චන්ද්‍රා කළුආරච්චි නම් වූ ප්‍රවීණ රංගන ශිල්පිනිය මෑතකදී කලා නිර්මාණවලින් වැඩිපුර දැකගන්නට නොලැබුණත්, ඒ නම ඇසූ පමණින් ඇයගේ රුව පැහැදිලිව මතකයට නගා ගැනීම පාඨක ඔබට අපහසු වෙන එකක් නැහැ. මොකද ඇය 50 වසරකට වැඩි කාලයක් තිස්සේ සිනමාව, වේදිකාව සහ පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වය ඔස්සේම සිය අනන්‍යතාවය ප්‍රේක්ෂකයන්ගේ මනසෙහි තදින්ම සනිටුහන් වන ආකාරයේ රංගන ප්‍රතිභාවක් ප්‍රකට කළ රංගන ශිල්පිනියක්. ඊයේ (17) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු, සිය ආදරණීය සැමියා වන ප්‍රවීණ සංගීතඥ ලක්ෂ්මන් විජේසේකරගේ සඳ කිනිති නම් ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගයේ වැඩකටයුතු වෙනුවෙන් කාර්යබහුල වී සිටියදීයි චන්ද්‍රා කලකට පසුවයි මෙවැනි සංවාදයකට එක්කාසු වුණේ.
පසුගිය දිනවල ඔබට සෑහෙන වැඩකටයුතු තියෙන්න ඇති නේද?
අනේ ඔව්. පසුගිය කාලේ දිගටම ලක්ෂ්මන්ගේ ප්‍රසංගයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා හිටපු නිසා කාලය ගත වුණා. දැනුණේවත් නැහැ. ලක්ෂ්මන්ගේ පළමුවෙනි ඒක පුද්ගල ප්‍රසංගය නිසා ඒක අඩුපාඩුවකින් තොරව කරන්න අපි හුඟක් වෙහෙස මහන්සි වුණා.
ලක්ෂ්මන් විජේසේකර කියන්නේ දශක ගණනාවක් ක්ෂේත්රයේ රැඳී හිටපු ප්‍රවීණ සංගීතඥයෙක්. ඉතින්, මේ විදිහේ ප්‍රසංගයක් පවත්වමු කියලා බිරිඳ විදිහට ඔබ මීට කලින් යෝජනා කරලා තිබුණේ නැද්ද?
මම එහෙම කියලා තිබුණා. ඒත් එයා වෙනස්ම විදිහකට හිතන කෙනෙක්. එයාගේ 70 වැනි උපන්දිනය යෙදිලා තිබුණේ මේ මාසේ 14 වැනිදාටයි. මෙදා පාරත් දුවයි පුතයි පෙරැත්ත කරපු නිසායි ලක්ෂ්මන් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න කැමැති වුණේ. තාත්තාට තියෙන්නේ එදාට සින්දු කියන්න විතරයි. අනික් හැමදේම අපි බලාගන්නම් කියලා තමයි දුවයි පුතයි කිව්වේ.
චන්ද්‍රා කළුආරච්චි කියන ප්‍රවීණ නිළිය දැන් කලා නිර්මාණවලින් දකින්නට නැත්තේ ඇයි කියන ගැටලුව බොහෝ දෙනාගේ සිත්වල තියෙනවා. මොකද ඔබට ඔවුන් වෙනුවෙන් දෙන්නට තිබෙන පිළිතුර?
පසුගිය කාලයේ මගේ කකුලක පොඩි ආබාධයක් ඇති වුණා. ඒ නිසාත් ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියා. දැන්නම් ඒ ආබාධය සුවයි. හැබැයි මම රංගනයෙන් ටිකෙන් ටික ඈත් වෙන්න බලපෑ ප්‍රධානතම හේතුව ඒක නෙවෙයි. දැන් තිබෙන මෙගා නාට්‍ය රැල්ලට මගේ තිබෙන අකමැත්ත නිසා තමයි මම මේ වෙනකොට ටෙලි නාට්‍ය කලාවෙන් ඈත් වෙලා ඉන්නේ.
එවැනි නිර්මාණ සඳහා ඔබට අදටත් ආරාධනා ලැබෙනවා ඇති?
අපොයි ඔව්. දැනටමත් මට ඒ වගේ ආරාධනා ලැබෙනවා. ඒත් මීට මාස දෙකකට විතර කලින් විකාශය වුණු පෝය නාට්‍යයකට විතරයි මම මෑතකදී රංගනයෙන් දායක වුණේ. මොකද කිසිම අර්ථයක් නැති කතා තමයි මෙගා නාට්‍යවල තියෙන්නේ. ඉස්සර නම් ටෙලි නාට්‍යයක රඟපාලා ගෙදර ආවාම අපි හරිම තෘප්තියකිනුයි ඉන්නේ. හැබැයි දැන් මෙගා නාට්‍යයක රඟපාලා ආවොත් මානසිකව කඩා වැටිලා තමයි ඉන්න වෙන්නේ. ඒවා අපේ වයසට ඔරොත්තු දෙන්නේ නැහැ.
ඒ කාලයේ ඉඳන්ම නිළියක විදිහට ඔබට ලැබුණු බොහෝ චරිතවල එක්තරා පොදු ලක්ෂණයකුත් තිබුණා නේද?
ඒක ඇත්ත. වේදිකාව, සිනමාව හෝ ටෙලි නාට්‍ය කියන මොන මාධ්‍යයක රඟපෑවත් මට එදා ඉඳන්ම මගේ වයසට වඩා වැඩිහිටි චරිත තමයි වැඩිපුරම ලැබුණේ. ඉස්සර මට මතකයි, ගාමිණී ෆොන්සේකා මට වඩා වැඩිමහල් වුණත්, මම ඔහුගේ අම්මා විදිහට තමයි චිත්‍රපටවලදී රඟපෑවේ. හොඳම සිදුවීම තමයි, මට වයස අවුරුදු 18 දී මම රඟපෑ මුල්ම වේදිකා නාට්‍යයේදීත් මට ලැබුණේ වයස අවුරුදු 90ක ආච්චි කෙනෙකුගේ චරිතයක්.
ඔබේ සැමියා කලාකරුවෙක් විදිහට මෑත කාලයේදීත් ඇතැම් විට දේශපාලන කටයුතුවලට මැදිහත් වුණා. ඒ පිළිබඳ ඔබේ විරෝධයක් තිබුණේ නැද්ද?
එහෙම අකමැත්තක් තිබුණේ නැහැ. මොකද දේශපාලන කටයුතුවලට මගෙත් කැමැත්තක් තිබුණා. හැබැයි දැන්නම් අපි ඒවායින් ටිකක් ඈත් වෙලයි ඉන්නේ.
කිෂාන් කනංකෙ