නොබොන එවුන්ටත් රහට ලියන්නට හැකි බව මා පළමු වතාවට නිවැරදිවම පසක් කර ගත්තේ සහන් කසීර වික්‍රමසිංහ දැන හඳුනා ගැනීමෙන් ඉක්බිතිව ය.
සම්පූර්ණ වර්ෂයක් 'සත්හඬ' පුවත්පතේ 'සිහිනය' සාහිත්‍ය පත් අතර පස් වන පිටුවේ ඉහළ සහ පහළ කෙළවර අඩුවක් නැතිව රසවත් කළ ඔහුගේ 'වචන 400' දැන් මුද්‍රිත පොතක් බවට පෙරළී තිබේ. පරණ අරක්කු බෝතල්වල මූඩි කැඩෙන විට හිතවත්කම් අලුත් වන වගට සැකයක් නැත. සහන් අතින් කෙදිනකවත් බෝතල් මූඩියක් නොකැඩෙන බව ඇත්ත ය. නමුත් මත් වෙන්නට එය කිසි ලෙසකින්වත් බාධාවක් නොවේ. ඉතින් මේ, සහන් කසීර වික්‍රමසිංහ...
උසස් පෙළට විද්‍යා - ගණිත කිසිම විෂයයන් කරන්න බැහැ, කලා විෂයම කරන්න ඕනේ කියලා ගෙදර ඇතුළේ අරගල කළ සහන් කසීර වික්‍රමසිංහ තීරු ලිපි රචකයෙක් වීම අහම්බයක් නෙවෙයි අනිවාර්යක් කියලා මම හිතනවා. ඔබ හිතන්නේ මොකක්ද?
මුලින්ම ඔය උසස්පෙළට කලා කිරීම වෙනුවෙන් ගෙන ගිය අරගලය ගැන පැහැදිලි කරන්න වෙනවා. උසස්පෙළට කලා කරන්න විතරක් නෙමෙයි උසස් පෙළ කරන්න ඕනේ ඉස්කෝලේ තෝරාගන්නත් මට අරගලයක් කරන්න වුණා. මම ඕ ලෙවල් කරලා ගෙදරට වෙලා හිටියා. ටේබල් ටෙනිස් ගැහුවා. යාළුවො එක්ක අවුරුදු උත්සව සංවිධාන කළා. ඒ මිසක් ඒ ලෙවල්වලට ක්ලාස් ගියේ නෑ. සාමාන්‍යයෙන් ඕ ලෙවල් ප්‍රතිඵල එන්න කලින් ඒ ලෙවල්වලට පංති පටන් ගන්නේ ගණිත - විද්‍යා විෂය ධාරාවන්ට විතරයි. කලා - වාණිජවලට පංති පටන්ගන්නේ ඕ ලෙවල් ප්‍රතිඵල ආවට පස්සේ. හරියට කිරෙන් බාල වුණු පූස් පැටව් ටිකකට වගේ තමයි සැලකිල්ල. ප්‍රතිඵල සියැසින්ම දැකලා - මැත්ස් - බයෝ කරන්න බෑ කියන එක තමන්ටම අවබෝධ වෙලා - ගිහිගෙය (මැත්ස් - බයෝ) කලකිරිලා - අභිනිෂ්ක්‍රමණය කරනතුරුම කලා - වාණිජ පංති පටන් ගන්නෙ නෑ. එච්චරටම කලා - වාණිජ කරන ළමයින්ට මේ රටේ ඉහළ සැලකිලි. ඔන්න ඔය සැලකිල්ල නිසාත් අපේ අම්මා ගිණුම්කරණ ගුරුවරියක් වුණු නිසාත් ඒ අය කලා සහ වාණිජ විෂයයන්වල අනාගතය ගැන පූර්ව විනිශ්චයක හිටියා. අම්මාට හිටියා ඒ වගේම හිතන පතන සමාන හදවත් ඇති , සාහිත්‍යයේදි කියන විදියට සහෘද ගුරුවරුන් කණ්ඩායමක්. ඒ හැම දෙනාම මම කලා කරනවා කියන තීරණය දැක්කේ මානව ශිෂ්ඨාචාරයේ වෛද්‍ය ක්ෂේත්‍ර, ඉංජිනේරු ක්ෂේත්රයට කරන ලොකුම එදිරිවාදිකම විදියට. නමුත් ඒක එහෙම නෙමෙයි කියලා හොඳටම දැනං හිටියේ මම. ඒ නිසා අන්තිමට සිංහලවලට අමතරව විදේශ භාෂාවක් හැදෑරිය යුතුයි යන කොන්දේසියක් එක්ක සහන් කසීරට කලා කරන්න අවසර ලැබෙනවා. අද වෙනකොට අර විදේශ භාෂාවේ අදහස අපේ ගෙදර අයගේ ඔළුවට දැම්මේ කවුද කියලා හොයාගන්න බෑ. අබිරහසක්. ඒ වගේ සිදුවීමක් වුණා නම් ආයෙ වුණේ අපේ ගෙවල් හරියෙම ඊට අවුරුදු 12 පස්සේ. රතුපස්වල වතුර ඉල්ලපු අයට හමුදාව වෙඩි තිබ්බා. වෙඩි තියන්න අණ කළේ කවුද කියලා මොකෙක්වත් දන්නේ නෑ. හැබැයි වෙඩි තියලා. අන්න ඒ වගේ.කොහොම හරි උසස්පෙළට කොළඹට යන එක ඊට වඩා අමාරු වුණා. අම්මා කැමති වුණේ නෑ අම්මා රාජකාරි කරන ඉස්කෝලේ අත ඇරලා මම කොළඹ යනවට. අම්මාට සහ ඉස්කෝලේ අනෙක් හුඟක් ගුරුවරුන්ට බුද්ධි ගලනය ගැනත් පොඩි පහේ මතවාදයක් නෙමෙයි තිබුණේ. ඒත් කොහොම හරි නෙක්ඛම්ම පාරමිතාවත් පුරලා තනිවම උසස් පෙළ සඳහා වූ සම්මුඛ පරීක්ෂණයකට ගිහිං මම ඒ කඩුල්ලත් පැන ගත්තා. ඔය ඔක්කොම කළේ උසස්පෙළට සිංහල කරන්න තියෙන ආසාවට. ඉතිං - අවුරුදු ගාණකට පස්සේ වුණත් කවුරුහරි මාව තීරු ලිපි රචකයෙක් විදියට හඳුන්වනවා නම් ඒක අහඹුවක් කියලා ඔබ හිතනවද?
පත්තරවලට ලියන්න පටන් ගත්ත ඉතිහාසය ගැන පොඩ්ඩක් මතක් කරමුද?
පත්තරවලට ලියන්න පටන්ගත්තේ 2012 දි වගේ. ඒ කාලේ දිනමිණ පත්තරේ විදෙස් පුවත් අතිරේකයක් තිබුණා " සිතිජය" කියලා. මම එතකොට ස්වර්ණවාහිනියේ "ලෝක සිතියම" වැඩසටහනේ පිටපත් රචකයෙක් / පරිවර්තකයෙක් විදියට වැඩ කළා. රදිකා ගුණරත්න, කත්‍යානා අමරසිංහ කියන්නේ අපි එක්ක හිටිය සීනියර් රයිටර්ස්ලා දෙන්නෙක්. ඒ දෙන්නා "සිතිජය" ට ලියන ගමන් මාවත් නිර්දේශ කළා. සිතිජය සංස්කාරක මලික් චමින්ද ධර්මවර්ධන මාව තෝරාගත්ත නිසා මම අවුරුදු ගාණක් එතන ලිව්වා. ඒක තමයි මගේ ආරම්භය. එතැනින් මම "ඉරිදා ලක්බිම" පත්තරේ "හරස්පාර" කියන අංශයේ විදෙස් ක්‍රීඩා සංස්කෘති ගැන ලිපි ලියන්න සම්බන්ධ වුණා. "ඉරිදා ලක්බිම" ට ලියනවා කියන්නේ මගේ ළමා කාලේ හීනයක් සැබෑවීමක්. එතනට මාව යොමු කළේ කාර්ටූන් ශිල්පී හසන්ත විජේනායක. තිස්ස ප්‍රේමසිරි මහතා මට අවස්ථාව දුන්නා. පස්සේ කාලෙක මගේ ලියන කියන ජීවිතේට හෙනහුරා පාත් වෙලා මමම බටකොළ කඩාගෙන එක එක රෙසිපිවලට උයාගෙන කන්න පුරුදු වුණා. ආයෙම කාලෙක කත්‍යානා අමරසිංහ "ලක්බිම" පත්තරේ "මංජුසාව" සංස්කාරක වෙලා මට ලියන්න අඬගහනවා. ඒ අස්සේ විමල් කැටිපෙආරච්චි "සත්හඬ" පත්තරේ" සිහිනය" සංස්කාරක වෙලා ඒ විදියටම ආරාධනා කරනවා. මම බටකොළ පැත්තක දාලා පත්තර කොළ කාගෙන කාගෙන යන්න තීරණය කරනවා. මේ මොහොතේදිත් වෙන්නේ ඒකයි
'වචන 400'ට එන්න කලින් මං කැමතියි 'ආච්චිගේ කොලම' පැත්තට ටිකක් ගිහින් එන්න. සහන් කසීරගේ තීරු ලිපි රචනයේ ආරම්භය ආච්චිගේ කොලම! මම හරිද? හරි නම් අපිට කියන්න ආච්චි ගැන සහ ආච්චිට ලැබුණු ප්‍රතිචාර ගැන?
ආච්චිගේ කොලම කියන්නේ මම ෆේස්බුක් එකේ එකම තේමාවක්, එකම ආකෘතියක් යටතේ ලියපු Status වල එකතුවක්. ආච්චි කියන චරිතය ගාවගෙන ලියන්න ගත්තට මුල් කාලේදී ඒ ලිවිල්ලේ දිගක් පළලක් ගැන අදහසක් තිබුණේම නැහැ. නමුත් ඒකට තිබ්බ ප්‍රතිචාර සහ ඒ අදහස් එක්ක මතුවෙන අලුත් අදහස් එක්ක ආච්චිගේ කොලම ට හැඩයක් වගේ දෙයක් ආවා. බුද්ධදාස ගලප්පත්ති මහත්තයාගේ අදහසක් විදියට ඒක පොතක් බවට පත් කරන්න හිතුවාම උපුල් සන්නස්ගල මහත්තයා ඒක සංහිඳ ප්රකාශනයක් විදියට භාර ගත්තා. අන්තිමට පොත කොටස් 2 ක් විදියට මුද්‍රණය වුණා. හැබැයි මේක තීරුලිපි පොතක් කිව්වට ඒවා කවදාවත් පත්තරවල ගිය තීරු ලිපි නෙමෙයි. ගියේ ෆේස්බුක් එකේ විතරයි. ප්‍රතිචාර ගැන කියනව නම් හුඟක් හොඳ මට්ට්මක ප්‍රතිචාර තිබුණා. මගේ අනන්‍යතාව ඉක්මවලා ආච්චී කියන රූපකය ජය ගනියි කියලා බයක් හිතෙන මට්ටමට ප්‍රතිචාර ලැබුණා. විවේචනත් නොතිබ්බා නෙමෙයි. ඒත් පොත කොටස් දෙකක් ගියාට පස්සේ මේ තමයි නවත්තන්න සුදුසු කාලේ කියලා හිතුණා. ඉතින් මම ආච්චිගේ කොලමට නැවතීමේ තිත තිබ්බා.
කොලම් බොහොමයක් 'කෝලම්' වුණ කාලයක කොලමකින් කරන්න පුළුවන් මොනයම්ම හෝ බලපෑමක් පිළිබඳ ඔබට තියෙන්නේ මොන වගේ තක්සේරුවක්ද?
අද වෙනකොට කොලම් විතරද කෝලම් වෙලා තියෙන්නේ? පත්තරයක කොලමකට වඩා රටකට බලපෑමක් කරන්න පුළුවන් හුඟක් දේවල් දැන් කෝලම් වෙලා. එහෙම කාලෙක කොලම් එකක් මේ විදියට හරි පවතින එක සතුටට කාරණයක්. මම නම් හිතන්නේ කොලමකින් කරන්න පුළුවන් දේවල් බොහොම සීමිතයි. දොළුකන්දේ වැවක් පිරිත් කළා වගේ ප්රාතිහාර්යයක් කොලමකින් පෙන්නන්න අමාරුයි. කියවන කෙනාව නිවන් ගෙනියන්න; එහෙමත් නැතිනම් සසරින් මුදවන්න වගේ දේවල්වලට කොලමක් සූදානම් නැහැ. කොලමකින් ඒ වගේ දෙයක් පුළුවන් කියලා කියවන කෙනා වුණත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ඒ වගේ දේවල් කරන්න පුළුවන් කියලා අපි හිතන, කරන්න පුළුවන් කියලා තමන්ම කියා ගන්න අය හොරු වෙනුවෙන් පාරවල් ගාණේ ඇවිදින කොට කොලමක් වගේ දෙයකින් අඩු ගාණේ කියවීමේ පුරුද්ද හරි ඇති වෙනවා කියලා හිත හදාගන්න පුළුවන්.
රහට තීරු ලිපි ලියපු රචකයෝ ගැන ඔබට තියෙන්නේ මොන වගේ මතකයක් සහ අදහසක්ද? ඔවුන් සහ ඔවුන්ගේ ලියැවිලි ඔබට එල්ල කළේ මොන වගේ බලපෑමක්ද?
ඒ කාලේ ඉඳන්ම අතට අහුවෙන ඕනෑම පත්තරයක් සඟරාවක් කියවපු නිසා මට බලපෑම් කරපු හුඟක් ලියවිලි තියෙනවා. ඒ අතරින් මට පොඩි කාලේ ඉඳන්ම සුන්දර නිහතමානි ද මැල් මහත්තයගේ "මානීගේ තීරුව" ගැන ලොකු පුදුමයක් තිබුණා. මානිගේ තීරුවට වස්තු විෂයය වන මාතෘකා සහ ඔහු තීරුව ලියනකොට පවත්වාගෙන යන සංයමය, රිද්මය ගැන මම නිතරම අවධානයෙන් හිටියා. ඒ ඇරුණාම බුද්ධදාස ගලප්පත්ති මහත්තයගේ "එදවස සොඳුරුමය" වගේ ලිපියක් හරහා සිදුවීම් සහ මතක සටහන් ප්‍රවේශම්සහගතව ගොඩගන්න හැටි, ඒවා අගතිගාමීවත් පක්ෂග්රාහීවත් නොවෙන්න ලියන හැටිත් දැක්කා. ඉස්සර අපේ අම්මා ගෙදරට ගේන "වනිතා විත්ති" කියලා මාසික සඟරාවක් තිබුණා. ඒකෙ තිබුණ "නිහඬලතා" කියන ලිපිය තවමත් මගේ හිතේ හොල්මන් කරනවා. ඒ නිහඬලතාට රටේ තොටේ වටේ පිටේ වෙන හැම සිදුවීමක් ගැනම තමන්ගේම කියවීමක් තියෙනවා. තමන්ගේම අදහසක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම අපි කියෙව්වට නිහඬලතා ඒ කිසිදෙයක් කියන්නේ නෑ. හැමදේම හිතලා විතරයි. මේ හැමදේකින් ම මට ඇතිවුණේ පුදුමයක්. කොහොමද මේ අය තරම් නිර්මාණශීලී වෙන්නේ කියලා හිතපු එකම තමයි මමත් මොනවා හරි ලියන්න උත්සාහ ගන්න හේතු වුණේ.
දැන් අපි 'වචන 400' දිහාට හැරෙමු. රුවන් බන්දුජීවගේ කවියක් තියෙනවා 'පියයුරු දෙසීයයි දෙකෙන් බෙදුවම ගෑනු සීයයි' කියලා. එහෙම බැලුවම අටසීය දෙකෙන් බෙදුවම හාරසීයයි. වචන හාරසීය, 'වචන 400' වුණේ කොහොමද?
විමල් කැටිපෙආරච්චි සහෝදරයා තීරු ලිපියක් පටන් ගමුය කියලා යෝජනා කළාම මම ඇහුවා වචන කීයක් ද කියලා. විමල්ගේ යෝජනාව වුණේ වචන 400 ක් වගේ ලියමු කියලා. නමක් පස්සේ දාමු කියලා කිව්වට මම මුල්ම තීරුව යවන ගමන්ම කිව්වා ආයේ අලුත් නම් ඕනෑ නෑ මේකට වචන 400 කියලම දාමු කියලා. ඒ ඇරෙන්න ඉතින් අපි "තීරුවට නමක්" වගේ මාතෘකාවක් යටතේ ෆේස්බුක් එකේ ජනමත විචාර පවත්වන්න ගියේ නෑ.
ඔබ කොලම් පනහ පුරා එක්තරා ආකෘතියක් අත්හදා බැලුවා. හැමදාම ඔබ කොලම ආරම්භ කළේ අපි කවුරුත් වගේ දන්න, නමුත් බොහෝ දෙනෙකුට දැන් අමතක කුමක් හෝ ප්‍රසිද්ධ කියමනක් සටහන් කරමින්. ඔබ හිතන විදියට ඒ ආකෘතිමය අත්හදා බැලීම කොලමට එල්ල කළේ මොන වගේ බලපෑමක්ද? ඒක සාර්ථකද, අසාර්ථකද?
ඒ ආකෘතිමය අත්හදාබැලීම සාර්ථක ද අසාර්ථක ද කියන එක තීරණය කරන්න ඕනේ පාඨකයෝ බව මුලින්ම කියන්න වෙනවා. මම උත්සාහයක් ගත්තා විතරයි. ඒකට හේතුවක් වුණේ සමකාලීන හුඟක් ලියැවිලි වල මම දකින නීරස බව. අපි හැමෝම සෙක්කුවේ බැන්ද ගොන්නු වගේ එකම කරුණු සහ එකම වචන ටිකක් උපුටාගෙන ඒකාකාරීව ලියනවා. අන්තිමට කියවන ලිපි හරියට චීන්නු වගේ. ඔක්කොම එක වගේ නිසා වෙන් කරලා අඳුනගන්න බෑ. ඒ නිසා මට ඕනෑ වුණේ වෙනස් දෙයක් එක්ක තීරු ලිපිය පටන් ගන්න. ඒ කරන්න හදන වෙනස හරහා මට මගේ ප්රබුද්ධත්වයවත් රුචිකත්වයවත් පෙන්නලා වැඩක් නැහැ. මම අහන්නේ අහවල් සින්දු, කියවන්නේ මේ පොත්, බලන්නේ මේ චිත්‍රපටි කියලා පෙන්නන එක නෙමෙයි මගේ අරමුණ. සමහරු අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වුණාම අඩුම තරමේ විමලා අමරදේවවත්, රංජන - සුභානිවත් අහලා නැති අප්‍රකට සිංදුවක් ෆේස්බුක් එකේ ෂෙයාර් කරලා වෙනම දෙයක් නඩත්තු කරන්න හදනවා. ඒවා හරිම විනෝදජනක විහිළු. අපිත් ඉතින් රස විඳිනවා. ඒත් මට ඒවගේ ලොකු විහිළුවක් ඉරිදා පත්තරයක් හරහා කරන්න කිසිම ඕනේකමක් නැහැ. හැම කෙනෙක්ම වගේ දන්න, නමුත් අමතක වෙලා වගේ තියෙන දෙයක් උඩට ගන්න එක විතරයි මම කළේ. ඒ සමහර කරුණු, උපුටා ගැනීම්වල මුල් සිදුවීම ඇරෙන්න සිදුවීමේ අවසානය හුඟ දෙනෙක්ට අමතකයි. ඒත් මතකයේ කොණක මම ලියන දේ ගැන දැනුවත් වීමක් තියෙන නිසා කියවන කෙනා තමන්ගේ මතකය රී කරෙක්ෂන් දාලා බලනවා. ඒ එක්කම ඒ උපුටා ගැනීමට අදාළ පොත, චිත්‍රපටය හෝ පුද්ගලයා ගැන තමන් දන්න දේවල් නොදන්න දේවල් ගලපලා බලනවා.
වචන 400 තුළින් ඔබ උලුප්පලා පෙන්වන්න උත්සහ කළ සමකාලීන සමාජ - දේශපාලන - සංස්කෘතික කාරණා සර්වකාලීනයි කියලා ඔබ විශ්වාස කරනවද? ඒක නිසාද ඔබ වචන 400 පොතකට ගන්න කල්පනා කළේ?
අපි දකින අහන සහ කියවන කිසිම කරුණක් සර්වකාලීනයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක ඒ මොහොතට පමණයි. හුඟක් දේවල්වල සර්වකාලීනත්වය පුද්ගලාබද්ධයි. කැරම් ලෝක ශූරයා ලංකාවේ ඉන්නකොට අපි තාම කතා කරන්නේ 96 න් පස්සේ ක්‍රිකට් ලෝක ශූරතාව නොලැබුණු එක ගැන. කැරම් කියන්නේ අපිට මළ ගෙවල්වල මිනිය ඇරෙන්න අනිත් හැමෝම එකතු කරන ක්‍රීඩාවක් විතරයි. පහුගිය අවුරුද්දේ ජනාධිපති සිනමා සම්මාන උළෙලේ "විශ්ව කීර්ති" සම්මාන 3 ක් දෙනවා කියලා කලින් නිවේදනය කරලා එකක්වත් නොදී මග ඇරියා. එතකොට අපේ රටේ විශ්වකීර්ති සම්මාන දෙන්න පුළුවන් එක චිත්රපටයක්වත් නැද්ද? 55 වැනි Zlín Film Festival එකේ City of Zlin Award for Best Children Performance හෙවත් හොඳම ළමා රංගනය විදියට "හෝ ගානා පොකුණ" චිත්‍රපටයේ දරු දැරියන් සියලු දෙනාම සම්මානයට පාත්‍ර වුණා. Zlín Film Festival සලකන්නේ ලොව ප්‍රමුඛතම, තරගකාරීම, විශාලතම සහ පැරණිතම ළමා චිත්‍රපට උළෙල විදියට. ඒත් ගුප්ත සහ අබිරහස් විදියට විශ්වකීර්ති සම්මානය කාටවත් නොදී යට යනවා විතරක් නෙමෙයි ඒ ගැන කතාවක්වත් නැති වෙනවා. එහෙම බලනකොට මොනවද සර්වකාලීන මාතෘකා? සේයා සදෙව්මි ඝාතනයේ මීඩියා සහ පොලිසිය එකතු වෙලා ගම්පහ පාසල් ශිෂ්‍යයෙක්ගේ ආත්ම ගෞරවය විනාස කළා. දැන් කවුද හොයලා බැලුවේ ඒ ළමයා උසස්පෙළ ලිව්වද කියලා. ඇඹිලිපිටියේ උඩුමහලකින් වැටිලා මැරුණු තරුණයගේ ගැබිණි බිරිය ගැන දැන් කාටවත් මතකද? මේ විදියට බලනකොට කිසි දෙයක් සර්වකාලීන නෑ. ඒ මොහොතට පමණයි. මම වචන 400 පොතක් විදියට ගන්නේ මේ ලියපු දේවල් එක තැනකට ගැනීමක් විදියට විතරයි. ඒ කරුණු නැවත නැවත හොයන්න මහන්සි නොවී එක පොතක් විදියට කියවන්න විතරයි.
400 ගැන සීය දෙසීය නෙවෙයි සෑහෙන්න ගණන්වලින් ඔබට ප්‍රතිචාර ලැබෙනවා අපිට උවන පුස්තකයෙන් දැකගන්න ලැබුණා. කොලම් එකින් එක ලියාගෙන යද්දී ඒ ප්‍රතිචාර ඔබට සැපයුවේ මොන වගේ උත්තේජනයක්ද? එහෙම නැත්නම් සහන් කසීර කියන්නේ කවුරු මොනවා කිව්වත් තමන්ට ඕනේ විදියට ලියන කෙනෙක්ද?
කියවලා බලලා දක්වන ප්‍රතිචාරවලින් හොඳ දෙයක් වෙනවා. ඒ තමයි මේක කවුරුහරි කියවනවා කියන හැඟීමත් එක්ක දැනෙන වගකීම්සහගත බව. හුඟ දෙනෙක් මම සිහිපත් කරන සිදුවීම්, පොත්, චිත්‍රපට ගැන තමන්ගේ මතකය, අත්දැකීම් ලියනවා. ඒ හරහා ලැබෙන දැනුම මට නම් වටිනවා. කොලම් ලියනකොට මම මට ඕනේ ස්ටයිල් එකට ලිව්වේ. මට දැනෙන සහ මම සංවේදී වුණ මාතෘකාව ලිව්වේ. සමහර ලිපිවල අදහස ප්‍රදීප් දිසානායකගේ. මගේ පොඩි කාලේ ඉඳන් හොඳ යාළුවෙක් නිසා ප්‍රදීප් මම හිතන විදිහ වගේම මම සැලකිලිමත් වෙන සීමා මායිම් ගැන හොඳට දන්නවා. ප්‍රදීප් ලංකාවෙන් පිට ඉඳගෙන වුණත් පැය ගණන් කෝල් කර කර තමන්ගේ අදහස් පළ කළා. ඒ ඇරෙන්න වචන 400 ලිව්වෙම මගේ අභිමතය අනුව කියන එක නිවැරදියි. මම අනිත් අය කියන ඒවට කන් දෙනවා. ඒත් මට ගැලපෙන ඒවා විතරයි ගන්නේ. සමහරු ඉන්නවා අසන්නන්ගේ ඉල්ලීම් තීරය වගේ එක පාරට අහසින් වැටිලා "අරක ගැන ලිව්වා නම් මේක ගැන නොලියන්නේ ඇයි. අරක වැරදියි කියල ලිව්වා නම් ඔයාට මේක මතක නැද්ද" වගේ උදාන වාක්‍යය කියාගෙන එන අය. ඒ වගේ මත නම් මම තඹ සතේකට ගණන් ගන්නේ නැහැ. අකුරු ටික දුන්නාම ළමයින්ට නම් දාලා දෙන සර්විස් ලංකාවේ තියෙනවා තමයි. ඒත් මා ළඟ නැහැ.
අපිට කියන්න පොත ගැන විස්තර?
"වචන 400" මේ වෙනකොට සරසවි ප්රකාශනයක් විදියට වෙළඳපොළේ තියෙනවා. පොත ප්රකාශනය කරන්න භාර ගත්ත සරසවි ප්‍රකාශන අධිපති ප්‍රේමසිරි මහත්තයාටයි ඒ හැම දේකදිම සහය පළ කරපු බුද්ධදාස ගලප්පත්ති සහ ජනක ඉණිමංකඩ මහත්වරුන් ටත් ස්තුති කරන්න ඕනේ.
මං කැමතියි අපි කතාව පටන් ගත්ත තැනින්ම ඉවර කරන්න. එදා ගෙදරත් එක්ක අරගල කරලා ලබපු ජයග්‍රහණය ගැන අද සහන් කසීර වික්‍රමසිංහට හිතෙන්නේ මොකක්ද? සන්තෝෂයිද, කණගාටුයිද, එහෙමත් නැත්නම් කිසිම විශේෂ හැගීමක් නැද්ද?
ඒක ඒ කාලේ හැටියට නම් ඒක ජයග්‍රහණයක් . ඒ වුණත් දැන් මට වයස 17 ක් නෙමෙයි නිසා මම ඒක තවමත් ජයග්‍රහණයක් විදියට සලකන්නේ නෑ. Littlerock Nine ගැන රූබි බ්‍රිජස් ගැන කියෙව්වට පස්සේ අධ්‍යපනය වෙනුවෙන් කරපු අරගල කියන්නේ මොනවද කියලා හිතෙන නිසා ඒක එක්තරා විනෝදජනක මතකයක් විතරයි. නමුත් ඒ ප්‍රවේශය මට හුඟක් වැදගත්. බහුවරණ මොහොතකදි මම තෝරාගන්නේ මට වඩාත්ම හොඳින් කරන්න පුළුවන් කියලා හිතෙන දේ විතරයි කියන ස්ථාවරය මම තහවුරු කරගත්තේ එතැනින්. අදටත් මම මගේ ජීවිතේ ඇතුළේ භාරගන්නේ සහ තෝරාගන්නේ මට පුළුවන් දේවල් සහ මම කැමති දේවල් විතරයි. පොත් ලියන ගමන් පත්තරයක ලියන්න මම කැමතියි. විනෝදෙට ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න කැමතියි. හැබැයි ඒ ගමන් මාරක ළිඳේ බයිසිකල් පදින්න, යක්කල පොළේ නයි නටවන්න, රිදී රැයක් ප්රසංගෙක ආජු තපර ලාහිලා කියලා නටන්න වගේ දේවල්වලට අඬගැහුවොත් බෑ කියලා මම කියනවා. මට අදාළ දේ මොකක්ද අදාළ නැත්තේ මොකක්ද කියන එක තීරණය කරන්න ගත්ත දවස විදියට මට ඒ මතකය වැදගත්. ඒ ඇරෙන්න වෙන කිසිම හැඟීමක් නැහැ.
සංවාදය - කසුන් සමරතුංග
Lanka news web