ඕනෑම දෙයකට ඉදිරිපත් වෙන මෙලෝ යකෙකුට බයනැති බොහොම නිර්භීත අයත් සමහර විට සමහර දේවල්වලට බයයි. මගෙනුත් කවුරුහරි ඇහුවොත් වැඩියෙන්ම බය මොනවටද කියලා මට කියන්න තියෙන්නේ ගොඩක් දෙනෙක් දෙන උත්තරයට වඩා වෙනස් විදියේ උත්තරයක්. “කාටවත් නොකී රහසක්” හෙළි කරන්න කියලා කිව්වාම මට උත්තරයක් විදියට දෙන්න තියෙන්නේත් මේ කියන කාරණය තමයි.
මෙන්න මේකයි මම කාටවත් නොකී රහස. මම වැඩියෙන්ම බය මොනවටද දන්නවාද? ඒ තමයි සීතලට. ඇත්තටම මට නුවරඑළිය වගේ සීතල පරිසරයක රූපගත කිරීමකට යන එකත් පුදුමාකාර බයක්.
මම මේ විදියට සීතලට බයවීමට විශේෂ හේතුවක් තියෙනවා. මට පපුවේ හතිය තියෙනවා. සීතල වැඩි වුණ හැටියෙම මගේ ලෙඩෙත් වැඩිවෙනවා. ඔන්න ඔය හින්දයි මම සීතලට බය.
මේ හින්දම අපූරු දේවල් රාශියක් මගේ ජීවිතයට සිදු වෙලා තියෙනවා. මට වයස 8දී විතර අපේ පවුලේ අය නුවරඑළි ගියා. ඒ විනෝද ගමනකට. ඔය වයසේදී ඉතින් පවුලේ අය ට්‍රිප් එකක් යනවා කිව්වම ආයේ ඉතින් ඒ ගමන යන්නේ පුදුම සතුටකින්නේ. මමත් ගමනට සූදානම් වුණේ දවස් ගණනාවක ඉඳලා. දැන් ඉතින් ඔන්න කට්ටිය නුවරඑළියට ගියා. හැබැයි මාව ගට ගට ගාලා ගැහෙන්න පටන් ගත්තා. මගේ අසනීප තත්ත්වය වැඩි වෙලා මාව රෝහල් ගත කරන්නයි අන්තිමට සිදුවුණේ. අම්මල තාත්තලටත් ගමන නොයා රෝහලට වෙලා ඉන්න වුණා.
නළුවෙක් වුණාට පස්සේ මම මේ වෙනකොට ටෙලි නාට්‍ය, චිත්‍රපට විශාල ප්‍රමාණයක රඟපාලා තියෙනවා. ඒත් දැනට නුවරඑළියේ රූගත කිරීම් දෙකකට විතරයි සහභාගි වෙලා තියෙන්නේ. ඒකත් ටෙලි නාට්‍යයක තේමා ගීතයක්. අනෙක මෑතකදී කළ නවතම ටෙලි නාට්‍යයක්.
ටෙලි නාට්‍ය තේමා ගීතයට නම් දවස් දෙකක් තුනක් විතරනේ යන්නේ. ඒත් ටෙලි නාට්‍යයට නම් දවස් ගණනක් ෂූටිං තිබුණා. මම ඒ දවස් කිහිපය ගතකළේ බෑග් එකේ තිබුණු ඔක්කොම ඇඳුම් ඇඳගෙනයි. මම එක පිට එක ඇඳුම් 10ක් වත් අඳිනවා. ඒ ටෙලි නාට්‍යයේ මම රඟපෑවේ මුස්ලිම් තරුණයකු විදියට. සාමාන්‍ය විදියට අත්කොට කමිසය තමයි මම එම චරිතය වෙනුවෙන් අඳින්නේ. ඉතින් මම කරන්නේ ටෙලි නාට්‍යයට අවශ්‍ය ඇඳුම ඇඳලා ඊට පස්සේ ඊට උඩින් ඇඳුම් 10ක් විතර ඇඳගෙන ඉන්න එක. දර්ශනය රූගත කරන්න සූදානම් වෙද්දී අර ඇඳුම් ටික ගලවලා එතැන ඉන්න කෙනෙකුගේ අතට දීලා තමයි මම සීන් එකට යන්නේ. කට් කිව්ව හැටියේ කරන්නේ ආයෙම අර ඇඳුම් ටික ඇඳගන්න එකයි. ඒත් මට දැනෙනවා මාව කට කට ගාලා ගැහෙනවා.
කොහොම හරි මම සීතලට තියෙන මේ බය හින්දම නුවරඑළිය ප්‍රදේශයේ රූගත කරන්න තියෙන ටෙලි නාට්‍ය හතරක් පහක් විතර ප්‍රතික්ෂේප කළා කිව්වොත් ඔයා වුණත් විශ්වාස කරන එකක් නැහැ.
ආරියවංශ කුලතිලක