මම කොළඹින් එපිට රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන කියන ප්‍රදේශයේ ඉපදුනු කෙනෙක්. මම ගමෙන් කොළඹ ආවේ නළුවෙක් වෙන්න හිතාගෙනයි. ඒ 1998දී. හැබැයි ඉතින් මම ප්‍රාර්ථනා කරපු ලෝකය කොළඹ ආපු හැටියෙම ගොඩනැගුනේ නම් නැහැ. ඒ ලෝකය ගොඩනගා ගන්න මට සෑහෙන්න දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණා. ඒ කාලය තුළ වූ දෙයක් තමයි මම අද කාටවත් නොකී රහසක් විදියට කියන්නේ.
ගෙදර ඉන්න කාලේ මම බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවපු කාලයක් තිබුණා. ඒ කාලෙදි ඉතින් කන්නෙ බොන්නෙ අම්මා හදලා දෙන කෑම බිම. ඒත් කොළඹ ආවාම එහෙම බැහැ. මුල්ම කාලේ කෑවේ, බිවේ කඩවල්වලින්. ඒත් ආර්ථික ගැටලු එක්ක මට උයාගෙන කන්න සිදු වුණා. බෝඩිං කාමරවල නතරවෙලා උයා පිහාගෙන කනකොට මට රසට කෑම හදන්න ඉබේම පුරුදු වුණා. මගේ ගැන ගොඩක් දෙනෙක් නොදන්න රහස තමයි මට බොහොම රසට උයන්න පුළුවන් කියන එක.
කාලෙත් එක්ක මම ආර්ථිකය සවිමත් කරගෙන බොරැල්ලේ මගේම තෝසේ කඩයක් දැම්මා. ඒක කරගෙන යන්න සේවකයෝ දාලා තමයි මම රූගත කිරීම්වලට ගියේ. කඩේ උයන්න පිහන්න සේවකයෝ හිටියට ඒ අයට ආහාර වට්ටෝරුව දෙන්නේ මමයි.
කොහොම හරි ඉතින් මම ඉඳහිට ගමේ ගිය වෙලාවට මගේ අතින් කෑම වේලක් හදලා අනිත් අයට කන්න දෙන එක තමයි මගේ ලොකුම ආශාව. බිරිඳත් බලාගෙන ඉන්නේ මම ෂුටිං නැතුව ගෙදර එනකල්. මොකද මම ගෙදර ආ හැටියේ කුස්සිය බාර ගන්නවානේ. සාමාන්‍යයෙන් කෑම හදන කෙනෙකුට ප්‍රමාණයෙන් අඩු කෑම හදන එකට වඩා ඒ රසය ඒ විදියටම රැකගෙන විශාල පිරිසකට කෑම හදන එක ටිකක් අමාරුයි. මම දැන් ඒ අභියෝගයත් ජයගෙන ඉන්නේ. මට දැන් ඕනෑම ප්‍රමාණයකට රසම රස කෑම හදන්න පුළුවන්.
මුල්ම කාලේ මම ගෙදර ඉන්න අයට උයලා කන්න දුන්නා. ඊට පස්සේ මම හදපු කෑම කන්න යාළුවන්ට, නෑදෑයින්ට කෑමට ආරාධනා කළා. ගෙදර උත්සවයක් තියෙන වේලාවට මම කුස්සිය භාරගත්තා. ඕනෑම පිරිසකට රසවත්ව කෑමක් හදන එක මට පහසු වුණේ ඒ විදියටයි.
මේ වෙද්දී මම වැඩිම පිරිසකට කෑම උයපු අවස්ථාව තමයි මගෙ දරුවගේ උපන් දින උත්සවය. ඒක ටිකක් ලොකුවට ගත්තා. ගෙදර අය නෑදෑයෝ, යාළුවෝ හැමෝටම උත්සවයට ආරාධනා කළා. මට මතක හැටියට පනස් දෙනෙකුට වැඩි පිරිසක් එදා ඒ උත්සවයට සහභාගි වුණා. ඒ සියලු දෙනාටම එදා කෑම හැදුවේ මම තනියෙන්මයි.
අද මට තෝසේ, ඉට්ලි, චපාති වගේ දමිළ ආහාර වර්ග හදන්න පුළුවන්. ඒ වගේම බත් උයන්න, වෑංජන හදන්න පුළුවන්. මම හදන කෑම රසයි කියලා හැමෝම කියනවා.
මම හදන කෑමවල ගුණදොස් කියන පළමු කෙනා තමයි මගේ බිරිඳ. මම උයන කෑම බිම වලට එයා ගොඩක් කැමතියි. හැබැයි ඉතින් ඒ අතරින් එයා වැඩියෙන්ම ආශා කරන කෑමක් තියෙනවා. ඒ තමයි කතුරු මුරුංගා කොළ දාලා හදන කට්ට කරෝල හොද්ද. බත්වලට වගේම තෝසේ කන්නත් ඒ හොද්ද බොහොම අගෙයි. මම හදන කෑම බිම අතරින් රසම ආහාරය ඒ කට්ට කරෝල හොද්ද කියලා තමයි මගේ බිරිඳ නම් කියන්නේ.
ආරියවංශ කුලතිලක