ජනප්‍රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි තමන් කැමති, අකමැති දේ ගැන සතිඅග පුවත්පතකට මෙසේ සිය අදහස් දක්වා තිබුණි.
- හොඳම චිත්‍රපටය
මම බලපු හොඳම චිත්‍රපටය ලෙස නම් කළ හැක්කේ Black Swan කියන චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය විශාල සම්මාන ප්‍රමාණයක් හිමි කරගත්තා පමණක් නොව එහි රංගනයේ යෙදුන නිළියගේ විශිෂ්ට ප්‍රතිභාව මා සිත මොහොතකට නතර කිරීමට සමත් වූවා. මේ චිත්‍රපටය පුරාම පුදුමාකාර 'ගුප්ත' භාවයකුත් දක්නට ලැබෙනවා. සිනමා ශිල්පිනියකගේ මානසික මට්ටම පිළිබඳව මෙන්ම නිර්මාණයක් සමග අපි කොයි තරම් නම් අතරමං වෙනවාද කියලත් ඒ තුළින් පෙන්වා දෙනවා. මමත් නර්තන ශිල්පිනියක් නිසා මගේ සිත එක් වරම පැහැර ගැනීමට එම සිනමා පටය සමත් වුණා.
නරකම චිත්‍රපටය
මේ චිත්‍රපටය පසුගිය කාලයේ අපේ රටේ තිරගත වූ චිත්‍රපටයක්. අපි ප්‍රවීණයි කියා හඳුන්වන බොහෝ ජනප්‍රිය නළුවෙකුගේ චිත්‍රපටයක්. විදේශීය නිළියකුත් මෙයට රංගනයෙන් දායක වුණා. කේබල් තාක්ෂණය උපයෝගී කොටගෙන තිබුණත් තාක්ෂණික පැත්ත හරිම විහිළුවක් විදියටයි මම දැක්කේ. විකාර ඝෝෂාකාරී චිත්‍රපටයක් විතරක් නමෛයි, සරං කඩාගෙන විකාර විහිළු කරපු නරකම චිත්‍රපටයක් විදියටයි මම එය දැක්කේ.
- හොඳම ටෙලි නාට්‍ය
මේ දවස්වල විකාශය වන කූඹියෝ කියන ටෙලි නාට්‍යය තමයි ඒ. එම ටෙලි නාට්‍යයේ වේෂ නිරූපණය මෙන්ම කැමරාකරණයද අති විශිෂ්ටයි. එහි අධ්‍යක්ෂකවරයා වෙළෙඳ දැන්වීම් අතින් ඉහළින්ම ඉන්න කෙනෙක්. ඒ ප්‍රමිතිය මේ ටෙලි නාට්‍යය තුළත් දැකිය හැකියි. කූඹියෝ ඉතා තාත්වික ලෙස නිර්මාණය කළ මෑත කාලයේ මා දුටු හොඳම ටෙලි නාට්‍යයයි.
නරකම ටෙලි නාට්‍ය
අපේ රටේ නිර්මාණය කරන මෙගා ටෙලි නාට්‍ය සියල්ලම නරකම ටෙලි නාට්‍ය විදියටයි මා දකින්නේ. ඉන්දියාව ඇමෙරිකාව වගේ රටවලත් මෙගා ටෙලි නාට්‍යය නිර්මාණය වෙනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ ප්‍රමිතිය එලෙසින්ම තබා ගන්නවා. නමුත් අපේ රටේ එහෙම නෑ. කැමරා කෝණ විතරක් නමෛයි රඟපෑමත් හරිම සවුත්තුයි.
- හොඳම ගායකයා
කීර්ති පැස්කුවල්. මම පුංචි කාලේ සිටම ඔහුගේ ගීත වලට කැමතියි. ප්‍රේක්ෂකයින්ගේ සිතට බොහෝම ලෙන්ගතු හැඟීමක් ඇති කිරීමට සමත් ප්‍රසන්න පුද්ගලයෙක් තමයි ඔහු. එතුමාගේ ජීවිතය ඇතුළ බලන්න බලන්න අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. ආදර්ශමත් චරිතයක්. ඒ වගේම කඩවසම් පුද්ගලයෙක්.
නරකම ගායකයා
යක්ෂයින් අදහන පුද්ගලයින්ට මම කැමති නැහැ. කලාව කියන්නේ දෙවියන් විසින් ලබා දුන් ත්‍යාගයක් ලෙසයි මම දකින්නේ. Hevy Metal ගීතවලට මම කොහෙත්ම කැමති නැහැ. බොහෝ විට එවැනි ගීත ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් යක්ෂයින්වයි අදහන්නේ. යක්ෂයින් වෙනුවෙනුයි එම ගී ගයන්නේ.
- හොඳම ගීතය
කසුන් කල්හාරගේ සඳ සඳ වගේ කියන ගීතය. ජීවිතේ කියන්නේ හරිම සරල දෙයක්. ඒ ගීතයත් හරිම සරලයි. මිනිස්සුන්ට බොහෝ විට තමන්ගේ ජීවිතය සරලව ගත කරන්න පුළුවන්. ඒත් මිනිස්සු බොහෝ විට තමන්ගේ ජීවිත සංකීර්ණ කර ගන්නවා. මේ ගීතය තුළින් අපිට ජීවිතේ පිළිබඳව සරලව කියා දෙනවා.
නරකම ගීතය
මම සාමාන්‍යයෙන් නරක දේවල් මතක තබාගන්නේ නැහැ. සනත් නන්දසිරි මහතාට මම කිසිම අගෞරවයක් කිරීමට කැමැත්තක් නැහැ. එතුමා කරන්නේ නිර්මාණයක් ඉදිරිපත් කිරීම පමණයි. වරදක් කළත් සිතකින් නොවේ කියන මෝඩ ගීතයට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක හරිම ගොන් නිර්මාණයක්. නිර්මාණ කිරීමේ නිදහසට මම ගෞරව කරනවා. හැබැයි අපේ වගේ ගොන් මානසිකත්වයක් ප්රබලව තිබෙන බහුතරයක් ඉන්න සමාජයක් තුළ අනියම් සම්බන්ධයක් පිළිබඳවයි මේ ගීතයෙන් කියවෙන්නේ. එම ගීතය වැරදි ආකාරයට පාවිච්චි කරනවාත් මම දැකලා තිබෙනවා. සමාජයේ විවිධ අපචාර වැඩි වී තිබෙන යුගයක මෙවැනි ගීත නිර්මාණය වීම සමාජයට කරන ලොකු හානියක් විදියටයි මම දකින්නේ. කලාකරුවා මානව සමාජයට දැඩි බලපෑමක් කරනවා කියන එකට හොඳම උදාහරණය තමයි මම. මම පාර්ලිමේන්තුවට ගියේ මගේ කලාව හේතුවෙන්. මිනිසුන් මාව හඳුනාගත්තේ මගේ රංගනය නිසා. කලාවේ තිබෙන බලපෑම පිළිබඳව මේ වගේ ප්‍රායෝගික සිදුවීම්වලින් හොඳින් වටහාගන්න පුළුවන්. දැන් සමාජයට මේ වගේ ගීත හරියන්නේ නැහැ. ඉස්සර සීගිරි බිතු සිතුවම්වල කාන්තාවන් අඩ නිරුවතින් සිටියා කියා බලපෑමක් වුණේ නැහැ. නමුත් දැන් මේ රටේ ගැහැනියක් අඩ නිරුවතින් සැරසී සිටියොත් ඇයට පහර කෑමට මෙන්ම ගණිකාවක් යැයි පරිභවයන්ට ලක්වීමටද සිදුවනවා. මේ ගීතයත් එවැනි දෙයක්. වර්තමාන සමාජයට එය කොහෙත්ම ඔබින ගීතයක් නොවෙයි.
- හොඳම ක්‍රීඩකයා
කුමාර් සංගක්කාර ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. ඔහු මේ වන විට සමාජ සත්කාරයන් විශාල ප්‍රමාණයකට සිය දායකත්වය සපයා තිබෙනවා. ඔහු හරිම කඩවසම්. ඒ වගේම විලාසිතා වලට උචිත කෙනෙක් විලාසිතා කළත් එය ඔහුට උචිත, ඔබින ආකාරයටයි ඔහු එය කරන්නේ.
නරකම ක්‍රීඩකයා
ඔහුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම තමයි. නම නම් කියන්න බැහැ. විලාසිතාව සුදුසු නැති විදියට කරන ඔහු විකෘතිම පසුබිමකින් එන ක්‍රීඩකයෙක්. විනය කියන දේ දන්නෙවත් නැති පොඩි දෙයටත් ඉතා තදින් කේන්ති ගන්නා ඔහු මුදලට ඉතා ලැදි ක්‍රීඩකයෙක්.
- හොඳම දේශපාලනඥයා
මොහාන් ලාල් ග්‍රේරු. ඔහු ඉංජිනේරුවරයෙක්. ඔහුගේ දැනුමෙන් අපි තවම හරි හමන් වැඩක් කරගෙන නැහැ කියන කනගාටුවත් මගේ හිතේ තිබෙනවා. ඔහු අධ්‍යාපන ක්ෂේත්රයට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. බොහෝම අවංක අව්‍යාජ පුද්ගලයෙක් තමයි ඔහු. එතුමාගේ ජීවිතයත් හරිම සමබරයි. ඒ වගේම එතුමාට හොඳට පීනන්නත් පුළුවන්. ඔහු කොතරම් වයසට ගියත් පිහිනීමේ පුරුද්ද අතහැරලා නැහැ. තමන්ගේ දරුවන්ට වගේම බිරිඳට ඉතා හොඳින් සලකන සර්ව සම්පූර්ණ දේශපාලනඥයෙක් තමයි එතුමා.
නරකම දේශපාලනඥයා
නම නම් කියන්න බැහැ. හරියට කියවන ඇපෙන් බේරෙන්න වැඩ කරන පුද්ගලයෙක් තමයි ඔහු. විමධ්‍යගත අරමුදලෙන් අවශ්‍ය වැඩ කටයුතුවලට මුදල් වැය නොකර ජාමේ බේරගන්න පමණක් වැඩ කරනවා. ඒවා මහජනතාවගේ මුදල්. ඒකෙනුත් කොමිස් ගහගන්නවා. වාචාලකම ඉතා වැඩියි. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 250යින් 150ක් විතරම ඔය ජාතියේ අය තමයි ඉන්නේ.
- හොඳම ඇගයීම
මම අව්‍යාජයි කියා කවුරුහරි මට කියනවා නම් ඒක තමයි මම වැඩියෙන්ම අගයන්නේ. අපි මුදලට යනවා කියනවා. අපි ආඩම්බරයි කියනවා. කිසිම හැදියාවක් නැති අය කියලා කියනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයේ ගොසිප් පළ කරන අයගේ වැඩේම අපිට මඩ ගහන එකයි. පසුගිය දවසක කුමාර තිරිමාදුර මම ගැන හොඳ ඇගයීමක් කළා මගේම ළඟම හිතවතෙක් එක් වරක් මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ල කළා මා ඉදිරියේදීම. ඒ අවස්ථාවේදීම කුමාර අයියා කිව්වා අපි මේ කෙල්ලව අවුරුදු ගාණක් තිස්සේ දන්නේ එයාට එහෙම කියන්න එපා කියලා හරිම තරහෙන් ඒ පුද්ගලයාට කිව්වා.
නරකම ඇගයීම
එක රියැලිටි තරගයකදී විනිශ්චය කිරීමට හිටිය පුද්ගලයා බොහෝම ජනප්‍රියයි. ලේඛකයෙක්. ඒ වගේම සිංහල ගුරුවරයෙක්. ඔහු මාව කිසිම හැදියාවක් නැති කිසිම සිහි කල්පනාවක් නැති තැනැත්තියක් විදියටයි හැඳින්වූයේ. ඔහු එයට ඉතාමත්ම පහත් වචනයක්ද පාවිච්චි කළා. ඔහුගේ ඒ කතාවෙන් පසුව මට මගේ ඉදිරි රංගනයන් කරගෙන යාමටත් නොහැකි තරමටම මම මානසිකව බින්දුවටම වැටුණා.
- හොඳම පුරුද්ද
මම ඕනෑම වැඩක් පටන් ගත්තාම මට එය හරියටම කරගෙන යාමට අවශ්‍ය වෙනවා. ඒ නිසා මට මගේ වෘත්තීමය ජීවිතේදී කිසි කරදරයකට හිරිහැරයකට මුහුණ දීමට සිදුවෙලා නැහැ. එයට හේතුව මා දකින්නේ මගේ හොඳ පුරුදු හා වෙලාවට මගේ රාජකාරියේ යෙදීම කියා මා සිතනවා.
නරකම පුරුද්ද
මිනිසුන් වුණාම ඒ අයගෙන් විවිධ අඩුපාඩු සිදුවනවා. නමුත් එවැනි අඩුපාඩු හා වැරදි වුණ පුද්ගලයන් සමග නැවත ගනුදෙනු කිරීමට හෝ යාළු මිත්‍රකම් තබා ගැනීමට මම කැමති නැහැ. ඒක තමයි මගේ ජිවිතේ තිබෙන නරකම පුරුද්ද.
- හොඳම යාළුවා
මට ගොඩාක් යාළුවෝ නැහැ. පුංචි කාලේ ඉඳලම මට වැඩිය යාළුවෝ ඉඳලත් නැහැ. දැනට වුණත් මගේ යහළුවන් වන්නේ ඩයනා, නිරෝෂා පෙරේරා, යුරේනි නොෂිකා, ආදී අයයි.
නරකම යාළුවා
යාළුවෝ කොහොමද නරක් වෙන්නේ. නමුත් මට වැඩිය යාළුවෝ නැති නිසා එහෙම නරකයි කියලා කෙනෙක් හමු වෙලා නැහැ. මට නරකයි කියලා හිතෙන අයගෙන් මම ඈත් වෙනවා.
- හොඳම මතකය
එතකොට මට වයස අවුරුදු 16ක් විතර ඇති. සාමාන්‍ය පෙළ ලියලා දීර්ඝ නිවාඩුවක් ලැබුණු කාලයකදී මම ටිකටින් කෝස් එකක් කළා. කෝස් එක ඉවර වෙනවත් එක්කම මට ඒ අංශයේම රැකියාවක් ලැබුණා. නමුත් මම ඒ රැකියාවට ගියේ නැහැ. නමුත් මගේ ජීවිතයේ ලස්සනටම ගෙවුණු දවස් විදියට ඒ ටිකටින් කෝස් එක කරපු කාලය මතකයේ රැඳී තිබෙනවා.
නරකම මතකය
අම්මා මාව හොස්ටල් එකක නවතා රටින් පිටවුණ දවස මගේ ජීවිතේ නරකම මතකයක් වශයෙන් ඉතිරිව තිබෙනවා.
ශිරෝනි ග්‍රේරෝ
ලක්බිම