ඉතින් මේනකා මොනවාද අලුත් ආරංචි?
අලුත්ම ආරංචිය තමයි මම දැන් මේනකා මධුවන්ති නෙවෙයි. මම දැන් “මේනකා ගාර්දි”
Miss මේනකා මධුවන්ති අපි හැමෝටම හොරෙන් Mrs මේනකා ගාර්දි වුණාද?
(හිනැහී) මම හිතුවා ඔය ප්‍රශ්නෙ අහයි කියලා. නැහැ.... නැහැ.... එහෙම එකක් නෙවෙයි. ගාර්දි කියන්නේ අපේ වාසගම. මට හිතුනා මගේ නමට ගාර්දි කියන කොටසත් එකතු කරන්න. ඒ නිසා මගේ ඉදිරි නිර්මාණ හැම එකකම සඳහන් වන්නේ මේනකා ගාර්දි කියලයි.
නමත් වෙනස් කරගෙන ජීවිතේ ලොකු වෙනසක් කරන්න හදන්නේ’ පෙම්වතෙක් ජීවිතේට එකතු වෙලා නේද?
ඔය පෙම්වතා කියන වචනෙට මම කැමති නැහැ. පෙම්වතා කියන්නේ එන හා යන කෙනෙක්. මම කැමතියි සැමියා කියන වචනෙට. සැමියා කියන්නේ ජීවිතේ පුරාම රැඳුණු කෙනෙක්. සැමියෙක් ලබන්න, බිරිඳක්, මවක් වෙලා ලස්සන ජීවිතයක් ගත කරන්න මම හරි ආසයි. ඒ වගේ ලස්සන ජීවිතයක් උදා වන මොහොතේ මම අනිවාර්යයෙන්ම ඒ ගැන කියනවා.
කොහොමද මේ දවස්වල කලා කටයුතු?
ශිවගුරුනාදන් මහතාගේ අලුත් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. මා රඟ පෑ “අනෝරා” චිත්‍රපටය තව දින කිහිපයකින් රිදී තිරයට එනවා. එය අධ්‍යක්ෂණය කළේ හෙක්ටර් කුමාරසිරි. හෙක්ටර් කියන්නේ ජනප්‍රිය සංගීත ශිල්පී හේෂාන් ගමගේ ගේ තාත්තා. හේෂාන් තමයි මේ චිත්‍රපටයේ මගේ පෙම්වතාට රඟපාන්නේ.
”අනෝරා” චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ මොන වගේ චරිතයක්ද?
චිත්‍රපටයේ හැටියට මම ලිංගික විපර්යාසයකට ලක්වන තරුණියක්. අපේ සිනමා ඉතිහාසයේ සියලුම චිත්‍රපට ගැන කියන්න මම දන්නේ නැහැ. ඒත් ගැහැනියක විදියට ඉපදිලා ලිංගික විපර්යාසයකට ලක්වෙලා පිරිමියෙකු බවට පත්වන අයකුගේ චරිතයක් ඇතුළත් චිත්‍රපටයක් මම මීට කලින් දැකලා නැහැ. මතෛක් මා රඟපෑ අසීරුම චරිතය තමයි මේ.
මොන විදියේ අසීරුතාවයකටද ඔබ ලක්වුණේ?
තරුණියක් විදියට හිටපු කෙනෙක් පිරිමියෙක් වෙනකොට හැම දෙයක්ම වෙනස් වෙනවා. කතා බහ පෙනුම, ඇඟපත පවා වෙනස්. මුලදී මම කැමති වෙලා හිටියා කොණ්ඩෙත් කපන්න. ඒත් මම තවත් නිර්මාණ කිහිපයක් බාරගෙන තිබුණු හින්දා වේශ නිරූපණය මගින් කොණ්ඩය අඩු කළා. කතා බහ ගමන බිමන ඉරියව් පවා මම සම්පූර්ණයෙන්ම වෙනස් කළා. රූගත කිරීම්වල වගේම හඬ කැවීම් වලදීත් සෑහෙන වෙහෙසක් දරන්න වුණා. කටහඬ පවා රළු කරලා කතා කරන්න වුණා. අනික ඒක හරිම සංකීර්ණ චරිතයක්. අනෝරාට මේ දේ වුණාට ඇගේ පෙම්වතා (හේෂාන් ගමගේ,) පවා සමාජය තුළ අසරණ වෙනවා. එහිදී මතුවන ගැටලු ඉතා සංකීර්ණ විදියට මට මතු කරන්න සිදු වුණා. මම කළ ඇතැම් රංගනයන් කොයි තරම් අසීරු වුණාද කියනවා නම් සමහර ජවනිකා හරියට කරගන්න බැරි වුණාම මම පැත්තකට ගිහින් අඬපු අවස්ථාත් තිබුණා.
ආරියවංශ කුලතිලක
ලක්බිම