'සිඳු' හා 'වාමන යාමය' යන ටෙලිනාට්‍ය තුළින් බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනා ගත් ජෙහාන්, 'හොරු', 'සුරංගනා කතාවක්', 'මට දැන් පිස්සු', 'හැපි ජර්නි', 'සූකර අසපුව' වැනි කෙටි හා දිගු නාට්‍ය නිර්මාණ රැසක්ම වේදිකාවට ගෙන එන්නේය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලබන ඔහු මෙලෙස 'අද'ට සම්බන්ධ විය.
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී 'සූකර අසපුව' වේදිකා නාට්‍ය ඇගයුමට ලක්වූ ආකාරය ගැන සෑහීමකට පත් විය හැකිද?
විනිශ්චය මණ්ඩලයක් ඇතුළෙ ගන්න තීන්දු, තීරණවලට අභියෝග කරන්න බැහැ. නමුත් නිර්මාණයක් ලෙස එහි ලද විනිශ්චයන් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්. හොඳම නළුවා සහ හොඳම නිළිය නිර්දේශ වුණා. හොඳම නළුවා ලෙස සම්මාන ලබා ගන්න මට හැකිවුණා. හොඳම ආලෝකකරණයට සම්මානත් ලැබුණා. මම සෑහීමකට පත්වෙනවා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. විනිශ්චය මණ්ඩලය කියන්නේ විනිශ්චය මණ්ඩලයක්. ඒ කටයුත්ත අභියෝගයට ලක්කරන්නේ නැහැ. ඔවුන් විනිශ්චය කරනවා අපි නාට්‍ය කරනවා.
'සූකර අසපුව' වේදිකා නාට්‍ය ඔලිම්පික් නාට්‍ය උළෙලට තේරී පත්වෙනවා. ඒ ගැන කතා කළොත්?
ඒ තේරී පත්වීම නිසා කේරළයේ හා දිල්ලිවල මේ නාට්‍ය වේදිකාගත කරන්න අපට අවස්ථාවක් ලැබුණා. ඒ වේදිකාගත කිරීමේදී ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහිදී තමයි මේ නාට්‍ය වෙනුවෙන් මට හොඳම ප්‍රේක්ෂකාගාරය ලැබුණේ. භාෂාව වෙනස් වුණත් මේ නාට්‍ය ඔවුන් විඳි ආකාරය ගැන, ඒ නාට්‍ය නරඹා ඔවුන් ඇසූ ප්‍රශ්න එක්ක ඒ සංස්කෘතිය තුළ නාට්‍ය කලාව කෙතරම් දියුණුද කියලා අපට හිතන්න පුළුවන් වුණා.
ඔබ අදහස් කරන්නේ එවැනි ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ හමුවෙන්නේ නැහැ කියලද?
එහෙම ප්‍රේක්ෂකාගාරයක් ලංකාවේ තිබුණා. මෑතකදී තමයි එය වෙනස් වුණේ. හැත්තෑව දශකයේ, අසූව දශකයේ ඉතා හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපට තිබුණා. නමුත් සංවිධායකවරුන් කිහිප දෙනෙකු අතේ වේදිකා නාට්‍ය කලාව පවතින නිසා තමයි මේ ගැටලුව ඇතිවෙලා තියෙන්නෙ. නාට්‍යකරුවන් පුරුදු වෙලා ඉන්නවා හුදු විනෝදය පදනම් වූ නාට්‍ය කරන්න. ඒ නිසා හාස්‍ය උත්පාදන නාට්‍ය රැල්ලක් තමයි අද නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙම නාට්‍ය නිර්මාණය වෙද්දි 'සූකර අසපුව' වැනි නාට්‍යක් වේදිකාගත කිරීම අභියෝගයක්. මෙවැනි නාට්‍යක් කරද්දි ඒ නාට්‍ය ප්‍රේක්ෂකයා මොන විදියට ගනීද කියන ගැටලුව නිර්මාණකරු තුළ පවතිනවා.
ඒ නිසා මෙවැනි නාට්‍ය තුළින් මේ වගේ නාට්‍ය කලාවකුත් තිබෙනවා කියලා ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට සංවිධානය විය යුතුයි. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට මේ නාට්‍ය වෙනස්ම අත්දැකීමක්. ප්‍රේක්ෂකයන් සම්භාව්‍යය නාට්‍ය බලන්න කැමැතියි. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකාගාරය වෙත යන්නේ එවැනි නාට්‍ය නෙමෙයි. සංවිධායකවරු ගෙන යන්නේ එවැනි නාට්‍ය නෙමෙයි. මේක මාෆියාවක්. ඇතුළෙ රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ රැල්ල ඇතුළෙ තියෙන නාට්‍ය ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වෙනවා කියලා සංවිධායකවරුන් හිතාගෙන ඉන්නවා. නමුත් ප්‍රේක්ෂකයන් කැමැතියි හොඳ නාට්‍යක් බලන්න.
'සූකර අසපුව'ට පස්සේ ඔබ 'කහඹිලියා යායටයි අපි ආස' වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නෙ. මේ නාට්‍ය නිර්මාණය කරන්නෙත් ඒ අභියෝගයට සූදානමින්ද?
කුමනාකාරයෙන් නාට්‍ය නිර්මාණය වුණත් අපි කරන්නේ අපට ඕන වේදිකා නාට්‍ය. ඒ නිසා 'සූකර අසපුව' කරද්දි ගත්ත අභියෝගයම මේ නාට්‍යටත් ගත්තා. මෙහි වෙනසක් තිබෙනවා. මෙය සංගීතාත්මක නාට්‍යක්. සංගීතයත් එක්ක තමයි මේ නාට්‍ය විකාශය වෙන්නේ. ඒ වගේම මේ නාට්‍ය තුළ දේශපාලන කතාවක් තිබෙනවා. මේ පවතින රැල්ලත් එක්ක මෙවැනි නාට්‍යක් කරන අභියෝගය බාර ගත්තා. ඒ නිසා තමයි 'කහඹිලියා යායටයි අපි ආස' වේදිකා නාට්‍ය නිර්මාණය වෙන්නෙ. මේ දිනවල මගේ අලුත් වේදිකා නාට්යේ පුහුණු වීම් සිදු වෙනවා. මේ නාට්‍ය රචනා කළේ විදර්ශන කන්නංගර. සංගීත අධ්‍යක්ෂණය පාලිත අබේරත්න විසින් සිදු කරනු ලැබුවා. මේ වේදිකා නාට්‍ය දෙසැම්බර් මසදී වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අභියෝගාත්මක වෙයි, ඒත් ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්.
මෙලෙස වේදිකාව තුළ හිතුවක්කාරකම් කරන්න අවශ්‍ය විකල්පය නිර්මාණය කර ගැනීමටද ටෙලිනාට්‍යවලට යොමු වෙන්නෙ?
මෙහෙමයි. ජීවත් වෙන්න මුදල් ඕන. වේදිකා නාට්‍යක් කරන්න හෝ සිනමා නිර්මාණයක්, කුමන දෙයක් කරන්න ගියත් මුදල් අවශ්‍යයි. ටෙලිනාට්‍ය කියන්නෙත් වෙන කලා මාධ්‍යයක්. ඒ නිසා වේදිකා නිර්මාණ කරන්න ටෙලිනාට්‍ය කරනවා.
ටෙලිනාට්‍ය තුළින් රංගන ශිල්පියෙකු ලෙස දෙයක් කරන්න බැහැ කියලද අදහස් කරන්නේ?
නැහැ. එහෙම කියන්නත් බැහැ. අද හොඳ ටෙලිනාට්‍ය බිහි වෙනවා. ටෙලිනාට්‍ය කලාව තුළ රංගනයට මහන්සි වෙන්න පුළුවන්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව කියන මාධ්‍ය තුන කිසිම විටක පටලවා ගන්න හොඳ නැහැ. ඒ මාධ්‍යයන් හඳුනා ගනිමින් වැඩකටයුතු කිරීම තමයි වඩා හොඳ කියලා මම හිතන්නේ. මට කතා කරන බොහෝ අධ්යක්ෂවරුන් කතා කරන්නේ හුදු රංගන ශිල්පියෙකු අවශ්‍ය නිසා නෙමෙයි, වැඩක් ඇතුළේ වැඩක් කරන්න පුළුවන් නිර්මාණවලට කතා කරන්නෙ. ඒ නිසා ඒ තුළත් සෑහීමකට පත්වෙනවා. ආවට ගියාට නිර්මාණ කරන්නේ නැතුව හොඳට තෝරා බේරාගෙන නිර්මාණ කරනවා. මට ලැබෙන චරිතය තුළ උපරිම සාධාරණයක් කරන්නත් උත්සාහ කරනවා.
සිනමා නිර්මාණ දෙකකටත් ඔබ දායක වුණා. ඇගයුම් ලැබුවා. ඒ ගැන සඳහන් කළොත්?
මගේ ප්‍රථම සිනමා නිර්මාණය තමයි 'සයපෙති කුසුම' කියන්නේ. ඉන්පසු උපාලි ගම්ලත්ගේ 'ගුරු ගීතය' නිර්මාණයට දායක වුණා. ඒ මහන්සිය, කැපවීමට මට ප්‍රතිඵල ලැබුණා. 'සිඩ්නි' සම්මාන උළෙලේ හොඳම නළුවාට සම්මානය ලබා ගන්න පුළුවන් වුණා. %සාක්^ සිනමා උළෙලෙදීත් හොඳම නළුවා ලෙස සම්මාන ලබාගන්න මට හැකි වුණා. නිර්මාණයක් වෙනුවෙන් කළ කැපකිරීම්වල ප්‍රතිඵල මම භුක්ති විඳලා තියෙනවා. ඒ නිසා ඒ ගැන මට සතුටු වෙන්න පුළුවන්.
වේදිකාව සිනමාව තුළත් හොඳම නළුවා ලෙස ඇගයුම් ලබා ගන්නවා. මේ ගමන්මග තුළ ඉදිරි සැලසුම කෙබඳුද?
මේ රටෙත් කිසිම දේකට ක්‍රමවේදයක් නැහැ. ඒක කලාවටත් අදාළයි. මේ රටේ කිසිම සිස්ටම් එකක් නැහැ. ඒ නිසා ඒ තුළ කලාව කියන එක අමුතු වෙන්නෙත් නැහැ. චිත්‍රපටයකට කතා කළොත් චිත්‍රපටයක වැඩ කරනවා, ටෙලිනාට්‍යකට කතා කළොත් ටෙලිනාට්‍යක වැඩ කරනවා. වේදිකා නාට්‍යකට කතා කළොත් වේදිකා නාට්යේ වැඩ කරනවා. නැත්තම් වේදිකා නාට්‍යක් කරනවා. ඒ දේ තමයි සිදු වෙන්නෙ. කිසි සිස්ටම් එකක් නැති රටක අමුතුවෙන් කලාව තුළ සිස්ටම් එකක් ගැන හිතන්න බැහැ. ඒ නිසා ලැබෙන නිර්මාණය ඇතුළෙ උපරිමයක් කරන්න මහන්සි වෙනවා.
නිඳුක් මධුෂික