කරදඬු උස් මහත් වෙච්ච පුත්තු ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඔබේ ජීවිතයේ සතුටුදායක මොහොතක් පසුගිය දවසක උදා වුණා නේද?
අනේ ඔව්. ෂූටිං අතරේ වුණත් පසුගිය දවස්වල මට පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිපුර ටිකක් වෙහෙස වෙන්න සිද්ධ වුණා. පසුගිය 08 වැනිදා මගේ දෙවැනි පුතා විවාහ වුණා. පුතා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. විවාහය නිසාම පුතා ආවා. මංගල්‍යයේ වැඩ කටයුතුවලින් පස්සේ දැන් මම ආයෙමත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට යොමු වෙලයි ඉන්නේ.
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අති දක්ෂ නළුවෙක් බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කාරණයක්. නමුත් පසුගිය කාලයේ ඔබ රංගනයෙන් දායක වූ ඇතැම් චිත්‍රපට නිසා ඔබේ එම ප්‍රතිරූපයට හානිවන විදිහේ විවේචන පවා එල්ල වුණා. බැණුම් අහන්න වෙන විදිහේ චිත්‍රපටවල ආයෙත් නම් රඟපාන්නේ නෑ කියලද ඔබ දැන් හිතාගෙන ඉන්නේ?
එහෙම දෙයක් නෑ. විවේචන කියන දේ ඕනෑම නළුවෙකුට එල්ල වෙනවා. ඒ විවේචන සාධාරණ නම් ඒවායින් පාඩමක් ඉගෙන ගෙන මගේ වැරදි අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා මිස මම ඒවායින් සැලෙන්නේ නැහැ. හැබැයි ඔය අතරේ මට පහර ගහන්න හිතාගෙනම එල්ල කරන විවේචනත් තිබෙන බව මම හොඳින් වටහාගෙනයි ඉන්නේ.
ඔය විදිහේ විවේචනවලට මුහුණදෙන්න ඔබට සිද්ධ වුණේ? චරිත තෝරා බේරා නොගෙන ලැබෙන හැම ආරාධනාවක්ම බෑ නොකියා බාරගැනීම නිසයි කියලා කවුරුන් හෝ කිව්වොත් මොකක්ද ඔබට ඒකට දෙන්න තිබෙන පිළිතුර?
රඟපානකොට තමන්ට ලැබෙන චරිත තෝරා බේරා ගෙන තමයි බාරගන්න ඕනෑ. හැබැයි ඒ තෝරා ගැනීම අන්තවාදී විදිහට කරන්න මට බැහැ. මොකද මමත් ජීවත් වෙන්න ඕනනේ. නළුවෙක් විදිහට රඟපාලා හරි හම්බ කරගන්න මුදලින් තමයි මම මගේ දරු පවුල නඩත්තු කරන්නේ. ඒ නිසා ඔය කියන තෝරාගැනීමට නම්‍යශීලීව තමයි මම කරන්නේ. හැබැයි යම්කිසි කලානිර්මාණයක රඟපෑම සුදුසු නෑ කියලා. හිතුණොත් මම කවදාවත් ඒක බාරගන්නේ නැහැ.
මේ දිනවල විකාශය වන “දෙවියන්ගේ රටේ” ටෙලි නාට්‍යයෙන් ඔබ නැවතත් පුංචි තිරයට ඇවිත් තියෙනවා. මහේන්ද්‍ර පෙරේරා කියන නළුවාට සිනමාවෙන් මිස, පුංචි තිරයේ නිර්මාණවලින් දැකගැනීම දැන් ප්‍රේක්ෂකයන්ට බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් බවට පත්වෙලා නේද?
ඔව්. මොකද හොඳ සිනමා නළුවෙක් වීමේ ආසාව තමයි මට හැමදාමත් තිබුණේ. අනික මම මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. සතියකට දින දෙකකට වඩා විකාශය වන ටෙලි නාට්‍යය මම බාරගන්නේ නැහැ. ඒ බව ක්ෂේත්රයේ අයත් දන්නා නිසා මට මෙගාවලට දැන් වැඩිය ආරාධනා ලැබෙන්නෙත් නැහැ.
කාලයක් තිස්සේ දේශීය සිනමාවේ තිබෙන අර්බුද ගැන තමයි වැඩිපුර අහන්නට ලැබෙන්නේ, මේ කියන අර්බුද මැද්දේ චිත්‍රපට බෙදාහැරීම නැවත චිත්‍රපට සංස්ථාවට පවරාගැනීමට ගත් තීරණය ගැනත් තවමත් තිබෙන්නේ කඹ ඇදිල්ලක්. සිනමා නළුවෙක් විදිහට ඔබ ඉන්නේ මොන පැත්තේද?
මම හිතන්නේ චිත්‍රපට බෙදාහැරීම නැවත චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම ඉතාම හොඳ තීරණයක් හොඳ චිත්‍රපට හැදුනාම ඒවා පෙන්වා ගන්න බැරිකම අද අපේ සිනමාවට ලොකුම ගැටලුවක් වෙලා තියෙන්නේ. අනික අද තියෙන ක්‍රමවේදයේ හැටියට වැඩි ලාභයක් ලැබෙන්නේ නිෂ්පාදකවරයාට නොවෙයි. සිනමාව කියන්නේ Entertainment Business එකක්. ඒකෙදි මුදල් ආයෝජනය කරන කෙනාට ලාභයක් ලැබිය යුතුයි. එහෙම නොවුණාම චිත්‍රපටයක් රූගත කරනවා කියන සුන්දර අත්දැකීමත් කට්ටක් බවට පත්වෙන එක තමයි වෙන්නේ.
කිෂාන් කනංකෙ
lakbima