මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදී ඔබට හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. ඒ ගැන මුලින්ම කතා කරමු?
මේ සම්මානය ලැබුණු එක ගැන සතුටුයි. ධර්මයුද්ධය චිත්‍රපටයේ මම කරපු චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා චිත්‍රපටය බලපු ප්රේක්ෂකයො වගේම විචාරකයොත් මාව ඇගයීමට ලක්කළා.
ධර්මයුද්ධය චිත්‍රපටයට ඔබට ආරාධනා ලැබුණේ දෙවැනි අවස්ථාවේදී කියන්නේ ඇත්තද?
ධර්මයුද්ධය චිත්‍රපටයේ මම කරපු චරිතය කරන්න කතා කරලා තිබුණේ සරත් චන්ද්‍රසිරි මහත්තයාට. ඊට පස්සේ මේකට ඕනෙ ටිකක් හැඩිදැඩි ශරීරයක් තියන කෙනෙක් නිසා නිෂ්පාදන අංශය මට කතා කරලා කිව්වා මෙහෙම චරිතයක් තියෙනවා කරන්න කියලා. පස්සෙ මම සරත් චන්ද්‍රසිරි මහත්තයාට මේ ගැන කිව්වා. එතුමා මට මේ චරිතෙ කරන්න එපා කියලා කිව්ව නම් මම කීයටවත් ඒ චරිත කරන්නෙ නෑ.
එතුමා මට කිව්වා ඔයා ගිහින් රඟපාන්න. ඔයා නොගියොත් වෙන කෙනෙක්ව හරි මේ චරිතෙට ගනියි කියලා. සරත් චන්ද්‍රසිරි එදා මට මේ චරිතෙට යන්න එපා කිව්වා නම් අද මට ධර්මයුද්ධයට සම්මානයක් නැහැ.
ධර්මයුද්ධය චිත්‍රපටයේ ඔබ නිරූපණය කළ චරිතය වෙනුවෙන් සම්මානයක් බලාපොරොත්තු වුණාද?
මෙහෙමයි, සනත් ජයසූරිය ඕනම පන්දුවකට පහර දුන්නේ රෙකෝඩ් තියන්න නෙමෙයිනේ. රට දිනවන්න. මාත් රඟපෑවේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙමෙයි. නිර්මාණය දිනවන්න. ඉදිරියේදී සම්බන්ධ වෙන නිර්මාණවලදීත් මම මගේ නිර්මාණය දිනවන්න වැඩ කරනවා.
සම්මානයක් පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසාද ඔබ සම්මාන උළෙලට නොගියේ?
පසුගිය වකවානුවලදී සම්මාන උළෙල ගැන කියන්නේ සම්මාන උළෙල පැවැත්වීමට නියමිත දිනය ළං වෙලා. සෙනසුරාදා, ඉරිදා මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන දවස්. වේදිකා නාට්‍යයක් කියන දෙයට නොගිහින් බැහැ. අම්මා, තාත්තා නැතිවුණ වෙලාවලදීත් මිනිය ගෙදර තියෙද්දි මට රඟපාන්න යන්න සිද්ධ වුණා. මට සම්මාන උළෙලට සහභාගි වෙන්න බැරි වුණේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න සිදුවුණ නිසා.
සම්මානයක් ලැබීම කියන්නෙ රංගන ශිල්පියකුට වටිනාකමක් ලැබුණා කියන එකට සාධකයක්ද?
ඔව්. ඒක වටිනාකමක්. යම් ඇගයීමක් කළා කියන එක හොඳ දෙයක්. සම්මානයක් ලැබුණේ නෑ වගේ හිතලා වැඩ කළොත් තව සම්මාන ගන්න පුළුවන්. ඒක බිමින් තියලා අලුතින් හිතන්න පුරුදු වෙන්න ඕනේ.
ඔබ මොනදේ කළත් වේදිකාව අතහරින්නේ නෑ. ඇයි මේ තරම් වේදිකාවට ඇල්මක්?
අපේ ජීවිතේ ගෙවනකොට විවිධාකාරයෙන් ක්ෂයවීම් වෙනවා. රඟපානකොටත් එහෙමයි. අපේ අත්දැකීම් ටෙලිනාට්‍ය, චිත්‍රපට වගේ දේවලට යොදවන කොට ක්ෂය වෙනවා. නමුත් අපි වේදිකාවට ගියාම ඒ ක්ෂය වුණු දේවල් නැවත එකතු කරගන්නවා. වේදිකාව තුළින් ඉගෙන ගන්න දේවල් තමයි ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ආදියේදී අපි එළියට දාන්නේ. චිත්‍රපට, ටෙලිනාට්‍යවලදී වගේ නෙමෙයි වේදිකාවේදී සජීවීව ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ තරම් සතුටක් රංගන ශිල්පියකුට තවත් නැහැ. සෞඛ්‍ය සම්පන්නව ඉන්නත් වේදිකාව රුකුලක්. අපිට දුවන්න ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ. අපේ දහදිය හැලෙන්නෙ වේදිකාව මත. වේදිකාව කියන්නේ ඕනි ඕනි අයට ඇවිල්ලා සෙල්ලම් දාන්න පුළුවන් තැනක් නෙමෙයි. දක්ෂ මිනිසුන්ට විතරයි වේදිකාවේ හරියට කෙළින් හිටගන්නවත් පුළුවන්.
රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ රංගනයට වගේම පසුබිම් ගායනයටත් එකතුවෙන්න අවස්ථාව ලැබුණා නේද?
රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ පසුබිම් ගායනය තමයි මගේ පළමුවැනිම පසුබිම් ගායනය. ඇත්තටම මට මේක ගොඩක් වැදගත්. ලංකාවේ චිත්‍රපටවල චිත්‍රපටයේ ප්‍රධාන නළුවා සින්දු කියන අවස්ථා ගොඩක් අඩුයි. මම දන්න විදියට එහෙම ගායනා කරලා තියෙනවා විජය කුමාරතුංග මහත්මයා. රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයේ මම ගයන ගීතය ලිව්වේ චිත්‍රපටයේ අධ්යක්ෂතුමා. එය සංගීතවත් කළේ ශාන්ත පීරිස් මහත්මයා.
මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්න අනෙක් නිර්මාණ මොනවාද?
මේ දවස්වල 'බල්ලොත් එක්ක බෑ - 2' වේදිකා නාට්‍යයේ රඟපානවා. සුසිරන් ද සිල්වාගේ චිත්‍රපටයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවගේම අහස් මාලිගා සහ හඳයා කියන ටෙලිනාට්‍යවලත් රඟපානවා.
වේදිකා නාට්‍ය වෙනුවෙන් ලබන අවුරුද්දෙ ජනවාරි වෙනකම්ම හැම සෙනසුරාදා සහ ඉරිදා දිනයක්ම වෙන්කරගෙන ඉන්නේ.
අලුත් වැඩකටත් අතගහන්න යනවා කියලා ආරංචියි?
ඔව්. සරත් කොතලාවල සහ මම එකතුවෙලා ළඟදීම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. චිත්‍රපටයේ පිටපත සහ අධ්‍යක්ෂණය යන දෙකම අපේ. ප්‍රධාන චරිත දෙක රඟපාන්නෙත් අපි දෙන්නා. "News Paper" තමයි චිත්‍රපටයේ නම.
ඉරේෂා කල්හාරි සේනාධීර