මාදනී මල්වත්තගේ යනු වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව තුළින්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඇය රංගනයෙන් දායක වූ “ මධුර චාරිකා” චිත්‍රපටයද මේ දිනවල සාර්ථක ලෙස තිරගත වේ. ඊට ලැබෙන ප්‍රතිචාර මෙන්ම ඇයගේ අනෙකුත් කලා කටයුතු ගැනත් දැනගන්නට ඇයව මෙලෙස කතාබහට එක්කර ගතිමු.
මාදනීව මේ දිනවල “මධුර චාරිකා” චිත්‍රපටයෙන් දකින්නට ලැබෙනවා. කොහොමද ඒ චිත්‍රපටයේ රගපෑ චරිතය ඔබට දැනෙන්නේ ?
මධුර චාරිකා කියන්නේ උදයකාන්ත අයියා නිර්මාණය කරපු, වෙනස්ම කතා තේමාවක් ඇතුළත් වෙච්ච චිත්‍රපටයක්. විශේෂයෙන් පුංචි දරුවෙක් හා වැඩිහිටි පියෙක් මූලික කොටගෙන තමයි එහි කතා වස්තුවේ දිගහැරෙන්නේ. එහි මම රඟපාන්නේ ඒ පුංචි දරුවාගේ අම්මා විදිහටයි. අම්මා කියන චරිත මට නුහුරු නුපුරුදු දෙයක් නමෛයිනේ. ඒ නිසා චිත්‍රපටයේදී මේ චරිතයක් එන්න ජීවත් වෙන්න මට පහසු වුණා.
මධුර චාරිකා හි ඔබේ චරිතය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ ?
ඒ ප්‍රතිචාර නම් ඇත්තටම හුඟක් හොඳයි. පවුලේ කතාවක් නිසා එකිනෙකට වෙනස් ප්‍රතිචාර තමයි ලැබෙන්නේ.
ඔබ දැන් රංගනයේදී අම්මා කියන චරිතයට විරතක් කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
අම්මා කියන්නේම උතුම් පදවියක්. ඉතිං අම්මා කියන චරිතය එක්ක ජීවත්වෙන්න හරිම ආසයි. ඒත් මම අම්මා කියන චරිතයටම කොටුවෙලා නැහැ කියලා නම් කියන්නම ඕනේ. මොකද වේදිකාව, ටෙලි නාට්‍ය ඒ වගේම සිනමාව කියන හැම තැනදීම මට එකිනෙකට වෙනස් චරිත නිරූපණයට අවස්ථා ලැබිලා තියෙනවා. වේදිකාවේදී වගේම ටෙලි නාට්‍ය වලදිත් මට මම නොවී රඟපාන්න චරිත කිහිපයක්ම ලැබුණා. නමුත් චිත්‍රපටවලදී මම රඟපෑ වෙනස් විදිහේ චරිත තවම ප්‍රේක්ෂකයන්ට දැනගන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ චිත්‍රපට තිරගත වුණොත් ඒ වෙනස් චරිත දැනගන්න පුළුවන් වේවි.
සිනමාවෙන් ඔබ්බට ඔබේ කලා කටයුතු ගැන කතා කළොත් ?
දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා, ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම, කේ.බි. හේරත්ගේ “ජගන්මා’ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක වැඩ කටයුතු කෙරෙනවා. ඒ වගේම ඉස්සරහටත් තව ටෙලිනාට්‍ය කිහිපයක් වැඩ පටන්ගන්න තියෙනවා.
ඔබව වැඩිපුරම දකින්න ලැබෙන්නේ වේදිකාවෙන්. ඇයි ඒ?
මම වැඩිපුරම කැමති වේදිකාවටයි කිව්වොත් වඩාත් නිවැරදියි. මොකද වේදිකාව තුළින් මම සෑහෙන්න දේවල් අත්හදා බලලා තියෙනවා. ඒ වගේම ඉගෙනගෙන තියෙනවා. මම වැඩිපුරම සම්මාන දිනාගෙන තියෙන්නේ වේදිකාවෙන් ඇත්තටම තවමත් මගේ ජවය වේදිකාවයි කිව්වොත් හරියටම හරි.
ඔබ රංගනය වෘත්තිය කරගත් රංගන ශිල්පිනියක්. වෙනත් රැකියාවක් නොකර රංගනය පමණක් වෘත්තීය කරගැනීම අභියෝගයක් නෙවෙයිද?
ඔව්. මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ඒත් අපේ රටේ රංගනයට තවම හරියාකාර වෘත්තීය මට්ටමක් නිර්මාණය වෙලා නැහැ. ඒත් මම රංගනය වෘත්තීය කරගෙන අදටත් නොසැලී ඉදිරියට යන්නේ මගේ පවුලෙන් ලැබෙන පිටුවහල නිසා බව කියන්නම ඕනේ. ක්ෂේත්රයේ මුල ඉඳලාම ප්‍රමිතියක් හදාගෙන ආවාම රංගනය වෘත්තීය කරගැනීම අභියෝගයක් වෙන්නේ නැහැ. ඒක අභියෝගයක් වුණත් මට ඒක ජයගන්න පුළුවන්.
සමන්මලී නැලිගම