මොකද කලකිරිලා වගේ?
එහෙම නෑ... වැඩක් කරගෙන පාඩුවෙ ඉන්නවා.
නළුවන්ට නිළියන්ගෙ ආශාව කියවන්න මෙච්චර අමාරු ඇයි?
ඇයි අප්පා ඔය වගේ ප්‍රශ්නයක් මගෙන් අහන්නෙ. ඒක හරි අසාධාරණයිනේ. ඊටත් ඕක පුද්ගල සාපේක්ෂ කරුණක්.
‘විරාගයේ’ අරවින්දත් කාන්තාවන් දෙදෙනෙකු ආශාවන් කියවා ගන්න බැරිව විනාශ වුණා. ඇත්තටම එහෙම වෙන්නෙ ඇයි?
මම ඔයාගෙ ඔය කතාවට සම්පූර්ණ විරුද්ධයි. වර්තමානයේ කාටහරි නිළියක් ගැන හරි, නළුවෙක් ගැන හරි කියව ගන්න බැරි එක වෙනම ම කතන්දරයක්. හැබැයි මං මේ ඔයාට කියන්නෙ අරවින්දව ඔතැනට දාන්න එපා. ඒක හරි නෑ. අරවින්ද කියන්නෙ ඉතාම හොඳින් තමන්ගෙ ජීවිතේ අවබෝධ කරගත්ත තැනැත්තෙක්. උත්තරීතර ආදරය නිසා තමයි ඔහුට දුක් විඳින්න සිද්ධ වුණේ. ඇත්තටම අරවින්ද කියන්නෙ පරාජිත චරිතයක් නෙමෙයි.
මං ඔයාට තව කතාවක් කියන්නම්, සිදුහත් කුමාරයා සැප විඳලා සැප විඳලා මාලිගාවෙන් ගියේ පරාජය වෙලා නෙමෙයිනෙ. කලකිරිලනෙ ගියේ. අන්න ඒ වගේ කතාවක් තමයි අරවින්දගේ කතාව. ඒත් මම කිසිම වෙලාවක සිදුහත් කුමාරයගෙයි, අරවින්දගෙයි චරිත සමාන කරන්නෙ නෑ.
චරිතයක් නිසා නළුවෙකුට චරිතයේ ආශාවට ආරූඪ වෙන්න බැරිද?
පුළුවන්. නළුවෙක්ට එහෙම වෙන්න පුළුවන්. ඒත් ඒවායේ යම් යම් සීමාවන් තියෙනවා. දැන් කාවහරි මරන්න තිබුණොත් ඇත්තටම මරන්න ඕන නෑනේ. කාවහරි දූෂණය කරන්න තිබුණොත් ඇත්තටම එහෙම කරන්න ඕන නෑනේ. ඇත්තටම ඔන්න ඔය කියන කාරණාව අවබෝධ කරගන්න එක තමයි රංගන ශිල්පියා තුළ තිබිය යුතු පරිකල්පනය, එහෙමත් නැත්නම් ඥානය.
ස්ත්‍රී ආශාව ප්‍රහේලිකාවක් බව දන්න හොඳම නළුවා ඔබ නේද?
කවුද අප්පා මං ගැන ඔහොම කියන්නෙ... (හිනා...)
ඉතින් මං අහපු එකට උත්තරයක් දුන්නෑනේ?
මට කවුරුහරි එහෙම කියනව නම් කියනවා ඇත්තෙ, ‘විරාගයේ ’ අරවින්ද චරිතය කිරීම සහ ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ භික්ෂුවකගේ චරිතය කරපු නිසා වෙන්න ඇති.ඔබට පිරිමි අකැමැති වෙන්නෙ ස්ත්‍රිය ආශාව පිළිබඳ සාක්ෂරතාව නිසාද?ඒක වැරදි අර්ථකථනයක්. මට පිරිමි අකැමැති නෑ.
එහෙම උදාහරණයක් කියන්න?
නෑ... එව්වා මගෙන් අහන්න එපා.
මොනවත් අහන්න බෑ කේන්ති යනවනේ?
කේන්ති යනවා නෙමෙයි මගෙන් අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා.
අනෙකෙකුට සාපේක්ෂව ඔබට ස්ත්‍රිය පිළිබඳ වැඩි සාක්ෂරතාවක් තියෙනවා කියන්නෙ ඇයි?
ඒක නම් මං දන්නෑ... සමහරවිට ඕක අඩුවෙන්ම තියෙන කෙනා මං වෙන්න ඇති. (හිනා...)
ඔබ බය විවාහයට ද? ස්ත්‍රී ආශාවට ද?
විවාහයට.
ඇයි ඒ?
ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්නේ. ඒවා කිව්වොත් හුඟක් අය ගැන එළිවෙනවනේ. ඉතින් කියන්න බෑ.
දැන් වයස කීයද?
ඒ මොකටද? (හිනා...)
තවමත් ජීවිතේ රහස් තියන් ඉන්නෙ ඇයි?
රහස් නෙමෙයි, සමහර දේවල් මම කිව්වොත් සමහර චරිතවලට ඒක හරි නෑ.
ඔබ ස්ත්‍රීයගේ අකැමැති මොනවටද?
මාන්නක්කාරකමට, අනවශ්‍ය බලපෑම්වලට, අනවශ්‍ය නැලවිල්ලට, හුරතල් වීමට... ඒවට තමයි අකමැති.
ඇත්තම කියන්න, ඔබ විවාහ නොවන්නෙ ආශාවේ ව්‍යාකරණය තෘප්තිය නොවන අතෘප්තිය නිසාද?
වැරදියි... වැරදියි... ඒ නිසා නෙමෙයි. මට මනුස්සකම් තියෙන කෙනෙක් මුණ නොගැසුණ නිසා. හැබැයි ඒකෙන් කියන්නෑ මට මෙච්චර කාලයකට එහෙම මනුස්සකම් තියෙන අය මුණ නොගැසුණාමයි කියලා.
හම්බවෙලත් මුණ නොගැසිච්ච, ඔබ ඔය හොයන ගෑනුකම මොකක්ද?
ස්ත්‍රියක් පිළිගන්න ඕන තමන් තුළ ගෑනුකමක් තියෙනවා කියලා. ගෑනුකමක් කියන්නෙ යටහත් පහත් වීමක් නෙමෙයි. එහෙම ගෑනුකමක් තියෙනවා කියල දැක්කහම තමයි පිරිමියෙක්ට ඕනකමක් ඇති වෙන්නෙ.
කෙළින් කියන්න, මොකක්ද ඔය වටේ ගගහා හංගන්න හදන දේ?
මං ඔයාගෙ ආර්ටිකල් කියවනවා. මට හිතුණා කවදාහරි දවසක මටත් දායි තොණ්ඩුව ලැහැස්තිවෙලා ඉන්න ඕන කියලා. ඔයා ඔය ප්‍රශ්නෙ මගෙන් ඇහුවෙ උත්තර දෙන්න බැරි වෙලාවක. ඔයාගෙ බෝල්වලට මං බොහොම අමාරුවෙන් බැට් කරනවා කියල හිතාගන්නකෝ... (හිනා...).
-සකු විතානගේ