දශක ගණනක් පුරා සුභාවිත ගීයෙන් රසික සිත් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන ගිය දීපිකා කලකට පසු අප සමග කතාබහකට එක්වෙමින් සිය සංගීත ජීවිතයේත් පෞද්ගලික දිවියේත් නැවුම් තොරතුරු හෙළි කළේ මේ ආකාරයටය.
ප්‍රවීණයින් වර්තමානයේ නිහඬ බව බොහෝ අය පවසන්නේ ඔවුන්ගේ නව නිර්මාණ අසන්නට නොලැබෙන නිසා... ඊට හේතුව කුමක්ද ...?
ප්‍රවීණයින් නව නිර්මාණ නොකරනවා නොවෙයි. ඒ නව නිර්මාණවලට මාධ්‍යයේ ඉඩකඩ නොලැබිමයි ප්‍රවීණයින්ගේ නව නිර්මාණ නොඇසෙන්නට හේතුව.. මමත් නව නිර්මාණ සඳහා දායක වුණා.. පසුගිය වසරේ “මාද ඔබම විය” ටෙලි නාට්‍යයේ පසුබිම් ගායනය වෙනුවෙන් වසරේ හොඳම ටෙලි නාට්‍යය පසුබිම් ගායිකාවට හිමි සම්මානය මට හිමිවුණා.. ඒ ගීතය රචනා කළේ සුනිල් ආර් ගමගේ. රංජිත් ප්‍රේමවීර සංගීතවත් කළා. මේ දිනවලත් මා පසුබිම් ගීතය ගයන “මාද නුඹමයි” විකාශය වනවා.. මහින්ද චන්ද්‍රසේකර රචනා කළ එම ගීතය සංගීතවත් කළේ මහින්ද බණ්ඩාර.. ඊට අමතරව මගේ අලුත්ම ගීත 17ක් ඇතුළත් “මගේ ජීවිතේ” නමින් මාධ්‍ය ආයතන සඳහා නිකුත් කළ සංගීත තැටියත් මාධ්‍ය ආයතනවලට භාරදීලා තියෙන්නේ..
ඔබේ ඒ අලුත් ගීතවලට මාධ්‍යය තුළ ඉඩක් තියෙනවාද .. ?
සමහර මාධ්‍යවල ඒ ගී ප්‍රචාරය වන බව ගී අහපු අය මට කිව්වා..ඒ කොහොම උණත් අද තියෙන වාතාවරණය තුළ මිනිස්සුන්ට විඳින්න පුළුවන් ගීතවලට මාධ්‍යය තුළ ලැබෙන ඉඩ අඩුයි.
ඝෝෂාකාරී සංගීතය ගැනත් ඒ තුළින් බිහිවන නව පරපුර ගැනත් බොහෝ ප්‍රවීණයන් කතාකරන්නේ අප්‍රසාදයෙන් .. ඔබත් සිටින්නේ එතැනද ..?
මම නම් නව පරපුරට දොස් පවරන්නේ නැහැ.. පහුගිය කාලය පුරාවට කාලෙන් කාලෙට බිහි වූ රැලි මම දැක්කා.. ඒ තුළින් බිහි වූ අය වගේම එදා මෙදා තුර ඇවිත් පැවැතුන අයත් දැක්කා.. අදත් සංගීතය තුළ විවිධ පෙරැළි සිදුවනවා.. ඒ තුළින් විවිධ අය බිහිවනවා.. ඒ අය කළ යුත්තේ තමන් විසින් තමන්ට සීමා සහ වාරණ ගොඩනගා ගැනීම.. සමාජය වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස පෙරදැරිව යමක් කළොත් ඒ අයත් පවතින අය අතරට එකතු වේවි ..
නව පරපුරේ දක්ෂයින් සිටිනවා කියා ඔබ සිතනවාද.. ?
අනිවාර්යයෙන් ඔව්.. දක්ෂයින් සිටිනවා.. නම් වශයෙන් සඳහන් කරන්නට ගියොත් එක් අයෙකුගේ හෝ නම සඳහන් කරන්නට අතපසු වීමක් වුණොත් ඒ අයට ලොකු අසාධාරණයක් වනවා. මම නව පරපුරේ පද රචකයින් සංගීතවේදීන් සමග පවා නිර්මාණ ඉදිරිපත් කර තියෙනවා. මුලින් සඳහන් කළ “මගේ ජීවිතේ” ගී තැටිය සඳහාත් ප්‍රවීණයින් වගේම නව පරපුරත් එක්වුණා..
“මගේ ජීවිතේ” ගැන වැඩි විස්තර දැනගන්න රසික පිරිස කැමති වේවි.. ? ..
මහාචාර්ය සමන්ත හේරත්, ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර, සුනිල් ආර් ගමගේ, බණ්ඩාර ඇහැලියගොඩ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආචාර්ය චන්ද්‍රසිරි ජයකොඩි, මාලනී ජයරත්න, අතුල රන්සිරිලාල්, සමිත ආර්. ලියනගේ වැනි ප්‍රවීණයින් වගේම රවි සිරිවර්ධන, නුවන් ලියනගේ, සුගත් ෆොන්සේකා, චාමික කුමාර, කාශ්‍යප සත්සප්රිය, වසන්ත විජේකෝන්, අතුල ජයදේව, මහින්ද නාමල්, ඉන්දික අප්පුරාල වැනි පිරිසක් මේ නිර්මාණ සඳහා දායක වුණා. විවිධ තේමා යටතේ නිර්මාණය කළ ගී මීට ඇතුළත්. විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා.. මහින්ද නාමල් රචනා කල කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළ මා ගැයූ “බුදු නෙතින් දකින්නට” ගීතයත් මීට ඇතුළත්. ඒ ගීතයට ජයන්ත චන්ද්‍රසිරි විසින් කළ අපූරු රූප රචනාවකුත් තියෙනවා. එය අන්තර්ජාලයෙන් නරඹන්නටත් පුළුවන්.
අද වනවිට ගීතයක් ජනප්‍රිය කරවන්නට රූප රචනාවක් අත්‍යාවශ්‍ය බවයි බහුතරයකගේ මතය .. දීපිකාත් තමන්ගේ ගී සඳහා රූප රචනා නිර්මාණය කරන්නේ ඒ නිසාද ..?
මම රූප රචනා කරලා ගීත ජනප්‍රිය කරවාගන්න හදන කෙනෙක් නෙවෙයි. මට ඒක අවශ්‍ය නැහැ.. මෙම ගීතයට රූප රචනාවක් කළේ එය සුවිශේෂ එකක් නිසා.. ජයන්ත චන්ද්‍රසිරි මහතාත් රූප රචනා කරන්නේ නෑ.. ඔහු මීට දායක වුණෙත් මෙහි වූ සුවිශේෂත්වය නිසා. ගීතය අන්තර්ජාලයෙන් නරඹලා ඕනෑම කෙනෙකුට එය වටහාගන්නට පුළුවනි. මෙහිදී තවත් දෙයක් කිව යුතුයි.ගීත ජනප්‍රිය කරවන්න රූප රචනා අවශ්‍ය බව ඇතැමුන් කීවාට ජනප්‍රිය ගීත සඳහා රසික පිරිසම රූප රචනා කරලා අන්තර්ජාලයට දානවා.. මගේ “සුදු හංසි” සංයුක්ත තැටියේ සියලුම ගීත සඳහා නිර්මාණය වූ රූප රචනා අන්තර්ජාලයේ ඇති බව මමත් දැනගත්තේ ඒවා නැරඹූ අය කියද්දී.. මම ඒ තරුණ ළමයින්ට මේ මොහොතේ ස්තුතිවන්ත වනවා..
දීපිකා දැන් ගුරු සේවයෙන් විශ්‍රාම අරගෙනද ඉන්නේ .. ?
ඔව්. වසර 27ක් පුරා සංගීත ගුරුවරියක ලෙස ගුරු සේවයේ යෙදුන මම කලින්ම විශ්‍රාම ගත්තා. දැන් සම්පූර්ණ කාලයම යොදවන්නේ කළුබෝවිල පිහිටි “විශාරද දීපිකා ප්‍රියදර්ශනී සෞන්දර්ය ශාලිකාව“ සඳහා.. ඒ වගේම මගේ අම්මා මේ වනවිට වියපත් වී සිටින නිසා ඇගේ කටයුතුවලටත් කාලය අවශ්‍යයයි. ඒ හින්දයි මම ස්වකැමැත්තෙන්ම ගුරු සේවයෙන් විශ්‍රාම ගියේ.
ඔබ එළැඹෙන 8 වැනිදා නෙළුම් පොකුණේදී “අමයුරු සර” වෙනුවෙන් ගයනවා.. ගෘහස්ත ප්‍රසංග සඳහා පමණද දීපිකා සහභාගි වන්නේ ..
එළිමහන් ප්‍රසංග නරඹන පිරිසට ඇතැම්විට මිලක් ගෙවා ගෘහස්ත ප්‍රසංග නරඹන්නට හැකියාව නැති වන්නට පුළුවනි. අපේ රසික පිරිස ඒ අය අතර ඉන්නට පුළුවනි.. අප එළිමහන් ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීම ඒ අයට කරන අසාධාරණයක් වන්නට පුළුවනි.. ඒ හින්දා මමත් එළිමහන් ප්‍රසංග සඳහා ගී ගැයූ කාලයක් තිබුණා.. අදට වුවත් ඊට අකමැත්තක් නැහැ.. ඒත් එළිමහන් ප්‍රසංග සඳහා සහභාගී වීමෙන් ගැටලු රැසක් මතුවුණා.. ඒ නිසා ඉබේම ඉන් දුරස්වුණා. එළිමහන් ප්‍රසංගවලට නියමිත වේලාවක් නෑ.. සමහර ප්‍රසංග රෑ පටන් ගත්තම පහුවදා අළුයම වනතුරු පවතිනවා.. මම ගුරු වෘත්තියේ ඉන්න කාලේ රෑ ප්‍රසංගවලට ගිහින් පහුවදා ඉස්කෝලේ යන එක අසීරු වුණා. අනෙක එවැනි ප්‍රසංග නරඹන්නන් එන්නේ ගීත විඳින්න බලාගෙන නෙවෙයි නටන්න බලාගෙන.. එවැනි ප්‍රායෝගික ගැටලු නිසා එළිමහන් ප්රසංගවලින් ඈත්වුණාට නිසි ප්‍රමිතියක් තුළ එළිමහන් ප්‍රසංග කරන කාලයක් උදාවුණොත් යළි ඊට එක්වනවා..
ආරියවංශ කුලතිලක