තමන්ගේ ගෙදර මොන විදියේ හරි සාදයක් පැවැත්වෙනවා නම් පුංචි ළමයි ගොඩාක් කැමතියිනේ. ඇයි ඒ විතරක්ද? සාදයකට සහභාගී වෙන්න කියලා කාගෙන් හරි ආරාධනාවක් ලැබුණාම...? එහෙමත් නැතිනම් ගමේ තියෙන අවුරුදු උත්සවයට හරි සහභාගි වෙන්න කියලා කවුරුහරි කිව්වොත්. දෙකක් නෑ. ඉස්සෙල්ලාම මේ ගමනට පෙරමුණ ගන්නේ පුංචි ළමයිනේ.
ඒත් පුදුමේ කියන්නේ මම ඒකේ අනිත් පැත්ත. තේරෙන වයසේ ඉඳන්ම මම ඒ වගේ උත්සව අවස්ථාවලට කැමති නැහැ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකක්ද දන්නවද? මම බැලුම්බෝලවලට හරිම බයයි. හුළං පුම්බපු බැලුම් බෝලයක් දැකපු හැටියේ මාව තිගැස්සිලා යනවා. මොකද බැලුම් බෝලයක් පුපුරනකොට ඇතිවෙන සද්දෙට මම හරිම බයයි.
ඇත්තම කිව්වොත් ඒක කාටවත් නැති පුදුමාකාර බයක්. පාට පාට බැලුම් බෝල එල්ලලා තියෙන උත්සවයකට ගියාම මට හිතෙනවා මේ බැලුම් බෝල පුපුරලා ගියොත් කොහොම තියේවිද කියලා. අවුරුදු උත්සවවලනම් බැලුම් පිපිරවීමේ තරගයක් තියෙනවානේ. පුංචි කාලේ අවුරුදු උත්සවවලට ගියාම බැලුම් පිපිරවීමේ තරගවලට යන්න කියලා අම්මලාත් කියනවානේ. ඒ හින්දමයි මම අවුරුදු උත්සව මග හරින්නේ. අවුරුදු උත්සවයකට කවුරු හරි මාව බලෙන් එක්කරගෙන ගියොත් මම බලන්නෙම බැලුම් පිපිරවීමේ තරගය අවසන් වෙලාද කියලයි. එහෙම නැත්නම් මම පැත්ත පළාතක ඉන්නේ නැහැ. ගෙදර අයට මොකක් හරි බොරුවක් කියලා අවුරුදු උත්සවය මග හරිනවාමයි.
පුංචි කාලේ අම්මලා එක්ක පාටියකට ගියාම, එහෙම නැත්නම් අපේ ගෙදර පාටියක් පැවැත්වුණාම ගෙදර එල්ලපු බැලුම් බෝල බෙදා ගන්න පුංචි ළමයි පොර අල්ලනවානේ. ඒත් මම නම් පැත්තකට වෙලා ඔහේ ඉන්නවා. ඒ වගේම තමයි පොඩි කාලේ විවිධ සෙල්ලම් බඩු ලැබුණත් කවුරු හෝ කෙනෙක් බැලුම් බෝලයක් දුන්නොත් මම ඒක අතින්වත් අල්ලන්නේ නැහැ.
කාලයත් එක්ක වයසත් එක්ක පුංචි කාලේ තිබුණු මේ විදියේ පුරුදු හිතින් මැකිලා යනවනේ. ඒත් මට නම් අදටත් එහෙම වෙලා නැහැ. බැලුම් බෝලයක් පිපිරෙද්දී හරියට බෝම්බයක් පිපිරෙනවා වගෙයි මට නම් දැනෙන්නේ.
මගේ මේ ගති ලක්ෂණය මගේ ගෙදර අය වගේම සමීපතම යාළු මිත්රයොත් දන්නවා. එක දවසක් හරි වැඩක් වුණා. මට මගේ යාළුවෙකුගේ උපන් දින උත්සවයකට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා.
දැන් ඔන්න සාදය පැවැත්වෙනවා.
මමත් එතැන සතුටින් ඉන්නවා. ඒත් එක්කම මගේ කම්මුල ළඟ මොකක් හෝ ස්පර්ශ වෙනවා වගේ දැනුණා. මම හැරිලා බලද්දී බැලුම් බෝලයක්. හිතන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ බැලුම් බෝලය හඬ නංවමින් පුපුරලා ගියා. උත්සව සභාවක් කියලා මට මතක් වුණේ නැහැ. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. මගේ කෑ ගැහිල්ලට කවුරුත් බය වුණේ නම් නැහැ. හැමෝම මහ හයියෙන් මට හිනා වුණා. ටික වෙලාවක් ගියාම තමයි මම වෙච්ච දේ දැන ගත්තේ. මගේ යාළුවෝ තමයි මට හොරෙන් බැලුම් බෝලයක් මගේ කනට ළං කරලා පුපුරලා තියෙන්නේ. ඒ වෙලාවේ හිතේ ඇති වූ කම්පනයට මම ඒ අයට හොඳටම බැන්නත් එක්ක.
ඔය වගේම තවත් අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න මට සිදු වුණා. ඒක නම් සිදුවුණේ මම නිළියක් වුණාට පස්සේ. එක්තරා අවුරුදු උත්සවයකට ආරාධිත අමුත්තකු විදියට සහභාගි වෙන්න මට සිදුවුණා. ඔන්න මමත් දැන් අදාළ උත්සවයට ගියා. එහිදී තරග විනිසුරුවරියක ලෙස කටයුතු කරන්නත් මට සිදුවුණා. බැලුම් පිපිරවීමේ තරගය විනිශ්චය කරන්න වෙයිද කියන බයයි මගේ හිතේ තිබුණේ. හොඳ වෙලාවට මට තිබුණේ අවුරුදු කුමරිය තරගය ඇතුළු තරග කීපයක් විනිශ්චය කරන්නයි.
ඔන්න දැන් සියලුම තරග අවසන්.උත්සවය නිමාවන වෙලාවත් ළං වුණා. “අවසාන වශයෙන් පැවැත්වෙන්නේ සංවිධායක මඩුල්ල හා විනිසුරු මඩුල්ල සහභාගි වෙන බැලුම් පිපිරවීමේ තරගයයි”. නිවේදකයා මහ හයියෙන් කියද්දී මට උන් හිටි තැන් අමතක වුණා. ඒත් ඉතින් මොනවා කරන්නද? මගේ සැබෑ තත්ත්වය අනිත් අයට කියන්න බෑනේ. තරගයත් දැන් ආරම්භ වුණා. මම බැලුම් බෝලයක් හිමිට කටේ තියාගෙන ඉන්නවා හැමෝටම පේන්න. ඔය අතර බැලුම් බෝලය ටිකක් පුම්බනවා. ආයෙමත් හුළං අරිනවා. ඔය විදියට මම ඒ විනාඩි කිහිපය ගෙවා දැමුවත් දෙපැත්තෙන් ඩාං.... ඩෝං කියලා බැලුම් බෝල පිපිරෙද්දී මට උන් හිටි තැන් අමතක වුණා. ඒත් බොහොම අමාරුවෙන් දත් මිටි කාගෙන හිටියේ එහෙම නොකළා නම් හැමෝම මගේ රහස දැන ගන්න නිසයි.
ආරියවංශ කුලතිලක