සමාජය අගයන, ජනප්‍රිය වී තිබෙන හා නිවැරදි යැයි සිතන යම් යම් දේවල් පිළිබඳ ප්රතිකියැවීමක් විදිහට මේ කෙටිකතා හැඳින්වීම ගැන මම එකඟයි. සමාජය යළි යළිත් කියැවීම හා විවිධ ආකාරයෙන් කියැවීම අවශ්‍යයි. එසේ නොවුණොත් කිසියම් කතිකාවකින් ‘හොඳ’ යැයි කියා සම්මත කෙරුණු ‘නරක’ වුවත් ‘හරි’ යැයි කියා පිළිගන්වනු ලැබූ ‘වරද’ වුවත් ඒ ආකාරයෙන් ම සමාජයේ තැන්පත් වීමට ඉඩ තිබෙනවා. සමාජය යළි කියවීම සඳහා සාහිත්‍යය හොඳ මාධ්‍යයක්.
මෙවර හොඳ ම කෙටිකතා සංග්‍රහය ලෙස රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබූයේ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ ‘ගිහින් එන්න කානිවල්‘ කෘතියයි. ඇයගේ පළමු කෙටිකතා සංග්‍රහය ම මෙසේ සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයයි.
ඔබේ පළමු කෙටිකතා සංග්‍රහය ‘ගිහින් එන්න කානිවල්‘ මෙවර රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ගැන ඔබට දැනෙන හැඟීම..
එය ඉතා අසිරිමත් සිදුවීමක් ලෙසයි දැනෙන්නේ.
සම්මාන කියන වචනයත් එක්කම විවේචන, වාද විවාද ඈඳෙනවා. සම්මාන දෙස ඔබ බලන්නේ කිනම් දෘෂ්ටිකෝණයකින් ද?
ඒ ඒ අය යමක් දිහා බලන ආකාරය විෂමයි; විවිධයි. මේ කාරණය සාහිත්‍යයේදීත් අදාළයි. භින්න රුචිකත්වය නිසා යමෙකු හොඳ ම පොත කියා තෝරන පොතට තව කෙනෙකු ඒ ස්ථානය නොදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම සම්මාන දීම සඳහා විනිශ්චය මණ්ඩලයක් යොදා ගන්නා නිර්ණායක අනුවම නෙවෙයි, සාමාන්‍ය පාඨකයන් පොතක් හොඳයි කියන්නේ. මේ නිසා සම්මාන ලබන කෘති ගැන විවිධ පෞද්ගලික මත ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. සම්මානයක් කියන්නේ ලේඛකයකුගේ කාර්යභාරය ඇගයීමක්. එය සතුටක් බව මම අත්දැක තිබෙනවා.
මේ කෘතියට ඔබ බොහෝ සැලකිල්ලෙන් තෝරාගත් කෙටිකතා 8ක් ඇතුළත්. මේ තෝරාගැනීම ගැන කතා කළොත්..
කාලයක් තිස්සේ ලියපු කෙටිකතා අතරින් තෝරාගත් කතා අටක් තමයි මේ පොතට ඇතුළත් කළේ. එහිදී කෙටිකතාවලින් නියෝජනය වන සමාජ ස්තර, ආඛ්‍යාන ක්‍රමවේදය හා භාෂා රීතිය යන කාරණා අතින් විවිධත්වයක් නිරූපණය වන කතා සඳහා අවධානය යොමු කළා. තේමාමය අතින් සැලකුවත් මේ කතා බහුවිධාකාරයි. ‘පෙතියා’ හැරුණු විට සෙසු කෙටිකතා රචනා වුණේ සත්‍ය සිදුවීම් මත. ‘අග්නි ප්‍රේත වස්තුව’ හා ‘ගිහින් එන්න කානිවල්’ යන කතා මගේම අත්දැකීම්. සෙසු කතා වෙනත් අයගෙන් මම ඇසූ සත්‍ය සිදුවීම්. ඒ කතා මගින් මෙරට සමාජයේ හරස්කඩක් නිරූපණය වෙනවා යැයි සිතෙනවා.
‘ගිහින් එන්න කානිවල්‘ රාමු දෙකේ කතාවක්. ඔබ සංස්කෘතික විපරීතයන්ට හසු වූ ජීවිත නැවත කියවනවා...
එය සිදු වන්නේ මේ කෘතියේ ඇතුළත් බොහෝ කෙටිකතා තල දෙකකින් සමන්විත නිසා විය හැකියි. ඒවායේ මතුපිට තලයකුත් සිතාමතා ගොඩනංවන ලද දෙවැනි තලයකුත් තියෙනවා. මතුපිට තලය පමණක් ග්‍රහණය කරගෙන හුදෙක් කතාන්දරයක් වශයෙන් පමණක් මේ කෙටිකතා කියවන්නත් පුළුවන්. ඒ වගේම, මතුපිට තලයේ එකලස් කර තිබෙන නිර්වාග්මය සංඥා ආශ්රයෙන් ගැඹුරු තේමාත්මක මානයකට පිවිසෙන්නත් සූක්ෂ්මව කියවන පාඨකයෙකුට හැකියාව තිබෙනවා. නිදසුනක් ලෙස ‘ගිහින් එන්න කානිවල්’ කතාව ගත්තොත්, එහි මතුපිට තලයේ තියෙන්නේ මධ්‍යම පාන්තික ජීවිතයේ දින චර්යාවට අයත් සාමාන්‍ය විස්තර. ඒත් බණ්ඩාරනායක ප්‍රතිමාව, කානිවල් අයිස්ක්‍රීම්හල හා අනගාරික ධර්මපාල සැමරුම යනාදී රූපක ආශ්රයෙන් එහි ගොඩනැගූ තලය මෙරට සමාජ විපර්යාසය, දේශපාලනය වැනි දේ පිළිබිඹු කරන්නක්.
සමාජය අගයන, ජනප්‍රිය වී තිබෙන හා නිවැරදි යැයි සිතන යම් යම් දේවල් පිළිබඳ ප්රතිකියැවීමක් විදිහට මේ කෙටිකතා හැඳින්වීම ගැන මම එකඟයි. සමාජය යළි යළිත් කියැවීම හා විවිධ ආකාරයෙන් කියැවීම අවශ්‍යයි. එසේ නොවුණොත් කිසියම් කතිකාවකින් ‘හොඳ’ යැයි කියා සම්මත කෙරුණු ‘නරක’ වුවත් ‘හරි’ යැයි කියා පිළිගන්වනු ලැබූ ‘වරද’ වුවත් ඒ ආකාරයෙන්ම සමාජයේ තැන්පත් වීමට ඉඩ තිබෙනවා. සමාජය යළි කියවීම සඳහා සාහිත්‍යය හොඳ මාධ්‍යයක්. ඔබ නම් කළ කෙටිකතා තුනෙහි තේමා වර්තමාන සමාජයේ ජනප්‍රිය කතිකාවලට සම්බන්ධයි. ඒ තේමා ගැන මීට පෙර වෙනත් ලේඛකයන් ලියා තිබෙනවා ඇති. ලේඛකයන්ගේ විවිධ කියැවීම් ඔස්සේ සමාජ සංවාදයක් ගොඩ නැඟෙනවා. මං දකින ආකාරයට ඒ සංවාදය තමයි පාඨකයාගේ චින්තනය හැඩ ගස්වන්නේ.
ඔබ ෆැන්ටසියට වඩා යථාර්ථයට නැඹුරු නිර්මාණකරණයකයි යෙදෙන්නේ...
මම අවබෝධ කරගෙන සිටින විදිහට යථාර්ථය ඉක්මවන ප්රතිනිර්මාණ ක්‍රම සාහිත්‍යයට යෙදීම වුවමනා වන්නේ එබඳු ක්‍රම මගින් වඩා තියුණුව තමාගේ අදහස ප්‍රකාශ කරන්නයි. මෝස්තරකාරී ලෙස පශ්චාත් යථාර්ථවාදී ප්රතිනිර්මාණ ක්‍රම යෙදීම අවශ්‍ය නැහැ. මේ කෙටිකතා සංග්‍රහයේ කතා දෙක තුනක යථාර්ථය ඉක්මවා යන ස්ථාන තිබෙනවා. අත්හදා බැලීමක් වශයෙන් මම ඒ ප්‍රයෝග යෙදුවේ යථාර්ථවාදීව කියනවාට වඩා තියුණුව ඉන් කතාවේ අදහස ඉස්මතු කළ හැකි යැයි සිතූ නිසයි. ඒ වගේම, විවිධ අලුත් ප්රතිනිර්මාණ ක්‍රම බිහි වුවත් යථාර්ථවාදී ක්රමයේ අගය අඩු වී නැහැ. යථාර්ථය නිර්මාණයක යෙදෙන විදිහ සංස්කෘතියෙන් සංස්කෘතියට වගේම එකම සංස්කෘතියේ වුණත් ලේඛකයාගෙන් ලේඛකයාට පවා වෙනස් වෙන්න පුළුවන්.
නිර්මාණකරණයේදී ජීවිතාවබෝධයට හිමි තැන ගැන ඔබේ අදහස....
කෙටිකතාවක් කියන්නේ හුදෙක් කතාන්දරයක් නෙවෙයි. කතා රසය රකිමින් ඉන් ඔබ්බට ගිය තේමාත්මක මානයක් ඊට ප්‍රවේශ කිරීම අවශ්‍යයි. මේ තේමාත්මක මානය තමයි ලේඛකයාගේ දෘෂ්ටිය හෙළි කරන්නේ. සමාජය ගැන ලේඛකයාගේ නිරීක්ෂණය සහ ඒ පිළිබඳ ඔහුගේ හෝ ඇයගේ දැක්මේ ප්‍රමාණය මේ මානය හැසිරවීමට උපකාර වෙනවා.
මේ කෙටිකතාවල නැවුම් බවක්, වෙනසක් පෙනෙනවා. කොහොමද එහෙම වුණේ?
ඒ සඳහා හේතු කිහිපයක් බලපානවා ඇති. එක් හේතුවක් තමයි මෙය අලුත් ලේඛිකාවකගේ කෙටිකථා සංග්‍රහයක් වීම. යමෙකුට ආවේණික ශෛලියක් තියෙනවා. ඒ තැනැත්තා කෙටිකථා සංග්‍රහ කිහිපයක් පළ කරනකොට පාඨකයින් ඒ ශෛලිය හඳුනා ගන්නවා. ඒ නිසා තමයි ලේඛකයින් ආකෘතිකමය හා භාෂාමය අත්හදා බැලීම් සිදු කිරීම වැදගත් වන්නේ. ඒත් මගේ ශෛලිය තවම පාඨකයන්ට හුරු නැති නිසා නැවුම් බවක් දැනෙනවා ඇති. දෙවනුව, ඇතැම් කතාවල වස්තු බීජයේ නැවුම් බව. කානිවල් ගිහින් අයිස් ක්‍රීම් රස බලපු අය තව ඇති. ඒත් අග්නි ප්‍රේත වස්තුවේ හෝ සිලි සිලි සිරි සිරි කතාවේ මූලික අත්දැකීම තව තැනක තියෙන්නට විදිහක් නැහැ. අග්නි ප්‍රේත වස්තුවේ පසුබිම මම සකසා ගත්තේ මගේ ගම් ප්‍රදේශය ආශ්රයෙන්. මේ සංග්‍රහයේ කතා කිහිපයකම හැසිරෙන්නේ සත් කෝරලේ සහ රජරට මිනිස්සු. කතා කරන්නේ ඔවුන්. මගේ උපන් ගම කුරුණෑගල දිස්ත්‍රික්කය වුණත් මගේ දෙමවුපියන් වසර ගණනාවක් අනුරාධපුරයේ ජීවත් වූ නිසා ඒ ප්‍රදේශයත් මට හුරු පුරුදුයි. රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් ලේඛන කලාවට ඇවිත් ඔවුන්ගේ අත්දැකීම් ගැන ලියන විට, ඒ ඒ ප්‍රදේශවල වාක්කෝෂය හසුරුවන විට නැවුම්බවක් නිරායාසයෙන්ම ඇති වෙනවා. තුන් වැනි කාරණය තමයි කෙටිකතාවල ආකෘතිකමය විවිධත්වය. මේ හේතු කිහිපයම ඔබ කියන නැවුම් බවට හේතු වන්නට ඇති.
ධම්මික සෙනවිරත්න