‘සුළඟ ගිනි අරන්’ ලු නේද?
(හිනා...) ඔව් එහෙම හිතුවත් කමක් නෑ.
සමහරු සම්මානයක් ගන්න පෙරුම්පුරන කොට විමුක්ති ජයසුන්දර ලැබෙන්න තිබුණ සම්මානෙත් එපා කියනවා. මොකක් ද අවුල?
ඒක මෙහෙමයි. අපිට ඔය සම්මාන ඇගයීමෙදි නාමයෝජනා නවයක් විතර තිබුණා. ඒක දැනගත්තට පස්සෙ මං ඒගොල්ලන්ගෙන් (දෙරණෙන්) ඇහුවා කවුද ජූරියෙ ඉන්නෙ කියලා. ඒකත් දැනගත්තට පස්සෙ මට හිතුණා ඒ කියපු ජූරිය අපේ නිර්මාණ ඇගයීමට සුදුසු නෑ කියලා.
සමහරු නම් කිව්වෙ විමුක්ති දෙරණත් එක්ක තියෙන ඇරියස් එකක් කව(ර්) කරගත්තා කියලා?
ඒක සම්පූර්ණයෙන් අසත්‍යයක්. මොකද මට දෙරණ නාලිකාවත් එක්කවත් එහි අදාළ පාර්ශ්වයන් එක්කවත් කිසිම ආරෝවක් නෑ. ඔය කියන ජූරියෙ ඉඳපු අය එක්කවත් මට හුදෙකලා ගැටුමක් නෑ. ඇත්තටම මේක අපි අතර තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මං සම්මාන උළෙල වර්ජනය කරන්න තීරණය කළේ ක්ෂේත්රයට වෙන පණිවුඩයක් දෙන්න.
මොකක්ද ඔය කියන පණිවුඩය?
පොදුවේ ගත්තහම අපේ රටේ සම්මාන උළෙලවල් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය කියන ගැටළුවට යම් ප්රගතිශීලී අවධානයක් ලබාගැනීමේ ප්රයත්නයක් විදිහට තමයි මං මේවගේ තීරණයක් ගත්තෙ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි.
ඇත්තම කියන්න... ජූරියක් ඉස්සරහා ඔබේ නිර්මාණයක් විචාරයට ලක්වෙනවට ඇයි ඔච්චර බය?
ඒක හොඳ මතු කිරීමක්. ඔයාගෙ ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. සාමාන්‍යයෙන් කලා කෘතියකට (චිත්‍රපටයකට) සම්මානයක් දෙනවා කියන එක ඉතා සංකීර්ණ දෙයක්. ඒක ඇත්තටම අර ගෞරව සම්මාන දෙනවා වගේ වැඩක් නෙමෙයි. පදක්කම් දෙනවා වගේ වැඩකුත් නෙමෙයි. කොටින්ම චිත්‍රපට සඳහා ලබාදෙන සම්මාන තීරණ වෙන්නෙ අදාළ ජූරියට එන පුද්ගලයාගේ හෝ කණ්ඩායමේ රුචි අරුචිකම් මත. එතකොට ඒ ජූරියට අනුව තමයි සම්මාන උළෙලේ වටිනාකම රැඳිලා තියෙන්නෙ. අපි ඔය කියන සම්මානෙකට වටිනකමක් නෑ. සම්මානයක් කියන්නෙ කිසියම් සංකේතයක් විතරයි. ජූරියෙ ඉන්න පුද්ගලයා තමයි වැදගත්.
ඔබ මීට කලිනුත් මතු කරපු තැනක් තමයි ජනප්‍රිය සහ ප්‍රසිද්ධ නිර්මාණවලට සම්මාන දෙන්න අවශ්‍ය නෑ කියන එක?
ඔව්... මොකද ඒවා කොහොමත් ජනතාව අතරට ගිය නිර්මාණ. ඉතිං ජනගත වෙච්ච නිර්මාණයකට සම්මාන දීලා නැවත ජනගත කරන එක තේරුමක් නෑ. ඒක කොහොමත් මිනිස්සු දන්නවනේ. ඇත්තටම ඒවගේ සම්මාන දුන්නා කියලා කර්මාන්තෙට වෙන සෙතකුත් නෑ. මොකද ඒවෙන කොටත් අදාළ නිර්මාණය ප්‍රදර්ශනය කරලා ඉවරයිනේ. ඉතිං මං අහන්නෙ මොකක්ද ප්‍රදර්ශනය කරලා ඉවර වෙච්ච සිනමාපටයකට දෙන සම්මානෙකට තියෙන වටිනාකම? කාගෙහරි හිත සනසගන්න නම් හොඳයි.
එතකොට ඔබ ඔය කියන විදිහට සම්මාන දෙන්න ඕන කොහොමද?
ප්‍රේක්ෂකයාට මඟහැරුණු තැනක් නැවත මතක් කරලා දෙන්න තමයි සම්මාන ප්‍රදානයක් සිද්ධ වෙන්න ඕන. යම් නිර්මාණයක් ප්රේක්ෂකයො බලන්න හේතු තිබිලා නෑ, එහෙමත් නැත්තනම් ඒ ගැන ප්රේක්ෂකයො දැනගෙන ඉඳලා නෑ. ඒවගේ නිර්මාණයක් සම්මානයක් හරහා ප්‍රේක්ෂකයන් තුළ උත්තේජනයක් ඇති කරන්න පුළුවන්.
ඔබ ඔය කියන්නෙ ජනප්‍රිය සිනමාව නෙමෙයි?
ඔව්... මම මේ කියන්නෙ කලාත්මක සිනමාව ගැන. කලාත්මක සිනමාවට අයත් නිර්මාණයක් සිද්ධ වෙන්නෙ වානිජ පරමාර්ථයකින් නෙමෙයි. නිර්මාණකරුවා තුළ තිබෙන ආශාවට. අපේ භාෂාවෙන් කියනව නම් නිර්මාණකරුවා තුළ තියෙන ඇඟේ අමාරුවට. ඒගොල්ලො දිව්වත් නැතත් කොහොමත් ෆිල්ම්ස් කරනවා. ඒ නිර්මාණවල ලාභාංශයක් ගැන බලාපොරොත්තුවක් නෑ. එතකොට අන්න ඒ වගේ කලාත්මක සිනමා නිර්මාණ ප්රේක්ෂ්කයාගෙන් ඈත් වෙන්න පුළුවන්. ඒ වගේම කාලයක් යද්දි අමතක වෙලා යන්නත් පුළුවන්. මොකද ඔය කියන නිර්මාණවල ජනප්‍රිය සිනමා ගති ලක්ෂණ නොමැති නිසා. මං කියන්නෙ අන්න ඒ වගේ තැන්වලට තමයි ජූරියක් මඟින් ඒ අදාළ නිර්මාණය ප්‍රේක්ෂකයාට මතක්කර දීමක් කරලා, කිසියම් ඇගයීමකට ලක්කරලා, සංවාදයක් ඇති කරලා සම්මානයක් දිය යුත්තෙ. නොතේරෙන දේවල් හොයාගෙන ගිහිල්ලා ඒක සිනමාපටයක් බවට පත්කරන නිර්මාණකරුවෙකුට සම්මානයක් දෙන එක අසාධාරණයක් නෑනේ.
සමහරු කියනවා ලංකාවෙ සිනමාව කර්මාන්තයක් විදිහට තියෙන්නෙ මාර අප්සෙට් තැනකලු?
මුලින්ම කියන්න ඕන ලංකාවෙ සිනමා කර්මාන්තය කඩා වැටෙන්නෙ කලාත්මක සිනමාව හින්දා නෙමෙයි. ඒක කර්මාන්තයේ ප්‍රශ්නයක්. ඒවගේම ඒක වානිජ සිනමාවේ ප්‍රශ්නයක්. වානිජ සිනමාව තියෙන්නෙ පැවැත්මට. කලාත්මක සිනමාව තියෙන්නෙ ආත්ම තෘප්තියට. පැහැදිලිවම මේ දෙක දෙකක්. ඒක පටලවා ගන්න හොඳනෑ. අවාසනාවකට දැන් වෙලා තියෙන්නෙත් ඒක. ඒකට හොඳම උදාහරණය තමයි ඔය පහුගිය දවස්වල තිබිච්ච දෙරණ සිනමා උළෙල. එහි ගත්ත තීරණ දිහා ටිකක් සංවේදී විදිහට බැලුවොත් අවුල පේනවා. එහෙම්පිටින්ම ඒක විකාරයක්.
ඔබ ඔය චෝදනාව කරන්නෙ කිසියම් කලකිරීමකින් හරි තරහකින් හරි නේද?
අනේ නෑ... මං ඔබට මුලදිත් කිව්වා මට කා එක්කවත් එහෙම කිසිම තරහක් නෑ. මට ඕන මේ යන වැරදි ගමන වෙනස් කරන්න විතරයි. ඒකෙදි මට සම්මාන කීයක් නැති වුණත් කමක් නෑ. කවදමහරි ඔය කියන අය මේක තේරුම් ගත්තොත් ඒක තමා අපේ රටේ සිනමාවට ලැබෙන ලොකුම සම්මානය.
ඔය කියන විදිහට වැරදි නිවැරදි වෙනකල් මේ රටේ සම්මාන උළෙලකට විමුක්ති ජයසුන්දර ඉදිරිපත්වෙන එකක් නෑ?
ඔව්... මම එහෙම තීරණයක් අරන් තියෙන්නේ. මොකද අපි අපිවම රවට්ටගන්න එක තේරුමක් නෑනේ.
ඒත් ඔබට රටේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වගකීමක් තියෙනවා?
ඔව්, මම ඒක තමයි මේ කරන්නෙ. මම සංවාදය පටන්ගත්තා. ඒවගේම මම හැමෝටම මේ සංවාදය විවෘත කරනවා. මම ඕනම කෙනෙක් එක්ක මේගැන සාකච්ඡා කරන්න සූදානම්. ප්රගතිශීලීන් ඉන්නව නම් ඉදිරිපත් වෙන්න. අපිට මේ වැරදි හදාගන්න බැරිවෙන එකක් නෑ.
-සකු විතානගේ