2014 දී “සිරි දළදා ගමනය” චිත්‍රපටයේ “දන්ත කුමාරයා” විදියට ප්‍රේක්ෂකයන් හමුවට ආ ඔහු ඉන්පසු තිරයට එකතු වන්නේ මේ දවස්වල තිරගත වන “යශෝධරා” චිත්‍රපටයේ “නන්ද කුමරු” ලෙසිනුයි. වසර හතරක කාලයක් තුළ ඔහු දායක වී ඇත්තෙත් ටෙලි නාට්‍ය දෙකකට හා ගීත රූප රචනා පහකට විතරයි. කලාවට පිවිසෙන අලුත් මුහුණු “රූප පෙට්ටිය” බදු අරගෙන සතිය පුරාම අප හමුවට එද්දී මේ කඩවසම් නළුවාගේ මන්දගාමී ගමන ඇත්තටම කාටත් ප්‍රශ්නයක්.
බිම්බා දේවි හෙවත් “යශෝධරා” චිත්‍රපටයේ නන්ද කුමරු ලෙස රඟපාන්නේ ඔබයි. කොහොමද ඔබට ලැබුණු මේ අත්දැකීම?
සමස්ත චිත්‍රපටය තුළ නන්ද කුමරුගේ චරිතය දිවෙන කාලය අඩුයි. ඒත් මම මේ චරිතයට දායක වුණේ හරිම සතුටින්. නන්ද කුමරු බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ චරිතයක්. එබඳු චරිතයකට දායක වීම මට ලැබුණු විශාල භාග්‍යයක්. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නිර්මාණයකට දායක වීමට ලැබිමත් ඒ වගේම භාග්‍යයක්. ඒ කරුණු ගැන සලකලා තමයි මම මෙම චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
2014 දී “සිරි දළදා ගමනයට” එකතු වූ පසුව හේෂාන් යළි රංගනයකට දායක වුණේ මේ කියන “යශෝධරා” චිත්‍රපටයටයි. ඔබ ටෙලි නාට්‍යයවල දකින්නත් නැහැ. ඇයි ඒ? හේෂාන්ට රඟපාන්න අවස්ථා ලැබෙන්නේ නැද්ද?
ඔය කාලය තුළ මම දායක වූ ටෙලි නාට්‍ය සංඛ්‍යාව දෙකක් විතරයි. නිතර දකින්නට නොලැබෙන නිසා බොහෝ අය හිතනවා මට නිර්මාණ නොලැබිම හින්දා මාව දකින්නට නැහැ කියලා. ඒත් ඔය වසර හතර තුළ චිත්‍රපට 7ක් ප්‍රතික්ෂේප කළා. ටෙලි නාට්‍ය හා ගීත රූප රචනා විශාල ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කළා.
ඇයි ඒ ?
මම නිර්මාණයක් භාර ගනිද්දී බලන කාරණා කීපයක් තියෙනවා. පිටපත, මට රඟපාන්න තියෙන චරිතය, අධ්‍යක්ෂණය, ඔහු කලින් කරලා තියෙන නිර්මාණ හා මගේ වටිනාකම යන කරුණු ගැන මම සොයා බලනවා. ඔය දේවල්වලින් සෑහීමට පත්විය නොහැකි නම් මම එම නිර්මාණය භාර ගන්නේ නැහැ.
හේෂාන් මේ දිනවල ජාත්‍යන්තරය ජය ගන්න සූදානම් වන බවත් ආරංචියි.
ඔව්. මට ජාත්‍යන්තර චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා. ඒ ගැන හරියටම කියන්නම් මේ වසර අවසානයේදී. ඊට අමතරව මට ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ නිරූපණ ශිල්පය හා සම්බන්ධ කටයුත්තකටත් ආරාධනා ලැබුණා. මේ දිනවල ඊට සුදුසු ආකාරයට ශරීරය සකස් කර ගනිමින් ඉන්නවා.
ඒ කොහොමද?
මගේ කොණ්ඩය හා සිරුරෙ හැඩය වෙනස් කරගත යුතුයි. සිරුරේ හැඩය වෙනුවෙන් මේ දවස්වල මට දිනකට දෙවතාවක් ජිම් යන්න සිදුවෙලා තියෙනවා. ඒ වගේම විශේෂිත ආහාර රටාවක් අනුගමනය කරන්නත් නියමිත වෙලා තියෙනවා. සෑහෙන කැපවීමක් කළයුතු කටයුත්තකයි මම නිරත වෙලා ඉන්නේ.
ඒ කටයුතු සාර්ථක වෙලා ඉන්දීය නිරූපණ ක්ෂේත්රය තුළ හෝ බටහිර සිනමාව තුළ දිගටම ඔබට රැඳෙන්න වුණොත් ?
එහෙම වුණොත් මට කළ හැකි නිර්මාණ මම භාර ගනීවි. පුරුදු විදියට ලංකාවේ ඉඳලා ගිහින් ඒ නිර්මාණවලට එක්වේවි. එහෙම නැතුව ලංකාවයි අපේ කලා ක්ෂේත්රයයි අතෑරලා දාන්න නම් කිසිම අදහසක් නැහැ.
ආදරය හා විවාහය ගැන මොනවද කියන්න තියෙන්නේ?
“ආදරය” කරන්නත් මනස නිරවුල්ව තියෙන්න ඕනේ. තව වසර ගණනකට ඔය වගේ දේවල් හිතන්න තරම් මගේ මනස නිරවුල් නැහැ.
ආරියවංශ කුලතිලක