දිනක්ෂි... කොහොම හරි නංගිත් එක්ක නටලා දිනුවා නේද?... මොකද අද හිතෙන්නේ?
ම්... ගොඩාක් සතුටුයි. අපේ මේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩාක් දෙනෙක් මහන්සි වුණා... ගයාන් සර්ට (ගයාන් ශ්‍රී මාල්) වගේම ඒ නර්තන කණ්ඩායමේ හැමෝටම ස්තූති කරන්නම ඕනේ... අනිත් ටීම් දෙකත් ගොඩාක් දක්ෂයි. අපේ හොඳ යාළුවෝ... ඉතින් අවසානයේදී අපි ජයග්‍රහණය කළා. ඒ ගැන සතුටුයි.
මේ දවස්වල දිනක්ෂිට වැඩ වැඩියි කියලයි ආරංචිය...?
චුට්ටක් විතර වැඩ වැඩියි. වැඩසටහන්වල වැඩයි, රූගත කිරීම් එක්කයි චුට්ටක් විතර කාර්යබහුල වෙලා ඉන්නවා. පසුගිය කාලයේ රියැලටි වැඩසටහනත් එක්ක තවත් කාර්යබහුල වුණා. සමහර දවස්වල රූගත කිරීම් කරලා එහෙම්මම ඩාන්සින් ප්‍රැක්ට්‍රිස් කරන තැනට යනවා. ඉතින් ඒවාත් එක්ක ටිකක් වැඩ වැඩිවුණා.
රියැලිටි වැඩසටහනට ආරාධනා ලැබුණාට පස්සේ මොකද හිතුණේ...?
අපි දෙන්නට මුලින්ම මේකට ආරාධනා ලැබුණමත් අපි ගොඩාක් සතුටු වුණා. ශනුටයි මටයි දෙන්නටම ඕන වුණේ කොහොම හරි හොඳ නිර්මාණ කරන්නයි. ශනුයි මායි එකතු වෙලා මීට කලින් රියැලිටි වැඩසටහනකට සහභාගි වෙලා තිබුණේ නැහැ. මේක නංගිගේ පළවෙනි වතාව. ඉතින් මේ තරගයේදීත් එයාලා කිව්වේ බැඳීමක් තියෙන අය අතරේ තියෙන තරගයක් කියලා. එක්කෝ සහෝදර බැඳීම, මවුපියන් දරුවන් බැඳීම, හොඳම යාළුවන්ගේ බැඳීම, නෑදෑ බැඳීම වගේ බැඳීම් අතරේ තියෙන බැඳීමක් තමයි මේක. ඉතින් ඒකත් වෙනස් වැඩසටහනක්. ඒ නිසා අපි දෙන්නා හරිම ආසාවෙන් මෙම තරගයට සහභාගී වුණා. ඒ සම්බන්ධ වුණු හැම කපල් එකකම මොකක් හරි සම්බන්ධයක් තිබුණා. අපි දෙන්නට අපේ හැකියාව පෙන්වන්න මේ තරගය ගොඩාක් උදව් කළා.
වේදිකාවක් තුළ දෙන්නා මෙහෙම මුලින්ම නැටුවට දිනක්ෂියි, ශනුයි හරි හරියට ගෙදරදීත් එකට නටනවනේ...?
ඔව්... ඔව්... කොහොමටත් ගෙදරදී නම් නටාගත්තු ගමන් තමයි. ඒක මේ වැඩසටහන පටන් ගන්න කලින් ඉඳන්ම, පුංචි කාලේ ඉඳන්ම අපි නටනවා. සින්දුවක් ඇහුණ ගමන් ශනු තමයි මුලින්ම නටන්න පටන් ගන්නේ. ඒ වුණාට මෑතකදී අපි දෙන්නටවත් එකට හම්බවෙන්න තිබුණු අවස්ථාව අඩුවුණා. නංගිගේ නාට්‍යයත් එක්ක, එයාගේ ඉගෙනීම් කටයුතුත් එක්ක එයා කාර්යබහුල වුණා. හැබැයි මේ වැඩසටහන නිසා අපි දෙන්නට එකට කාලය ගතකරන්න අවස්ථාව ලැබුණා.
තරගයට දෙන්නා ගෙදරදීත් පුහුණුවීම් කළාද...?
ඔව්... ගෙදරදීත් පුහුණුවීම් කළා... ගොඩාක් වෙලාවට අපි මහ රෑ තමයි පුරුදු වෙන්න පටන්ගත්තේ. දවල් වරුවල එක්කෝ මට ෂූටිං තිබුණා. එහෙම නැත්නම් නංගීට තිබුණා. ඉතින් මහ රෑට රියසල් කරන තැන් වහනවනේ ඉතින් ගයාන් සර්රුයි, ටීම් එකේ නංගිලා මල්ලිලයි අපේ ගෙදර ඇවිත් මහ රෑ එකොළහට දොළහට තමයි රියසල් කරන්න පටන් ගන්නේ. ඉතින් අපි සමහරදාට පාන්දර වෙනකම් රියසල් කළා.
ශනුද්‍රි මොනවගේ නංගී කෙනෙක්ද...?
ශනු මට වඩා අවුරුදු හතක් බාලයි. ඉතින් පොඩි කාලේ ඒ වයස් පරතරයත් එක්ක අපි දෙන්නා අතරේ කිට්ටු බැඳීමක් තිබුණේ නැහැ. නමුත් දැන් එයා වයසින් ගොඩාක් බාලයි කියලා මට තේරෙන්නේ නැහැ. එයා දැන් සමාජයේ දේවල් ගොඩාක් වටහාගෙන ගොඩාක් කට්ටිය ආශ්‍රය කරන නිසා ඒවාත් එක්ක එයාට අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ නිසා අද වෙනකොට ශනු ගැන මට ගොඩාක් ආඩම්බරයි. අද මොකක් හරි ගැටලුවක් ඇතිවුණොත් ඒවා විසඳගන්න වුණත් හොඳ මොළයක් තියෙනවා. දැනටනම් එයා කියන්න තරම් මෝඩ වැඩක් කරලා නැහැ. එයාට වගකීම් දරන්න හැකියාවක් තියෙනවා.
ශනුට කේන්ති යනවාද...?
අම්මෝ ඔව්... එයා ටිකක් නෙමේ ගොඩාක් සැරයි. සෑහෙන්න කේන්ති යනවා. හැබැයි කේන්ති ගියාම එයා හරියට සෝඩා බෝතලේ වගේ තමයි. කේන්ති ගියාම කෑ ගහලා, බැණලා, එයා කේන්තිය පිටකරනවා. සමහර වෙලාවට කොච්චිකරල වගේ හරිම සැරයි. එයා නම් හිතාගෙන ඉන්නේ මම එයාට බයයි කියලා. හැබැයි මම නම් එයාට බය නැහැ. (ශනු මේක දැකලවත් අක්කා ගැන ඇත්ත දැනගත්තොත් තමයි හොඳ) ලොකු නංගීත් එක්ක කේන්ති යනවට වඩා ශනු මාත් එක්ක තමයි වැඩිපුර කේන්ති ගන්නේ. පසුගිය දවස් ටිකේම මට වෙලාවට රියසල් එන්න බැරි වුණානේ. ඉතින් ආපු වෙලාවෙම මෙයාගේ මූණ දෙක වෙලා. “මොනවද අනේ... වෙලාවට එන්නකෝ කියලා කෑ ගැහුවට විනාඩි පහකින් ඇඟට තුරුල් වෙලා අර කේන්තිය ඔක්කොම ඉවරයි. ඇත්තටම සමහර වෙලාවට මගේ නංගිලා දෙන්නම මගේ හොඳ යාළුවෝ දෙන්නෙක් වගේයි. අපි තුන්දෙනාම හරි එකතුයි.
ගෙදරදී දෙන්නා කෑ ගහද්දී අම්මා ගන්නේ කාගේ පැත්තද...?
අම්මා එහෙම කාගෙවත් පැත්ත ගන්නේ නැහැ. අම්මා හරි පැත්තේ තමයි ඉන්නේ. ශනු වැරැද්දක් කළොත් ඒ වැරැද්දට එයාට දඬුවම් දෙනවා. මම කළොත් මටත් එහෙම්මම තමයි. හැබැයි පවුලේ බාලයා නිසා ශනුගේ පැත්තේ මුලින් ඉන්නවා. හැබැයි අන්තිමේදී එයාටම බණිනවා. අම්මා අපි තුන්දෙනාටම එක වාගේම ආදරෙයි.
ශනුට උයන්න පුළුවන් කියලා ආරංචියි...? ඒ උයන කෑම කන්න පුළුවන්ද...?
ඔව්... ඔව්... එයාට උයන්නත් පුළුවන්. ඒවා කන්නත් පුළුවන්. එයාට කේක් එහෙම හරි රහට හදන්න පුළුවන්. හැබැයි සමහරක් ඒවා නම් කන්න බැහැ... කටේ තියන්නවත් බැහැ. හැබැයි පුදුමේ කියන්නේ එයා හදන හැම කෑමක්ම එයාට හරි රසයි. සමහර කෑම හදන්න ගිහින් වැරදිලා අපිට කටේවත් තියන්න බැරි වෙද්දී එයා. “මාරයි... හරි... රසයි... ෂෝක්... කිය කියා එයාම කනවා. ඔය ප්‍රශ්නේ එන්නේ රෙසපි එකත් මුලින්ම හදද්දී තමයි. දෙපාරක් තුන් පාරක් එකම රෙසපි එක හැදුවම නම් ඉතින් හරිම රසයි... සමහර රෙසපි හදන්න ගිහින් රසේ වෙනස් වුණාම ඒකට එයාම අලුත් නමක් දාගන්නවා.
අක්කලා, නංගිලා තුන්දෙනාම ගෙදර ඉදිද්දී මොනවාද කරන්නේ...?
තුන්දෙනාම එකට ගෙදර ඉන්නේ නැති එකම තමයි ප්‍රශ්නේ. ඒ වගේ වෙලාවට අපි ෆිල්ම් බලනවා. හැබැයි ඒ බලන්න ගියත් එතකන් රණ්ඩු. සමහර වෙලාවට මම කැමැති ෆිල්ම් එකට ශනු කැමති නැහැ. එයා කැමති එකට මම කැමති නැහැ. ෆිල්ම් එකක් බලන්න ගියත් රණ්ඩු. ඇඳුමක් අඳින්න ගියත් රණ්ඩු. හැබැයි ඒ රණ්ඩුව ටික වෙලාවයි තියෙන්නේ. අපි ගෙදර ඉන්න දවස්වලට උයනවා. ඒ වෙලාවට තුන්දෙනාම එකට කුස්සියේ. ඉතින් අම්මගෙන් තුන්දෙනාටම බැනුම්.
ශනු නිසා වැඩියෙන් සතුටු වුණු දවසක් මතක් කළොත්...?
පසුගිය කාලේ විවිධ හේතූන් නිසා එයාට විවිධ මඩ ප්‍රහාර එල්ල වුණා. නොදැනුවත්කමින් සිදුවුණු දේවල් නිසා සමහරු එයාට චෝදනා කළා. ඒ එල්ලවුණු මඩ ප්‍රහාරත් එක්කම තමයි එයා ඒලෙවල් කළේ. ඒ කාලේදී අපි එයාගේ අධ්‍යාපනය ගැන බය වුණා... ඒ වුණත් එයා ඒලෙවල්වලට හොඳම ප්‍රතිඵල ගත්තා. යුනිවසිටි එකේ පළමු වසරේදී එයාට හැම විෂයටම හොඳ ප්‍රතිඵල ලැබුණා... එයා රිසාලිට් කියපු වෙලාවේ මට ගොඩාක් සතුටු හිතුණා... ශනුට මොනතරම් මඩ එල්ල වුණාත් එයා ඒ හැමදේම අභිබවා නැගිට්ටා.
අනිත් අය දකින ශනුද්රිට වඩා එයා ශක්තිමත් කෙනෙක්ද...?
ඔය කවුරුත් දකින ශනු නොවේ සැබෑ ශනු වෙන්නේ. බොහෝ දෙනා ශනු ගැන එක එක විදිහට හිතනවා. ශනු කියන්නේ හරිම සංවේදී නංගි කෙනෙක්. එයා හරිම ආදරණීය නංගී කෙනෙක්.
ඔය තුන්දෙනා කලාවට සම්බන්ධ වීම ගැන තාත්තා අද මොකද කියන්නේ...?
තාත්තා අපි තුන්දෙනා කලාවට සම්බන්ධ වීම ගැන හරිම සතුටුයි. අපි රඟපාන නාට්‍ය හැම එකක්ම බලන්න එයාට වෙලාව ලැබෙනවා හරිම අඩුයි. හැබැයි අපේ හැමදේටම තාත්තාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපිව කලාවට එකතු කරන්න ලොකු ආසාවක් තාත්තාගේ තිබුණා... ඒ නිසා අද අපේ තාත්තාට ගොඩාක් සතුටු ඇති.
ශනු අද රංගනයට එකතුවෙලා තියෙනවානේ... අක්කා කෙනෙක් විදිහට එයාගේ රඟපෑම ගැන මොකද හිතෙන්නේ...?
එයාට හොඳට රඟපාන්න පුළුවන් කියලා අපි මුල ඉඳන්ම දැනගෙන හිටියා. එයා රඟපාද්දී එයා අද වෙද්දී හරි අපූරුවට ඒ දේවල් කරනවා. ඉතින් ඉඩ ලැබෙන හැමවෙලේම මම එයා රඟපාන නාට්‍යය බලනවා.
ශනු වගේ නංගියෙක් ජීවිතේට ලැබුණු එක ගැන මේ අක්කා මොකද හිතන්නේ...?
සතුටුයි... ශනු එයාගේ ජීවිතේ එයාගේ පොඩි වයසේදී ජීවිතේ දිනලා තියෙනවා. ඒ ගැන අක්කා කෙනෙක් විදිහට මම ගොඩාක් ආඩම්බර වෙනවා. එයාගේ වයසේ අනිත් අයටත් මගේ නංගී ලොකු ආදර්ශයක්. එයාට දෙවියන් වහන්සේ දීලා තියෙන දක්ෂතා නිකන් අපතේ යවලා නැහැ. එයා ඒවාවලින් හොඳට ප්‍රතිඵල අද අරගෙන තියෙනවා. මම හිතන්නේ මගේ මොකක්දෝ පෙර පිනකට මට මගේ නංගිලා දෙන්නා මගේ ජීවිතේට ලැබුණා.
ඉතින් දිනක්ෂි එක්ක අපි එහෙම කතා කළානේ. බලමුද ශනු දිනක්ෂි ගැන මොකද කියන්නේ කියලා...
දිනක්ෂියි, ශනුයි හරි හරියට නටලා කොහොම හරි කුසලානේ ප්‍රියසාද් කලා පවුලට අරගෙන ගියානේ... හිතුවද අරගෙන යන්න පුළුවන් වෙයි කියලා...?
එහෙම හිතුවේ නැහැ. මේ තරගයට කණ්ඩායම් විස්සක් සහභාගි වුණානේ. ඒ කණ්ඩායම් විස්ම හරි දක්ෂයි. අවසාන තරගයට හිටපු අනික් කණ්ඩායම් දෙකත් හරිම හරි දක්ෂයිනේ... ඉතින්... එදා අපිට ලොකු අභියෝගයක් වුණා... අක්කා මට කලින් රියැලිටි ෂෝවල ඉඳලා තියෙනවා. නමුත් මේ මගේ පළවෙනි වතාව. ඉතින් මේ ආරාධනාව දෙරණින් ලැබුණාම අක්කා මුලින්ම බැහැ කිව්වා. රියැලිටි ෂෝවලට ගියා ඇති කියලයි අක්කා කිව්වේ. මම තමයි “මට ආසයි කියලා කිව්වම මම නිසා අක්කත් අන්තිමේදී කැමති වුණා. ඇත්තටම මේ ෂෝ එක නිසා අපි දෙන්නා ගොඩාක් එ කතු වුණා. සහයෝගයෙන් වැඩ කළා.
ඒ වුණාට අක්කා නම් කිව්වේ ශනුගෙන් බැණුම් අහලම එපා වුණා කියලායි...?
අනේ... ඒ බොරු අනේ. මම එහෙම එයාට බණින්නේ නැහැ. හැබැයි එයා රියසල් කරන්න එන්නේ පරක්කු වෙලා. ඒ ආවම නම් චුට්ටක් කෑ ගහනවා. හැබැයි ඉතින් සමහරදාට එයා රියසල් එන්නේ මුළු දවසේම ෂූටිං කරලා. ඒ ඇවිල්ලත් නැටුම් පුහුණුවෙලා ලැබෙන විවේකයේදී අක්කි බිම වාඩි වෙලා චුට්ටක් ඇස් දෙක පියාගෙන නිදියන වෙලාවලුත් තියෙනවා. අපි ගොඩාක් වෙලාවට රියසල් කළේ මහ රෑ. සමහරදාට මම උදේ වරුවේ රියසල් කළා. එයා ආවම ආයේ රෑටත් කරනවා.
දිනක්ෂි මොනවගේ අක්කා කෙනෙක්ද...?
දිනක්ෂි කියන්නේ හරිම ශක්තිමත් අක්කා කෙනෙක්. ගෙදර වැඩ පවා හොයලා බලන්නේ අක්කා. අම්මා තාත්තා ගැන පවා අපිට වඩා හොයලා බලන්නේ එයා. ඒ විතරක් නෙවේ එයා හැමෝගැනම හිතනවා. කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් එයා එයාට පුළුවන් විදිහට උදව් කරනවා. අක්කාගේ වයසට එයා ගොඩාක් දේවල් දිනලා තියෙනවා.
දිනක්ෂිගේ නරක ගතිගුණයක් කියන්න කිව්වොත්...?
එහෙම කියන්න තරම් එයාගේ නරක ගතිගුණනම් නැහැ. හැබැයි සමහර දේවල් කරද්දී එයා ඒ දේ වෙනුවෙන් ලොකු පීඩනයක් හිතට ගන්නවා. රියසල් කරද්දී අපි නැටුම හදන්නේ. ඊට කලින් දවසේ රූ. එහෙම නැත්නම් උදේට. ඉතින් සමරදාට අක්කා ඒවා කරන්න බැරිවෙයි කියලා හිතට අරගෙන ඒ දේ ගැනම හිතනවා. සමහර වෙලාවට අඬනවත් එක්ක. අක්කා කේන්ති ගියාම බණිනවා. හැබැයි එහෙම බැණලා බැණලා පාලනය කරගන්න බැරි වුණාම එයා අඬනවා. ඇත්තටම එයා සංවේදී වැඩියි.
දිනක්ෂි හරි ලස්සනට, හැඩට අඳින්න ආසයි නේද...?
අම්මෝ ඔව්... අපි තුන්දෙනාගෙන් ලස්සනටම අඳින්නේ එයා තමයි. මම හිතන්නේ ලොකු අක්කා සාරි ඇන්දම ගොඩාක්ම ලස්සනයි. සමහර ඇඳුම් එයා ඩිසයින් කරලා අම්මාට කියලා හදවා ගන්නවා. එයාගේ ඇඟ හරිම හැඩයි. දන්න තරමට එයා ඇඟ හැඩවෙන්න කියලා කිසිම දෙයක් කරන්නේම නැහැ. එයා අපි දෙන්නටම වඩා හොඳට කනවා. එයාට ඕන ඇඳුමක් හරි ලස්සනයි.
දිනක්ෂි නිසා වැඩියෙන්ම සතුටු වුණ දවස කවදාද...?
අක්කා නිසා වැඩියෙන්ම සතුටු වුණු එක දවසක් කියලා නැහැ. මගේ ජීවිතේට අක්කා මට ගොඩාක් උදව් කරලා තියෙනවා. ජීවිතේ සමහර ප්‍රශ්න නිසා මගේ හිත රිදෙද්දී අක්කා මාත් එක්ක හිටියා. මම වෙනුවෙන් මිනිස්සු එක්ක කතා කළා. ඒවගේම මම වෙනුවෙන් අක්කා බොහෝම මහන්සිවෙලා මේ තරගයට ඉදිරිපත් වුණා. ඒ ජයග්‍රහණය ලබපු වෙලාවේත් මම අක්කාගේ ඒ කැපවීම වෙනුවෙන් ගොඩාක් සතුටු වුණා... මගේ අක්කා කවදාවත් ලොකු දේවල් බලාපොරොත්තු වුණු කෙනෙක් නෙවේ. පුංචි දේකින් වුණත් එයාව සතුටු කරන්න පුළුවන්.
දිනක්ෂි වගේ අක්කා කෙනෙක් ලැබීම ගැන මොකද හිතෙන්නේ...?
මම හිතන්නේ දිනක්ෂි අක්කයි, ශේෂාද්‍රි අක්කායි ජීවිතේට ලැබීම ගැන ගොඩාක් වාසනාවන්තයි. හොඳ වෙලාවට දිනක්ෂි අක්කා අපේ ලොකු අක්කා වුණේ. ඇත්තටම ගොඩාක් දෙනෙක් ඒ වගේ අක්කා කෙනෙක් ලබන්නත් ප්‍රාර්ථනා කරනවා කියලා මම දන්නවා.
දේශය