රාජකරුණා නවරත්න අතපත්තු මුදියන්සේලාගේ විජේරත්න බණ්ඩා වරකාගොඩ... ඔන්න ඔහොමනෙ උප්පැන්න සහතිකේ ලියැවිලා තියෙන්නෙ... කියමුකො කුරුණෑගල ගමේ ඉපදුණු ඒ අතීතය ගැන...?
මගේ අම්මගේ ගම කුරුණෑගල. හාරිස්පත්තුවේ වරකාගොඩ කියන ගම තමයි මගේ අප්පච්චිගේ ගම වෙන්නෙ. හැබැයි මම ඉපදුණේ, හැදුණේ වැඩුණේ මගේ අම්මගේ ගමේ. මගේ අප්පච්චි පොලිස් නිලධාරියෙක්. මම ඉපදුණු කාලේ අප්පච්චි අලව්ව පොලීසියේ ස්ථානාධිපති විදිහට තමයි රාජකාරි කළේ. මම ඉපදුණේ 1933 අවුරුද්දෙ. කුරුණෑගල ටවුමේ ඉඳන් අපේ අම්මලාගේ ගෙදරට හැතැප්ම ගාණක් තියෙනවා. ඒක ලේසි පහසු දුරක් නෙමේ.
අප්පච්චි පොලිස් නිලධාරියෙක් නිසාම ඔබටත් විවිධ තැන්වලට යන්න වුණා නේද...?
ඔව් ඔව්... අප්පච්චිගේ මාරුවීම් එක්කම මුළු පවුලම විවිධ පැතිවලට මාරුවෙන්න සිද්ධවුණා. ඒ නිසා අලව්වෙන් කුරුණෑගලට, එතැනින් මාරවිලට, පුත්තලමට, කුරුණෑගලට, හෙට්ටිපොළට වගේ විවිධ පැතිවලට ගෙදර හැමෝටම මාරුවීම් ලැබුණා. ඔහොම රවුමක් ගහලා ආපහු අප්පච්චි කුරුණෑගලට ආවා.
ඔය පොලිස් මාරුවීම් එක්ක ඔබට පාසල් ගණනාවකම ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙන්න ඇති..?
ඔව්... පොලීසිවලින් මාරුවෙවී යද්දී අපේ ඉස්කෝලත් මාරුවුණා. ඒ කාලේ වැඩිපුර ඉස්කෝලත් තිබුණේ නෑ. වැඩිපුරම කතෝලික ඉස්කෝල තමයි තිබුණේ. ඉතින් මුලින්ම මම මාරවිල කතෝලික විදුහලෙන් හෝඩිය ඉගෙන ගත්තා. ඊටපස්සෙ පුත්තලමේ ශාන්ත ඇන්ඩ_ කන්‍යාරාමයෙන් දෙවැනි කැලෑසිය මම ඉගෙන ගත්තා. අද ඒක ලොකු ඉස්කෝලයක්. ඒ කාලේ ඒ කන්‍යාරාමයේ ඉගැන්වුවේ කන්‍යා සොහොයුරියන්. ඊටපස්සෙ කුලියාපිටිය ශාන්ත ජෝසප් විදුහලෙනුත් ඉගෙන ගත්තා. ඔන්න ඉතින් කුලියාපිටියේ හෙට්ටිපොළට අප්පච්චි මාරුවෙලා ගියාම ඉගෙන ගන්න හෙට්ටිපොළ ඉස්කෝලයක් තිබුණේ නෑ. ඒ තරම්ම නොදියුණු පළාතක් තමයි එහේ තිබුණේ. ඒ නිසා මාව වරකාගොඩ ගමේ ගලගෙදර පාසලට ඇතුළත් කළා. ඒකෙ අවුරුද්දක් ඉගෙන ගනිද්දී අප්පච්චි කුරුණෑගලට මාරුවෙලා ආවා. ඊටපස්සෙ මම කුරුණෑගල ශාන්ත ආනා විදුහලට ඇතුළත් වෙලා එස්.එස්.සී විභාගයෙන් සමත්වෙලා කොළඹ ආනන්ද විදුහලට ඇතුළත් වුණා.
බොහෝ පාසල්වල ඉගෙනගත්තු ඔබ බොහෝ රැකියාවලුත් කළා නේද..?
ඔව් ඔව්... ඒකත් හරිම රසවත් මතකයක් තමයි. මම ඉගෙනගෙන ඉවරවුණාට පස්සෙ මටම රස්සාවක් කරන්න ඕනෙ කියලා හිතිලා රස්සාවල් පහකටම එකපාර ඉල්ලුම්පත්‍ර දැම්මා. ඒ කාලේ රස්සාවල් හොයාගන්න අද කාලෙ වගේ දේශපාලනඥයන් පිටිපස්සෙ යන්න ඕනෙ නෑ. කාගෙන්වත් ලියුම් ගේන්න ඕනෙත් නෑ. තමන්ගේ හැකියාවන්වලට අනුව රස්සාවල් තියෙනවා. මම මුලින්ම සමූපාකාර පරීක්ෂක තනතුරට, ග්‍රාමීය සංවර්ධන නිලධාරී තනතුරට, ලංකා බැංකුවේ ලිපිකරු තනතුරට සහ පොලීසියට අයදුම්පත්‍ර දැම්මා. ඔය හැම තනතුරුවලින්ම මට උත්තර ආවා. මුලින්ම මාව ලංකා බැංකුවට තමයි බඳවාගත්තෙ. ලංකා බැංකුවේ මට මුලින්ම ලැබුණු රාජකාරිය තමයි චෙක්පත් මාරුකිරීමේ රාජකාරිය. ඔය කාලයේදී මම පෙනීහිටිය ලිපිකරු විභාගයෙන් මම ඉහළින්ම සමත්වෙලා තිබුණා. දිවයිනෙන්ම මම දෙවැනියා විදිහට සමත් වුණා. ඒ නිසා මට කුරුණෑගල කච්චේරියට පත්වීම් ලැබුණා. ඊටපස්සෙ මම බැංකුවට ආයුබෝවන් කියලා කච්චේරියේ වැඩ බාරගත්තා.
නමුත් කච්චේරියෙත් දිගුකාලයක් ඔබ රාජකාරියේ යෙදුණේ නැහැ නේද...?
නැහැනෙ... ඒ කාලේ ලංකා බැංකුවේ මගේ පඩිය වුණේ මාසයකට රුපියල් හැටයි. හැබැයි අපේ අප්පච්චිට ඕනවුණේ මාව රජයේ රැකියාවක් කරන පුතෙක් කරන්න. ඉස්සර ලංකා බැංකුවේ විශ්‍රාම වැටුප් ක්‍රමය තිබුණේ නෑ. ඉතින් කච්චේරියේ රැකියාව කරන අතරතුරේ පොලීසියෙනුත් මට කැඳවීමක් ලැබුණා. ලිඛිත පරීක්ෂණයෙන් මම පාස්වුණා. හැබැයි කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් උසයි පපුවයි මනිද්දී උසින් මම පාස්වුණාට පොලීසියට හරියන පපු ප්‍රමාණයක් මගේ තිබුණේ නෑ. ගෙදර ගිහින් මම උළුවස්සේ එල්ලුණා. බිත්තර ගහලා බිව්වා. ව්‍යායාම් කළා. ඒ හැමදෙයක්ම කරලා ඊළඟ පාර ගිය ගමන් ඒකෙනුත් මම පාස්වුණා. කොහොමහරි අවසාන පරීක්ෂණ තුනකට මම ගියා. 1956 වසරේ උප පොලිස් පරීක්ෂකවරයෙක් විදිහට මම වැඩ බාරගත්තා. මම හය මාසයක් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊටපස්සෙ මට කොළඹ නගරයේ මුල්ම පත්වීම ලැබුණා.
කොළඹ කොටුවේ පොලිස් නිලධාරියෙක් විදිහට සේවය කරන එකත් ලේසි නැහැ නේද...?
ඔව් ඔව්... ලේසි නෑ. පොලිස් ජීවිතේ ඉතාමත් අමාරු රාජකාරි තියෙන තැනක් තමයි පිටකොටුව කියන්නෙ. මාවයි මගේම ඥාති සහෝදරයෙක් වුණු පුස්සැල්ලවයි තමයි අපේ බැච් එකෙන් පිටකොටුවේ රාජකාරියට දැම්මේ. අපි දෙන්නම එකම පාපන්දු කණ්ඩායමේ සෙල්ලම් පවා කළා. ඉස්සර මම හොඳ ක්‍රීඩකයෙක්. ඉස්කෝලවල ඒ කාලේ මම හරි ජනප්‍රියයි. ඉතින් ඒ කාලේ පිටකොටුවේ පොලිස් ස්ථානාධිපති වුණේ ඒ.සී. ලෝරන්ස් මහතායි. ඔහු අවංක නිලධාරීතුමෙක්. ඉස්සර මම පොලීසියට ආව ගමන් මගේ මුල්ම රාජකාරිය වුණේ රාත්‍රී මුර සංචාරයයි. ඉතින් අපි පැය අටක් විතර පිටකොටුවේ රාත්‍රියේ මුර කළා. එකදිගටම මාසයක් විතර රාත්‍රී මුර සංචාරය කරලා ඉවරවුණාට පස්සෙ ලෝරන්ස් මහත්තයා මට පිටකොටුවේ එකතැනක් බාරදීලා එතැන රාජකාරිය කෙරෙව්වා. ඒක ලේසි පහසු රාජකාරියක් නෙමේ. ඊටපස්සෙ මාව ට්‍රැෆික් ඩියුටි දැම්මා. රථවාහන අංශයේ හිටපු සාජන් ප්‍රනාන්දුගේ බයිසිකලේ පිටිපස්සෙ නැඟලා මම ඒ රාජකාරියත් කළා. සාජන් ප්‍රනාන්දුට පිටකොටුවේ බිස්නස් කරපු අය හරි බයයි. බස්වල කොන්දොස්තරවරැ ඩ්‍රයිවර්වරු අපේ බයිසිකලේ දැක්කාම දෙකට තුනට නැවෙනවා. ඊටපස්සෙ මාව අපරාධ පරීක්ෂණ අංශයට යොමුකළා. ඔය වගේ පොලීසියේ හැම අංශයකටම මාව දැම්මා. ඒ හැමදෙයකින්ම අලුත් අත්දැකීම් ගොන්නක් ජීවිතයට එකතු කරගත්තා. මට මතකයි පිටකොටුව වැඩ බාරගත්ත ගමන්ම පොලීසියේ අවුරැදු විසිපහ තිහ රාජකාරි කරපු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මට පැත්තකට කතා කළා. පුතා.. උඹ ඇවිත් තියෙන්නෙ පොලීසියේ රත්තරන් නිදානයකට. පිටකොටුවෙන් හොඳට හම්බකරන්න පුළුවන්. මාස්පතා උඹට ඇනිලොප් ගලාගෙන ඒවි. ඒවා ගන්න ඕනෙ... කියලා කිව්වා. හැබැයි මම කවදාවත් කාගෙන්වත් පගාවල් ගත්තෙ නෑ. මම පොලිස් නිලධාරියකු ලෙස අවංකව සේවය කළා.
පොලීසියේ රාජකාරිය කරන කාලෙදීම ඔබට කලාවට සම්බන්ධ වෙන්න ලැබුණනෙ... ඒ මතකය ටිකක් අවදි කළොත්...?
ඔව්... මම කොටුව පොලීසියේ ඉන්න කාලේ පොලීසියේ සංගීත වැඩසටහන් තිබුණා. නත්තල් මාසෙ සංගීත වැඩසටහන් අවුරුදු පතාම පැවැත්වුවා. තනිකඩයන්ගේ බැරුක්කේ තමයි ඔය ප්‍රසංගය පැවැත්වුවේ. ඉතින් එකපාරක් ඔය ප්‍රසංගය සංවිධානය කරන්න මට බාරවුණා. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ කලාකරුවන්ට කලාකාරියන්ට තමයි මේ ප්‍රසංගයට ආරාධනා කළේ. ලංකාවේ නම් දරාපු සියලුම ගායක ගායිකාවන් මේ ප්‍රසංගයට ආවා. සල්ලි සතපහක්වත් ගෙවන්නෙ නෑ. හැබැයි හොඳට කන්න බොන්න දුන්නා. ඉතින් ඔය ගායක ගායිකාවන්ට ආරාධනා කරන රාජකාරිය පැවරුණේ මට. හැම ප්රසංගයකටම මමත් සින්දුවක් දෙකක් කිව්වා. ඒ කාලේ මට ලස්සනට සින්දු කියන්න පුළුවන්. ඔය අතරේ පී.එල්.ඒ. සෝමපාල මහත්තයා ගුවන්විදුලියේ ආධුනික පැය කියලා වැඩසටහනක් තියෙනවා, ඇවිත් සින්දුවක් කියන්න කියලා මටත් ආරාධනා කළා.
එදා ආධුනික පැය වැඩසටහනේ ඔබ ගැයූ ගීතය මතකද..?
හොඳට මතකයි. එදා මම කිව්වේ සිසිර සේනාරත්නගේ යනවද මා දමා කියන්න සුන්දරිය කියන සින්දුව. ඒකට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් එක්කම ගුවන්විදුලියේ සරල ගී ගායකයන් තෝරාගැනීමේ පරීක්ෂණයක් තිබිලා ඒකටත් මම සහභාගි වුණා. ඒකෙදීත් මම කිව්වේ මේ ගීතයමයි. ඒකෙන් මම a ශ්‍රේණියේ සරල ගී ගායකයෙක් හැටියට තෝරාගත්තා. ඔන්න මම ප්‍රසිද්ධ කලාවට අවතීර්ණ වුණු විදිහ. ඒ 1960 වසරේදීයි. ඒ අවුරුද්දෙම ගුවන්විදුලියේ නාට්‍ය ශිල්පීන් තෝරාගැනීමේ පරීක්ෂණයක්ද තිබුණා. ඒකටත් මම ඉදිරිපත් වුණා. ඒකෙන් මම සමත්වෙලා ගුවන්විදුලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා.
පොලීසියේ ඉන්න කාලෙම ඔය දේවල් කරන්න කාලය තිබුණද...?
ඔව්... පොලීසියේ රාජකාරිය කරද්දී මම ඒ වෙනුවෙන් කාලය යෙදෙව්වා. ඊටපස්සෙ කලාවට කාලය යෙදෙව්වා. ඉස්සර මම රාජකාරිය ඉවරවෙලා බයිසිකලේ චිත්‍රපට එහෙම ෂූටිං කරන තැන්වලට ගිහින් බලාගෙන ඉන්නවා. මම කලාවට හරි ආදරෙයි. ඉතින් 1962 අවුරුද්දෙ ඒ කාලේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණු රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් රූපගත කිරීම් කරන තැනට ගිහින් මමත් බලාගෙන හිටියා. දවසක් උසාවියක තිබුණු දර්ශනයක රඟපාන්න හිටපු නීතිඥවරයෙක්ගෙ නොපැමිණීම නිසා රොබින් හිටියේ හරිම අප්සෙට් එකෙන්. බැරිම තැන රොබින් මා ළඟට ඇවිත් වරක්ස් මේ චරිතය කරන්න පුළුවන්ද? කියලා ඇහුවා. මම එකපාරටම කැමති වුණා. ඔන්න ඉතින් සුහද දිවිපිදුම චිත්‍රපටයෙන් මම සිනමාවටත් අවතීර්ණ වුණා. ඊටපස්සෙ ගම්පෙරළිය, ලා දලු, දෙලොවක් අතර, අක්කර පහ, බැද්දේගම, බාඳුරා මල්, දරුවනී වගේ බොහෝ චිත්‍රපටවල රඟපෑවා.
ඔබේ මුල්ම වේදිකා නාට්‍ය වුණේ අජාසත්ත වේදිකා නාට්‍ය...?
ඔව්.. 1962 අවුරුද්දෙ තමයි අජාසත්ත නාට්‍යයට සම්බන්ධ වුණේ. ගුවන්විදුලියේ ඉඳිද්දී පී. වැලිකල මහත්තයා කලා මණ්ඩලයෙන් තියන නාට්‍ය තරගයකට නාට්‍යයක් කරනවා. ඒකෙ චරිතයක් කරන්න කැමතිද? කියලා ඇහුවා. ඉතින් මාව ඔන්න අජාසත්ත නාට්‍යයට තෝරගත්තා. ඒ නාට්‍යයේ බිම්බිසාර රජුට මම රඟපෑවා. ඒ නාට්‍ය තරගයෙන් හොඳම ශෛල්යගත නළුවා වුණේ මමයි. එතැනින් පස්සෙ මනමේ, සිංහබාහු, කුවේණි, අපට පුතේ මඟක් නැතේ, හුණුවටේ කතාව මෙන්ම තවත් බොහෝ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
ඔය නාට්‍ය තරගාවලියේදී නේද ඔබේ ආදරණීය බිරිය මුණගැහුණේ...?
ඔව් ඔව්.. ඒ තරගයට හෙන්රි ජයසේනගේ කුවේණි නාට්‍යයත් ඉදිරිපත් වුණා. එතකොට කුවේණිගේ දුවට රඟපෑවේ චිත්රායි. එතකොට මගේ නෝනා ඉස්කෝලෙ යන දැරිවියක්. ගවුම් කොටේ ගහගෙන ඇවිත් නාට්‍ය පුහුණුවීම් කරන පුංචි දැරිවියක්. ඉස්සර අපි කොළඹ රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ පන්ති කාමරවල තමයි පුරුදු වුණේ. අපි එක කාමරයක අජාසත්ත පුරුදු වුණා. තව කාමරයක කුවේණි පුරැදු වුණා. ඉතින් අපි නිතර නිතර දැක්කා. හැබැයි ඊටපස්සෙ මාව හෙන්රිගේ කුවේණි නාට්‍යයේ පූරකගේ චරිතයට තෝරගත්තා. ඉතින්... රට පුරාම කුවේණිත් එක්ක අපි ගියා. චිත්රායි මමයි ගොඩක් කිට්ටු වුණා. හැබැයි ඒ කාලේ මේ පුංචි කෙල්ලගේ අම්මත් තනි නොතනියට ආවා. හැබැයි ඉතින්... කොහොමහරි අපි 1963 ඉඳන් අවුරුදු හතක් ආශ්‍රය කරලා ආදරය කරලා විවාහ වුණා. අපිට දරුවන් දෙදෙනෙක් ලැබුණා. දුව වින්ද්‍යා වරකාගොඩ. පුතා ජනනාත් වරකාගොඩ. කාලයත් එක්ක ඒ දරුවන් දෙදෙනාම කලාවට ආදරේ කළා. කලාවට සම්බන්ධ වුණා. අද මමයි චිත්රායි මිණිපිරි මුණුපුරන්ගේ ආදරය ලබන ආච්චියි සීයයි. ඒ ආදරය ජීවිතයට හරි වටිනවා.
ඔබ අවුරුදු ගණනාවක්ම මුවන්පැලැස්සේ කෝරළේආරච්චි. ඒක හරි අපූරුයි නේද...?
ඔව්... අදටත් අපි නොකඩවාම මුවන්පැලැස්ස පටිගත කිරීම් කරනවා. හැම සඳුදාම ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ රෑ අටහමාරේ සිට රෑ නවය වනතුරු ප්‍රචාරය වෙනවා. දැන් මේ මුවන්පැලැස්ස පටන්ගෙන අවුරුදු පනස් හතරක් වෙනවා. ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය වගේම ලෝකයේ දෙවැනි දීර්ඝ ගුවන්විදුලි නාට්‍ය ලෙසින් මුවන්පැලැස්ස හඳුන්වනවා. ඒ ගුවන්විදුලි නාට්‍යයේ මුල්ම කෝරළේආරච්චි තමයි තවමත් මේ ඉන්නෙ. එකම චරිතය අවුරුදු පනස් හතරක් රඟපානවා කියන එකත් ලේසි පහසු කටයුත්තක් නෙමේ.
මුවන්පැලැස්සට අමතරව මේ දවස්වල කරන නිර්මාණ මොනවද...?
පැරණි කැලෑහඳ චිත්‍රපටය ටෙලිනාට්‍යයක් කරනවා. ඒකෙ මම රඟපානවා. ගිහාන් රෝහණගේ ටෙලිනාට්‍යයකත් මමයි චිත්රායි දෙන්නම රඟපානවා. කොහොමත් මම සම්බන්ධ වුණු චිත්‍රපට හය හතක් විතර තිරගත වෙන්න තියෙනවා. ඒවා කවදා පෙන්නයිද කියලා කියන්න මම දන්නෙ නෑ. තවම චිත්‍රපට පෝලිමේ ඒ හැම එකක්ම තියෙනවා. මේ දවස්වල අපි රාවණා කියන වේදිකා නාට්‍යයක් පුහුණුවීම් කරනවා. ඒක නාමල් වීරමුණි තමයි අධ්‍යක්ෂණය කරන්නෙ. ඉතින්.. මොන දේ තිබුණත් අදටත් මම කලාවට හරි ආදරෙයි. වේදිකාවට හරි ආදරෙයි.
දේශය