ්නෙ මගෙන් අහනවා. හිටිහැටියේ එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. අවුරුද 16 දී තමයි මුලින්ම මා සතුව ඇති ශක්තිය ගැන ඉඟියක් දැනුණේ. නමුත් එදා මට එය හරියට අඳුනාගන්න බැරි වුණා. මට එය කියාදෙන්න ගුරුවරයෙක් හිටියෙත් නැහැ. ඒ හින්දා ඉබේම යටපත් වුණා.
ඉබේ යටපත් වූ දෙය යළි මතු වුණේ කොහොමද?
කලාවේ යෙදෙනකොට කොහොමත් සරස්වතී මෑණියන් වඳිනවනේ. එතකොට තමයි ආයෙම මේ තත්ත්වය මතු වුණේ. මේ වතාවේ මට නිසි මග කියාදෙන ගුරුවරයෙක් හිටියා.
කවුද ඒ?
එතුමා භාවනානුයෝගීව මනස දියුණු කරලා හිමාලයේ සෘෂිවරු සමග පවා මනසින් ගනුදෙනු කරන කෙනෙක්. එතුමා කැමති නැහැ ප්‍රසිද්ධ මාධ්‍යය තුළ එතුමාගේ නම ප්‍රසිද්ධ කරනවාට.
ඔබත් දැන් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලාද ඉන්නේ?
මම ගුප්ත දේවල් ගොඩාක් කරනවා. දේව වරමින් වගේම ආධ්‍යාත්මික බලය තුළින් ඒ දේවල් කරන්නේ. ඒ ගැන වැඩි විස්තර කියන්න මම කැමති නැහැ.
ආරියවංශ කුලතිලක