දිනිති වල්ගමගේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තේ හාරකෝටිය ටෙලි නාට්‍යයේ අභිෂේකා ගේ චරිතය හරහාය. මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශනය වන සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ නිම්නිගේ චරිතයෙන්ද දිනිතිට නැවතත් ප්‍රේක්ෂක ආකර්ෂණය හිමිව තිබේ. නිම්නිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර මෙන්ම සිය රංගන දිවිය පිළිබඳව වැඩිදුර තොරතුරු කතාබහ කිරීමට දිනිති මෙසේ සංවාදයට එක්වූවාය.
සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන චරිතය ගැන මුලින්ම කතා කරමු?
මම එහි නිරූපණය කරන්නේ නිම්නි කියන චරිතය. නිම්නි කියන්නේ මැරවරයෙකුගේ දුවක්. ඇය චණ්ඩිකම් කරන යුවතියක්. ඒ වගේම කටකාර තරුණියක්.
නිම්නි වගේම දිනිතිත් චණ්ඩි යුවතියක්ද?
මම ළඳ බොළඳ තරුණියක් නම් නමෛයි. ටිකක් විතර දඟයි. ඒත් නිම්නි තරම් චණ්ඩිපාට් දාන්නේ නම් නැහැ. මාත් කටකාරයි තමයි. ඒත් නිම්නි තරම් නම් නැහැ.
එතකොට කොහොමද නිම්නිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?
හාරකෝටියේ අභිෂේකාගේ චරිතය නිසා බොහෝ දෙනා ආසා කළේ මම රඟපාන අහිංසක චරිතවලටයි. ඒත් සිල්ලර සමනල්ලු ටෙලි නාට්‍යයේ නිම්නිගේ චරිතය නිසා මට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් කියලා දැන් හැමෝම වගේ දන්නවා. ඒ නිසා චරිතය වෙනුවෙන් මට ගොඩාක් පැසසුම් ලැබෙනවා. මම මෙච්චර සැරද කියලත් සමහරු අහනවා.
දිනිති ගුවන් සේවිකාවක්. ඒ වගේම දැන් කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය නිළියක්. එතකොට නිළිකම වෙනුවෙන් දිනිතිට ගුවන් සේවිකාව කියන වෘත්තිය අතහරින්න වුණොත් අත්හරිනවාද?
කොහෙත්ම නැහැ. මගේ වෘත්තීය ඊයෙත් ගුවන් සේවිකාවක්, අදත් ගුවන් සේවිකාවක්. හෙටටත් ඒක එහෙමම තමයි රඟපෑම වෙනුවෙන් මම කරන වෘත්තීය අතහරින්නේ නම් නැහැ. මොකද මම රඟපාන්නේ විනෝදයටයි. ඒ නිසා මට කොයිතරම් ආරාධනා ලැබුණත් මට අවශ්‍ය නිර්මාණයට විතරයි මම දායක වෙන්නේ. අනිත් එක හැමදාම බොළඳ අහිංසක පෙම්වතියගේ චරිත රඟපාන්න මම කැමැති නැහැ. පුංචි කාලේ ඉඳලම මම කැමැතිම දෙයක් තමයි ලෝකේ වටේ රවුම් ගහන එක. ඒ හින්දමයි මම ගුවන් සේවිකාවක් බවට පත්වුණේ.
දිනිති ජනතාව අතරට ගියේ හාරකෝටියෙන්. ඊට කලින් රඟපාලා නැද්ද?
මම මුලින්ම රඟපෑමේ හාරකෝටියේ නෙමෙයි. අක්ෂරය කියන චිත්‍රපටයේ සෞම්‍ය ලියනගේගේ දුව විදිහටයි මම මුලින්ම රඟපෑවේ. මම අක්ෂරයේ කළේ පොඩි ළමයකුගේ චරිතයක් නිසා මට ඒ චරිතයට ලොකු බලපෑම් එල්ල වුණේ නැහැ.
එතකොට දිනිතිගේ ඉදිරි කලා කටයුතු ගැන කතා කළොත්?
මම මේ දවස්වල සිරස ෆිල්ම් ෆෙයා වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. ඒ වගේම තව ටෙලි නාට්‍ය කිහිපයකත් චිත්‍රපටයකත් වැඩ භාරගත්තා. මගේ වෘත්තියට මුල්තැන දීලා තමයි මම රඟපාන්නේ. මොකද මට ඉක්මනින් ජනප්‍රිය වෙන්න වුවමනාවක් නැහැ.
දිනිතිට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
අම්මයි තාත්තයි නම් මගේ රඟපෑමට විරුද්ධ නැහැ. ඒත් මගේ අයියලා දෙන්නා නම් මං රඟපානවාට තදින්ම විරුද්ධයි. ඒත් මගේ ආශාව නිසා ඊට ඉඩදීලා ඉන්නවා.
සමන්මලී නැලිගම