"ස්ටෝරි ඔෆ් සීතා" නැත්නම් "සීතාගේ කතාව" කලකට පසු අපට රසවිඳින්නට ලැබුණු මුද්‍රා නාට්‍යයක්. මේ වන විට එහි දර්ශන වාර දෙකක් රඟ දක්වා අවසන්.
ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහගේ නිර්මාණයක් වන "ස්ටෝරි ඔෆ් සීතා" තවත් දර්ශන වාර දෙකක් අප්‍රේල් මස රංගගත කිරීමට සූදානම්.
අපි චන්දන වික්‍රමසිංහ සමඟ අද නර්තන කලාව ගැනත් ස්ටෝරි ඔෆ් සීතා ගැනත් කතා කළෙමු. මතු දැක්වෙන්නේ ඒ කතා බහේ සටහන්ය.
අපි "සීතා"ගෙන්ම කතාව අරඹමු....
ඔව්. "ස්ටෝරි ඔෆ් සීතා" මුද්‍රා නාට්‍යයේ තුන්වැනි දර්ශනය අප්‍රේල් 7 දා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වනවා. ඉදිරිපත් කරන්නේ ගෘහණියන්ගේ සංගමය. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය "දිවයින" සහ "අයිලන්ඩ්" විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය "දෙරණ ටී.වී." ආයෙත් අප්‍රේල් 21 වැනිදා මහනුවර ධර්මරාජයේ "ස්ටෝරි ඔෆ් සීතා" ප්‍රදර්ශනය කරනවා. එය ඉදිරිපත් කරන්නේ මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි නර්තන සංසදය. "සීතා" රස විඳින ජන කොටසක් සහ වෙළෙඳ පොළක් නිර්මාණය වීම සතුටක්. උසස් නර්තන කර්තව්‍යයට ඉල්ලුම තිබෙනවා.
"ස්ටෝරි ඔෆ් සීතා" සමඟ ප්‍රවීණයන් කිහිප දෙනෙකුත් එකතු වෙනවා.
ඔව්. ඒක සතුටක්. විශිෂ්ට ප්‍රවීණ ශිල්පීන් රැසක් අද කාලයේ තාරුණ්‍යයේ නර්තන ශිල්පීන් එකතු කරගෙන මේ නිර්මාණය කරනවා. මා සහ පේෂල මනෝඡ් හැරුණාම විශාරද නන්දා මාලිනී, රත්නශ්‍රී විඡේසිංහ, උපාලි අමරසිරි, හීනටිගල ප්‍රේමදාස වැනි පතාකයින් මීට සම්බන්ධයි. චන්දන සහ පේෂල සුසංයෝගයෙන් නිර්මාණය වන "ස්ටෝරි ඔෆ් සීතා" සමඟ තාරුණ්‍යයේ නව පරපුරේ කොල්ලො කෙල්ලෝ නර්තනයෙන් දායක වීමත් මේ තරම් දුර ගමනක් යැමට කටයුතු කිරීමත් සතුටක්.
මේ මුද්‍රා නාට්‍යය නැරඹීමට කාන්තා පාර්ශවයේ උනන්දුව වැඩියි...?
අනිවාර්යයෙන්ම "සීතා" සමස්ත කාන්තා පරපුරේම පති භක්තිය, පාරිශුද්ධත්වය ගැන කතා කරන චරිතයක්. ඇය පාරිශුද්ධත්වයේ ස්ත්‍රිය පිරිමි පාර්ශ්වයෙන් හැමදාම ගැහැට විඳි කාන්තාව ඉන්දියාවේ හැමදාම දෙවැනි තැනලා සැලකුවා. ඒත් අද එහෙම නෑ. එවන් සමාජගත වූ කතාවක් තමයි වාල්මිකී ලියන්නේ. ඒ කතාව තුළ පුරුෂ්යාධිපත්ය උපරිමව තිබෙනවා. ඒ නිසා තමයි සමස්ත කාන්තා පරපුරටම වූ අසාධාරණය මා චලන බවට පත්කළේ. ඒ චලනය ඇඟට දැනුණු කාන්තාවන් රැසක් "ස්ටෝරි ඔෆ් සීතා" සංවිධානය කිරීමට පෙරගමන්කරුවන් වී සිටිනවා.
"ඔබ ස්ත්‍රී චරිතයක් මාර්කට් කරනවා කියා සමහරු චෝදනා කරනවා.
මම දන්නවා ඔය වගේ චෝදනාවක් තිබෙන බව. හොඳ නිර්මාණයක් කළාම ඉබේම මාර්කට් වෙනවා. අමුතුවෙන් මාර්කට් කරන්න ඕනේ නෑ. කිසිම කෙනෙක් මේ කාලේ අත නොගහන ක්ෂේත්රයක් තමයි බැලේ. නැතිනම් මුද්‍රා නාට්‍ය. ඒ නිසා තමයි සුදුසු කතාවක් හොයාගෙන ලෝකයේ කතාවක් ඉදිරිපත් කිරීම සඳහා සීතාව මේ කතාවට පාදක කර ගත්තේ. චිත්‍රසේන, රවි බන්දු, චන්න, ප්‍රේමකුමාර එපිටවල, පණී භාරත වැනි ප්‍රවීණයන් ගෙන ආ මුද්‍රා නාට්‍යවලට මා මගේ හැඩය දුන්නා. මට කාගේවත් හැඩ ඕනේ නෑ. "ස්ටෝරි ඔෆ් සීතා" මගේ හැඩය මගේ අනන්‍යතාව පෙන්වන මුද්‍රා නාට්‍යයක්. මම තරුණ පරපුරේ නැට්ටුවෝ වගේ ගුරුකුලවලට බය, පක්ෂපාත කෙනෙක් නොවේ. මම ගුරු කුලවලට ගරු කරනවා. ඒත් මම මගේ සිතිවිලි කිසි විටෙක වෙනස් කරන්නේ නෑ.
අපි හැමදාම කතා කරනවා අද පවතින නර්තන කලාව ගැන. ඇත්තටම අද නර්තනය ගමන් කරන්නේ කොයිබටද?
පාසල් තරග බලන්න. ළමයින්ගේ දස්කම්. දෙරණ ලිට්ල් ස්ටාර් බලන්න. පුංචි දරුවන් නටන ලස්සන. අපේ සම්ප්රදාය රැක ගනිමින් මේ දරුවන් නටනවා. නමුත් විද්‍යුත් මාධ්‍ය කලාව තුළ රියෑලිටි හරහා දකින සමහර නර්තනයන් නම් විකාර රූපී අලුත්ම කලාව තමයි නළු නිළියන්ට නැටුම් උගන්වා නටන්න දාන එක. මේ නළු නිළියන්ව පුදුමාකාර විදිහට "අන්දවනවා". සමහර නළු නිළියන් දැක්කාම දුක හිතෙනවා. ඕවා බලන්නෙත් බුද්ධි මට්ටම එක්තරා තැනක තියෙන අයනෙ. ඒවා හොඳයි ඒ ගැලරියට. නළු නිළි විකාරරූපී නර්තන දැක්කාම ඒවාට චූන්වෙන පිරිසකුත් ඉන්නවා.
ඔබත් රියෑලිටි විනිසුරුවරයෙක්. මේ විනිසුරුවරුන් ගැන ඔබේ අදහස?
මම තමයි, ලංකාවේ වැඩිම වසර ගණනක් එකම වැඩසටහනක වාඩිවෙලා ඉන්න විනිසුරුවරයා. අවුරුදු නවයක්. අපි අපේ ජාතික වගකීම ඉටුකරනවා. දෙරණ ලිට්ල් ස්ටාර් හරහා මුදියන්සේ දිසානායක මහාචාර්යතුමා, කලාශූරී රැජිනි සෙල්වනායගම් සහ මම. අපේ විනිසුරු මඬුල්ල සමබරයි. අපි දකිනවා උඩරට වගේම හිපොප් නැටුමට, පහතරට වගේම බොලිවුඩ් නර්තනයට මේ දරුවෝ දක්ෂයි. ඒ ඔවුන්ගේ උපන් හැකියාව. ඒත් තාලයකට අඩිය තියා ගන්න බැරි වැඩිහිටියන් කරන විසූක දස්සන දැක්කාම සමහර රියෑලිටිවල ඒවායේ විනිසුරුවන්ට වගකීමක් තිබෙනවා. තරගකරුවන්ට අන්දලා නැතිනම් විනිසුරුවරුන්ට අන්දලාද මෙහෙම කරන්නේ. වැඩිහිටි නර්තන ශිල්පීන් තරග කළ සිටි ඔෆ් ඩාන්සින්, ස්ටාර් සිටි වැනි රියෑලිටිවල මමත් විනිශ්චයන් කළා. ඒ තුළින් හිතා ගන්න බැරි හොඳ නිර්මාණ ආවා. ඒත් එහෙටත් නැති මෙහෙටත් නැති කෑලි මේවාට රිංගා ගත්තාම වැඩසටහනත් හෑල්ලු වෙනවා. විනිසුරුවරුත් හෑල්ලු වෙනවා. චැනල් එකත් හෑල්ලු වෙනවා. එනිසා මේවාට එන විනිසුරුවරුන්ට ජාතික මෙහෙවරක් පැවරී තිබෙනවා තම ගෞරවය වගේම මාධ්‍ය ආයතනයේ ගෞරවයත් රැකගෙන වචන මුදාහරින්න. උප සංස්කෘතීන් බිහි වෙනවා. ඒත් ඒවා කොතරම් ගෝචරද යන්නසිතා බැලිය යුතුයි. ඒ අතරින් දෙරණ ලිට්ල් ස්ටාර් තමයි ලෝකයම වැළඳගත් ළමා නර්තන තක්සලාව. "අපි වැදගත් ගමන හෙමින්" දෙරණ ලිට්ල් ස්ටාර් හරහා ගියදුර අසීමිතයි.
කොහොමද පෞද්ගලිකව ඔබේ නර්තන කටයුතු?
මගේ නර්තන පන්ති රත්මලාන, නුවර, කිරිබත්ගොඩ, ගම්පහ සහ නිට්ටඹුවේ සාර්ථකව කරගෙන යනවා. ෂෙරින් ප්‍රනාන්දු ප්‍රධාන අධ්‍යක්ෂවරිය සහ නර්තන පාසල්වල විදුහල්පතිනිය ලෙසත් දිනේෂ් ගම්ලත් අධ්යක්ෂවරයා ලෙසත් සියල්ල වගකීමෙන් යුතුව කරගෙන යනවා. විෂය මාලාවට අවැසි දේ උගන්වනවා. විශ්වවිද්‍යාල දරුවන්, ගුරුවරුන් සහ තරුණ පාරම්පරික ශිල්පීන් එකතුකරගෙන උඩරට නැටුම සාම්ප්‍රදායික නැටුමෙන් එහා ගිය කොටසක් ඉගැන්වීම මැයි මාසයේ සිට ආරම්භ කරනවා.
ඔබේ නර්තන කණ්ඩායම
අපි පසුගිය මාස තුන තුළ ඩුබායි, අබුඩාබි, අග්‍රා, නවදිල්ලි, තායිලන්තය, බැංකොක්, චීනය වැනි රටවල සංචාරයන් කළා. තවත් විදේශීය ආරාධනා රැසක් ලැබී තිබෙනවා.
පවුලේ තොරතුරු?
දුව දේවංගී වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධිය හදාරනවා. නිවුන් පුතාලා දෙන්නා ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙන ගන්නවා. බිරිඳ දිල්හානි ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘවරියක් විදිහට වැඩ කළා. දැන් විශ්‍රාම ලබා දරුවන් හා මගේ වැඩකටයුතුත් නර්තන කණ්ඩායමේ දුක්ගන්නාරාළ ලෙසත් කටයුතු කරනවා. ඇය මාධ්‍ය ජීවිතයෙන් සමුගත් එක ගැන මට කනගාටුයි. නැවත රැකියාවට පිටවෙනවා නම් මම කැමැතියි.
අජිත් අලහකෝන්