“මට මහණ වෙන්න හිතෙනවා කියලා කුසුම්ට කිව්වා. කොච්චර වටිනවද ශ්‍රියන්ත ඒ වගේ සිතුවිල්ලක් ආපු එකත් කියලා එයා මට කිව්වා.
මොකද එයත් ආගම දහමට බොහොම ළැදි කෙනෙක්. එයත් කිය කියා ඉන්නේ කවදා හරි දවසක මහණ වෙනවා කියලා.”
“ශ්‍රියන්ත මෙන්ඩිස් පැවිදි දිවියට” යනුවෙන් ඔබ සිවුරක් දරාගෙන සිටින ඡායාරූප වගයක් මේ දිනවල අන්තර්ජාලය පුරා සැරිසරනවා. මේ ඡායාරූප පෙළ පිටුපස ඇති ඇත්තම කතාව මොකක්ද?
මම පැවිදි වෙලා කියලා ඔය විදියට අන්තර්ජාලය පුරා සැරිසරන්නේ ස්වාමීන් වහන්සේ නමක් ලෙස මා නිරූපණය කළ ටෙලි චිත්‍රපටයක ඡායාරූප පෙළක්. “තේරලෝකා’ කියන ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ මේ ටෙලි චිත්‍රපටය වෙනුවෙන් තමයි මම ඔය විදියට සැරසුණේ.
මේ ඡායාරූප දෙස බැලූ විට නම් පෙනෙන්නේ ඔබ ඇත්තටම හිස මුඩු කළ බවක්?
ඔව්. ඒක තමයි ඔතන තියෙන මැජික් එක. ඔහොම පෙනුනට මම මගේ හිසකෙස් මුඩු කළේ නැහැ.
ඒ ඔක්කොම වේෂ නිරූපණ ශිල්පියාගේ හපන්කම්. ඔහු තමයි නාරද තොටගමුව කියන දක්ෂ අංග රචනා ශිල්පියා. ඔහු මුඩු හිසක හැඩය තිබෙන හිස් ආවරණයක් මා වෙනුවෙන් යොදා ගත්තා.
භික්ෂුවක් ලෙස මා පෙනී සිටින ඡායාරූප දුටු බොහෝ දෙනෙක් ඔබ වගේම මගෙන් අහනවා ‘‘ශ්‍රියන්ත ඇත්තටම හිස මුඩු කළාද’’ කියලා. ඒත් මෙතනදී මට තව දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම මම හිස මුඩු නොකළාට මගේ උඩු රැවුල නම් සම්පූර්ණයෙන්ම කපා දැමුවා. ඒකත් මේ ටෙලි චිත්‍රපටය වෙනුවෙන් මා කළ කැප කිරීමක්.
මේ ටෙලි චිත්‍රපටයේ කතා තේමාව මොන වගේ එකක්ද?
“ත්‍රෛලෝකා” කියන මේ ටෙලි චිත්‍රපටයේ හැටියට ස්වාමීන් වහන්සේ නමක් ජීවත් වෙන පරිසරයක, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වශයෙන් විවිධ ජන කොටස් ජීවත් වෙනවා. මේ ජන කොටස් එකතු වෙන්නේ එක්තරා අවස්ථාවකදී පමණයි. ඒ ක්‍රීඩා කටයුත්තක්. නමුත් පැමිණෙන සමාජ ආර්ථික, දේශපාලන ප්‍රශ්නත් එක්ක මෙහෙම එකට සමගිව හිටපු ජනකොටස් විරසක වෙනවා. එක්තරා අවස්ථාවකදී ඒ විදිහට විරසක වුණාම ක්‍රීඩා කණ්ඩායම හරියට එකතු කරගන්න බැරි වෙනවා. එහිදී මේ විරසක පිරිස එකතු කරන වගකීම පැවැරෙන්නේ භික්ෂූන් වහන්සේ නමක් වූ මටයි.
මේ වගේ පූජනීය චරිතයක් නිරූපණය කිරීම අනෙකුත් චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මේ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
ඇත්තම කියනවා නම් මගේ ජීවිතේ මීට පෙර මම කිසිම දවසක ස්වාමීන් වහන්සේ නමකගේ චරිතයක් නිරූපණය කරලා තිබුණේ නැහැ. නමුත් ප්‍රදීප් ධර්මදාස කියන අධ්යක්ෂවරයා බොහෝම නිර්භයව ඒ වගකීම මට භාර දුන්නා. නමුත් මේ ටෙලි චිත්‍රපටයේ ස්වාමීන් වහන්සේගේ චරිතය ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපානවා කිව්වම සමහරුන්ගේ ඇස් ටිකක් උඩ ගියා.
ඒ මොකද?
මැරයෙක් වගේ රඟපාන මම මේ වගේ චරිතයක් කොහොමද කරන්නේ කියලා හිතලා වෙන්න ඇති (සිනා) ඒත් මම බොහෝම ගෞරවයෙන්, පරිස්සමෙන්, බුදුන් වැඳලා තමයි මේ චරිතෙට අවතීර්ණ වුණේ. සිවුර ඇඟලා ගත්තට පස්සේ මම ඒ සිවුරේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට තමයි දර්ශන තලයේදී වුණත් හැසිරුණේ. අනවශ්‍ය විහිළු තහළු වුණත් සිවුර දාගත්තට පස්සේ මම කරන්න ගියේ නැහැ.
ජීවිතේ කවදා හෝ දවසක ඇත්තටම මහණ වෙන්න ඕනේ කියලා ඔබට හිතිලා නැද්ද?
ඇත්තටම ඔය අහපු ප්‍රශ්නයත් එක්කම ඔයා මගේ හිත කියෙව්වදෝ කියලායි මම මේ කල්පනා කළේ. එදා සිවුර ඇඟලා ගත්තම පුදුමාකාර පහන් හැඟීමකුත් එක්ක භක්තියක් මගේ හිතට ආවා. චරිතය රඟපාලා ගෙදර ආවට පස්සේ බිරිඳ කුසුම්ට මම කිව්වා “කුසුම් මට මහණ වෙන්නත් හිතෙනවා” කියලා. කුසුම් ඒ වෙලාවේ මට කිව්වා, කොච්චර වටිනවද ශ්‍රියන්ත ඒ වගේ සිතුවිල්ලක් ආපු එකත් කියලා. මොකද එයත් ආගම දහමට බොහොම ළැදි කෙනෙක් එයත් කිය කිය ඉන්නේ. කවදා හරි දවසක මහණ වෙනවා කියලා.
ඒ කියන්නේ කුසුම්-ශ්‍රියන්ත කියන අපේ රටේ ඉන්න ජනප්‍රිය තරු යුවළ කවදා හරි දවසක ඇත්තටම මහණ වෙනවා.
දැන් කොහොමත් අපි දෙන්නා දරුවන්ගේ වැඩ කටයුතු වලිනුත් නිදහස් වෙච්ච අයනේ. ඒ නිසා ආගම ධර්මය පැත්තට අපි වැඩියෙන් නැඹුරු වෙලයි ඉන්නේ. ඒත් මහණ වෙනවාමයි. හරියට කියන්න බැහැ. එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
සමන්මලී නැලිගම